ගල්කිස්ස මහෙස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් සැකකරුවන් දෙදෙනා ලබන 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මෙම ගල් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට මේ දෙදෙනා ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. 

රාත්‍රි 9ට  පමණ ජන හමුවට පැමිණි විපක්ෂ නායකවරයා ජන හමුව අමතමින් සිටියදී වේදිකාව දෙසට මෙම ගල් ප්‍රහාර එල්ල කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එම ගල් ප්‍රහාරවලින් විපක්ෂ නායකවරයාට කිසිදු තුවාලයක් සිදු වී නැත.

සිද්ධිය වූ මොහොතේ සිට ක්‍රියාත්මක වූ ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් ගල් ප්‍රහාර එල්ල කළ බව කියන පුද්ගලයන් දෙදෙනා ඊට යාබද රස්ටම් වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගල් ප්‍රහාර එල්ල කළ බව කියන පුද්ගලයන් දෙදෙනා එම අවස්ථාවේදී මත්පැන්, අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කර සිටි බවට අනාවරණය වී තිබේ. ඉන් පසු සැකකරුවන් දෙදෙනා වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව නිකුත් කළ වෛද්‍ය වාර්තාවලින්ද සනාථ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. 

ඔවුන් සිටින ස්ථානයේ සිට මීටර් ගණනාවක් අෑතින් රතිඤ්ඤා හඬ ඇසුණු බවත් තමන් එම දෙසට ගල් ප්‍රහාර එල්ල කළ බවත් විපක්ෂ නායකවරයා සහභාගි  වන රැස්වීමක් එම ස්ථානයේ පැවැත්වෙන බවට තමන්ට එම අවස්ථාවේ නිසි මතකයක් නොතිබූ බවත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා තදින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බව බුද්ධි තොරතුරුවලින්ද සනාථ වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. 40 වැනි සහ 21 වැනි වියේ පසුවන සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති. 

ජන හමුවේ ආරක්ෂාවට සිටි පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ ජන හමුවෙන් පසුව ප්‍රේමදාස මහතාව එම ස්ථානයෙන් ආරක්ෂා සහිතව පිටත් කළේය.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා සහභාගි වූ ජන හමුවට එල්ල වූ ගල මුල්ගල ලෙස යොදා ගනිමින් එම ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් ඉදිකිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.ගල්කිස්ස බංගලාව පාරේ නිවාස සංකීර්ණයේ 29 වැනි දින රාත්‍රි පැවැති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ ජනහමුවක් අතරතුරදී එම ජනහමුව පැවැති ස්ථානයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කළ බවට  සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකු ඊයේ (30දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව…