අධ්‍යාපන ඇමැතිගෙන් සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්!

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන පැවසීය. ගුරුවරුන් බඳවා ගැනීම ජාතික ප්‍රතිපත්තියක් යටතේ සිදුකෙරෙන අතර එම ප්‍රතිපත්තිය සැකසීම සඳහා සති දෙකක් තුළ විශේෂ බලතල සහිත කමිටුවක් පත්කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

රජය බඳවාගෙන ඇති උපාධිධාරීන් 60,000න් පාසල් හා අධ්‍යාපන කාර්යාලවල සිටින 18,000ක් වන පිරිස පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත්කිරීමට නියමිත විශේෂ කමිටුව විසින් තීරණයක් ගනු ලබන බව ද ඇමතිවරයා පැවසීය.

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් පත්කළ කැබිනට් අනුකාරක සභාව, අභ්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් මෙසේ කමිටුවක් පත්කර මාස හයක් ඇතුළත වාර්තාවක් ලබාදිය යුතු බව නිර්දේශ කර තිබුණු බවත් ඒ අනුව මෙම කමිටුව ඉදිරි සති දෙක තුළ පත් කරන බවත් ඇමති දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මෙම තොරතුරු අනාවරණය කළේය

මේ අතර,සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා එම විෂය හැර අනෙකුත් විෂයයන්වල ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වන බවට තොරතුරු වාර්තා වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

යම් හෙයකින් අධ්‍යාපන අමාත්‍යාංශය එවැනි තීරණයක් ගතහොත් එයට තරයේ විරුද්ධ වන බවත් ගුරුවරුන් හා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සමග මවුපියන් එක්ව එයට එරෙහි වන බවත් ඔහු  අදහස් දක්වමින් පැවසීය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට 2020 වසරේ අපේක්ෂකයන් පන් ලක්ෂ විසිපන්දහසක් පමණ පෙනී සිට ඇති බවත් ඉන් චිත්‍ර, නැටුම්, සංගීත ආදී සෞන්දර්ය විෂයන් සඳහා අපේක්ෂකයන් එක් ලක්ෂ හැට නවදහසක් පමණ අයැදුම්කර ඇති බවත් හෙතෙම පවසයි.

සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ වන තෙක් ම පැවැත්වීමට නොහැකි වී ඇති බවත් පාසල් ආරම්භ කිරීමක් හෝ නොමැති පසුබිමක් තුළ එහි වගකීම ගුරු වර්ජනය පිට පැටවීමට උත්සාහ දරමින් සිටින බවත් ජෝසෆ් ස්ටාලින් පෙන්වා දෙයි. ගුරු වර්ජනය ආරම්භ වූ දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙසින් ගුරුවරු සියලු විභාග රාජකාරීවලින් බැහැර වුවත් සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පාසල් ආරම්භ කර නොමැති පසුබිමක් තුළ සිදුකරන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නකාරී බව ද ඔහු පවසයි.

ප්‍රායෝගික පරීක්ෂණවල ප්‍රතිඵල නොමැතිව අනෙකුත් විෂයන්වල ප්‍රතිඵල පමණක් නිකුත් කිරීමට කටයුතු කිරීම දරුවන්ට කරන අසාධාරණයක් බවත් ජෝසෆ් ස්ටාලින් අවධාරණය කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස විභාග රාජකාරිවලින් ඉවත් වුවත් සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ වනතුරුත් පැවැත්වීමට ඇති නොහැකියාව ගුරු අරගලය පිට පැටවිය නොහැකි බවත් ඔහු පවසයි.

ගුරුවරුන්ගේ ගැටලුව විසඳීමට අඩු තරමේ සාකච්ඡාවක් හෝ ලබාදීමට තරම් බලධාරීන් උත්සුක නොවන පසුබිමක තම ගැටලුවලට විසඳුම් නොලැබෙන අරගලය තවදුරටත් ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද හෙතෙම පවසයි. හෙට (සැප්. 12) දිනය වන විට දවස් 63ක් සම්පූර්ණ වන ගුරු අරගලය මෑත ඉතිහාසය තුළ වැඩි ම දින ගණනක් ක්‍රියාත්මක වූ අරගලය බව ද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා පෙන්වා දෙයි.

 1,036 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply