මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යය දමිළ නිෂ්පාදනයක් ලෙසින් එළි දැක්වීමේ මූලික කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව, දමිළ බසට පරිවර්තනය වුණු මනමේ නාට්‍යයේ අඩංගු ගීත පුහුණුවීමේ කටයුතු ඊයේ (සැප්: 29) සිදු කෙරිණි.

මෙරට නාට්‍ය කලාවේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ ‘මනමේ’ නාට්‍යය පළමු වරට එළි දැක්වූයේ 1956 වසරේ නොවැම්බර් 3 වන දාය.

එතැන් පටන් වසර 64ක් ගතවූ පසු ශ්‍රී ලංකේය වේදිකා නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙමින් ‘මනමේ’ නාට්‍යය, දමිළ නිෂ්පාදනයක් ලෙස ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ප්‍රජාවට නුදුරේදී ම තිළිණ වනු ඇත.

‘මනමේ’ නාටකය දමිළ බසට පරිවර්තනය කර ඇත්තේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කවිතා රාජරත්නම් මහත්මියයි. ඒ සඳහා ඇයට වසරක පමණ කාලයක් ගතවී තිබේ.

නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහතා සිදු කරන අතර ගායනා පුහුණු කිරීමේ කටයුතු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අරූරන් අරුනන්ති මහතා විසින් සිදු කරනු ලබයි. 

නාට්‍යයේ නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබනුයේ ලලිතා සරච්චන්ද්‍රයන් විසිනි.

2014 වසරේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 100 වන ජන්ම දින සැමරුමේදී, ‘මනමේ’ දමිළ නාට්‍යයේ ගීතයක් මුල්වරට එළි දක්වා තිබිණි.

මේ පිළිබඳව ‘මව්බිම’ වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය සඳහන් කළේ, සරච්චන්ද්‍රයන් පළමු වරට ‘මනමේ’ නාට්‍යය එළි දැක්වූ දවසේ සිංහල ප්‍රේක්ෂකාගාරයට එය ‘විස්මිත හීනයක්’ සේ දැනුණා සේ ම, එහි දමිළ නිෂ්පාදනයත් ඒ හා සමානව දමිළ ප්‍රේක්ෂකාගාරය විස්මයට පත් කරනු ඇති බවය.

මෙරට දමිළ නාට්‍ය කලාවේ ප්‍රගමනයට මෙය හොඳ මූලාරම්භයක් වනු ඇති බව ද ඇය සඳහන් කළාය.

මෙහි නිෂ්පාදන වියදම ලක්ෂ 150ක් පමණ වනු ඇති බවට ඇය අපේක්ෂා කරයි. ඒ සඳහා යම් අයෙකු දායක වීමට කැමති නම්, ඊට තමන් විරෝධය පළ නොකරන බව ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ‘මව්බිම’ වෙබ් අඩවිය වෙත පැවසීය.

විශේෂයෙන් ම, නාට්‍යයේ රංගන කටයුතු සඳහා දමිළ රංගන ශිල්පීන් ශිල්පිනියන් පමණක් යොදා ගන්නා බව ඇය සඳහන් කළාය. ඒ සඳහා අවශ්‍ය ශිල්පීන් තෝරා ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

මුල් අදියරේදී, නාට්‍යයේ ගායනා පුහුණුවීමේ කටයුතු සිදු කෙරෙන බවත්, පසුව එම ගීත දමිළ ජනතාව අතර ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් ඇය පැවසුවාය. ඒ අනුව, ගීත අඩංගු සංයුක්ත තැටියක් සහ පොතක් ඉදිරියේදී එළිදැක්වෙනු ඇත.

ඉන් අනතුරුව නාට්‍යය වේදිකාගත කිරීමට අපේක්ෂා කරන බවත් මේ වන විට නාට්‍යයට අවශ්‍ය රංග වස්ත්‍ර නිර්මාණය කර අවසන් බවත් ඇය සඳහන් කළාය.    

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here