ණය පියවීමට ප්‍රමාණවත් සංචිත ශ්‍රී ලංකාව සතුයි!

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුබෑමට ලක් වුව ද ණය පියවීමට ප්‍රමාණවත් සංචිත ශ්‍රී ලංකාව සතුව ඇතැයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

ණය වාරික නිසි වේලාවට ගෙවීම තුළින් ශ්‍රී ලංකාව විශ්විසය තහවුරු කරගෙන තිබෙන බවද ණය බරක් නොමැතිව ආදායම් මාර්ග රටට ගලා ඒමට නියමිතව තිබෙන අතර වරාය නගර ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති තුළින් විදේශ ආදායම් ලබාගැනීමේ හැකියාව පවතින බවද හෙතෙම ඊයේ (05) පැවැසීය.

රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙන්වා දුන්නේ ඉදිරියේ දී චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ සහන ණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙන බවත් ඒ අනුව ඩොලර් සංචිතය තවදුරටත් ඉහළයන බවත්ය. පවතින ආර්ථික අභියෝග ජයගැනීමේ හැකියාව රජයට ලැබී ඇති බව පෙන්වාදුන් ඒ මහතා ජනතාවට බඩ ගින්නේ සිටීමට සිදුනොවනු ඇතැයි විශ්වාසය පළකළේය.

කොවිඩ් වසංගත කාලයේ දී භාණ්ඩ සැපයීම වැනි අංශවල අභියෝගයක් තිබෙන නමුත් ද්‍රව්‍ය මිලදී ගැනීම හා ජනතාවට සැපයීම ඒ අතර වන බව පෙන්වාදුන් ඒ මහතා එසේ වුවද මෙවැනි ගැටළුවලට රජය මුහුණ දෙන බවද අද වනවිට ජනතාවට අවශ්‍ය ප්‍රමාණයෙන් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතින බවද පැවසීය. කෙසේ වුවද භාණ්ඩ සැඟවීම හේතුවෙන් හිඟයක් නිර්මාණය වූ බව පෙන්වාදුන් රාජ්‍ය ඇමැතිවරයා රජය විසින් විශේෂ නීති පනවා එවැනි ගැටළු නිරාකරණය කළ බවද ඉදිරියේ දී එවැනි ගැටළු නිර්මාණය නොවන බවද කීවේය.

මහින්ද අලුත්ගෙදර

 613 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply