විදෙස් මාධ්‍ය අපේ රට ගැන කියන අමූලික බොරු!

කොවිඩ් වසංගතයත් සමඟ රටවල් ලොක්ඩවුන් කිරීම, සංචරණ සීමා පැනවීම, දූරස්ථභාවය පවත්වා ගැනීම ආදි විවිධ ක්‍රියාමාර්ග මෙන්ම විරැකියාව ඉහළ යෑම ද, බොහෝ දෙනකුට සිය ආදායම් මාර්ග අහිමි වීම ද, පාරිභෝගිකයන්ගේ වියදම් රටා වෙනස් වීම, මිල උද්ධමනය වැනි කාරණා ද අවධානයට ලක් විය. මේ තත්ත්ව දෙස අවධානය යොමු කරමින් අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) ඉකුත් දෙසැම්බරයේ පෙන්වා දුන්නේ ලොක්ඩවුන් තත්ත්ව යටතේ ඇතැම් භාණ්ඩ හා නිෂ්පාදන ඉල්ලුමට සරිලන අයුරින් සැපයීමට නොහැකි වීම මත ලොව පුරා භාණ්ඩ මිල ඉහළ යෑම දක්නට ඇති බවයි. විශේෂයෙන් ආහාර මිල ගණන් ඉහළ යෑම අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ හැකි බව ද ඉන් පෙන්වා දී තිබිණි. වසංගත තත්ත්වය යටතේ යම් යම් සීමා පැනවීමට සිදු වූ විට ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට ජනතාව ක්‍රියා කළ අයුරු සහ සුපිරි වෙළෙඳ සංකීර්ණවල රාක්ක හිස් වූ අයුරු ධනවත් රටවල පවා දැක ගත හැකි විය. ඒ ඇතැම් අවස්ථාවල පවා කලබලකාරි තත්ත්ව හට ගැනිණි.

මුලදී ආසියාකරයෙන් ඇරඹි ආහාර මිල ඉහළ යෑමේ ප්‍රවණතාව අනතුරුව ලොව සෙසු කලාපවලට ද ව්‍යාප්ත වූ අයුරු ILO මඟින් පෙන්වා දී තිබේ. එහිදී යුරෝපයට හෝ උතුරු අමෙරිකාවට වඩා පීඩාවට පත් වූයේ ආසියානු රටවල්ය. නැඟෙනහිර හා අග්නිදිග ආසියාතික රටවල ආහාර මිල උද්ධමනය 2019 දෙසැම්බරයේදී 5.2%ක් වූ නමුත් 2020 ජනවාරියේදී එය 9.3%ක් වූ බව ද එහි දැක්විණි. ලොක්ඩවුන් තත්ත්ව යටතේ එය දෙගුණයකට ආසන්නව වැඩිව තිබූ අයුරු ඉන් පැහැදිලි වේ. ලොව සෙසු කලාපවල ද දැකිය හැකි වූයේ මීට සමාන රටාවකි.

මූල්‍ය සහන පැකේජ

වසංගතය ඇරැඹි වසර කොවිඩ් ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර වසර 1 1/2ක් ගත වන විට එය පාලනය කළ ඇතැම් ධනවත් රටවල් ද අලුත් වටයකින් ඉන් පීඩා විඳින්න පටන්ගෙන ඇත. මූල්‍ය සහන පැකේජ ආදිය ක්‍රියාත්මක කරමින් ආර්ථිකයට ඇති වූ බලපෑම් සමනය කර ගැනීම සඳහා අමෙරිකාව වැනි රටවල් ප්‍රයත්න දැරීය. ඒ අතර විරැකියාව ඉහළ ගියේ වාර්තාගත අන්දමිනි. ලොව බොහෝ රටවලට වසංගතය මඟින් තම රටවල ආර්ථිකයට ඇති කළ බලපෑම එතරම් පහසුවෙන් යථා තත්ත්වයට ගෙන ඒමට නොහැකි බව පැහැදිලි කාරණයකි.

ආනයන වියදම් ඉහළ යෑම, අපනයන ආදායම් පහත වැටීම, නිෂ්පාදනය අඩු වීම ආදි කරුණු ගණනාවක් ඊට බලපා තිබේ. ඒ වසංගතය පාලනය කිරීම වෙනුවෙන් දැරීමට සිදුව ඇති වියදම්වලට අමතරවය.

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ලොව බොහෝ රටවලට වඩාත් අභියෝගාත්මක වී ඇත්තේ ඩෙල්ටා ව්‍යාප්තිය මඟින් ඇති කළ බලපෑම්ය. ශ්‍රී ලංකාවට ද තුන්වැනි රැල්ලත් සමඟ එය බලපා ඇති අයුරු දිස් වේ. විදේශ විනිමය ඉපයීම අතින් දැඩි අභියෝගාත්මක තත්ත්වයක් පැවතිය ද අපනයන බිඳ නොවැටී පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලොක්ඩවුන් තත්ත්ව යටතේ පවා වගබලා ගත්තේය. රට ලොකුඩවුන් කර ඇති මේ සමයෙහි ද එය එලෙසමය. මේ හේතුවෙන් අපනයන ආදායම් යම් සතුටුදායක මට්ටමක පවත්වා ගැනීමට හැකි වී ඇතත්, සංචාරක කර්මාන්තයේ පසුබෑම, විදේශගත ශ්‍රමික ප්‍රජාව මඟින් ලැබෙන විනිමය අඩු වීම මෙන්ම අපනයන වෙළෙඳපොළ මත වසංගතය මඟින් ඇති කර තිබෙන පීඩනය ආදි කාරණා හේතුවෙන් රටේ විනිමය සංචිතවලට එය බලපෑමක් ඇති කර තිබෙන බව පැහැදිලි කාරණයකි. එවැනි පසුබිමක ඇතැම් ආනයන නතර කිරීමට හා සීමා කිරීමට ද පියවර ගැනිණි. පිටරටින් භාණ්ඩ ආනයනය කිරීමේදී ඊට ප්‍රමාණවත් විනිමය තිබිය යුතු වේ. කෙසේ වුව ද, මේ කාරණය මතම ඉන්ධන, ගෑස් වැනි අත්‍යවශ්‍ය ආනයනවල හිඟයක් ඇති වූ බව කිව නොහැකිය. මේ වන විට රටේ ඉන්ධන හිඟයක් නොපවතින අතර, මිල පිළිබඳ සාධකය හමුවේ ඇති වූ ගෑස් හිඟය යථා තත්ත්වයට පත් වෙමින් තිබේ.

වැරැදි චිත්‍රයක්

සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතැයි ඇතැම් පාර්ශ්ව මවා පෑමට වෑයම් කළ ද එවැන්නක් නොපවතී. සහල් මිල ඉහළ යෑම ජනතාවට පීඩාවක්ව තිබියදී සහල් මිල පාලනය කරමින් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් විය. කෘත්‍රිමව මවා පෑ සීනි හිඟයට හේතුව සීනි තොග දැවැන්ත වශයෙන් ගබඩා කර සඟවා තිබීම බව මේ වන විට අනාවරණ වී ඇත. සීනි සඳහා ද පාලන මිලක් ප්‍රකාශයට පත්ව තිබේ. කූට වෙළෙදුන් විසින් අයථා ලෙස අධික ලාභ ඉපයීමේ අරමුණින් වී, සහල්, සීනි ආදි ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සඟවා ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ ජනාධිපතිවරයා, මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට අදාළ වගන්ති පසුගිය සඳුදා සිට බල පැවැත්වෙන පරිදි බලාත්මක කිරීමට පියවර ගත්තේය. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වෙත ඒ ලෙස සඟවා ඇති ආහාර ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් පසු සාධාරණ මිලකට සතොස ඇතුළු රාජ්‍ය ආයතන මඟින් බෙදා හැරීමේ බලය ද ඉන් පැවරේ. රජය ගනු ලැබූ මේ පියවර හේතුවෙන් කෘත්‍රිමව ආහාර හිඟයක් මැවීමට යත් ප්‍රයත්නය ව්‍යර්ථ කිරීමට හැකි වූ බව පැහැදිලි වේ.

එවැනි පසුබිමක රට තුළ විශාල ආහාර හිඟයක් ඇති බවට විපක්ෂය දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ද සමාජ මාධ්‍ය ද විදෙස් මාධ්‍ය ද ප්‍රචාරය කරමින් පවතී. එම ප්‍රචාර මඟින් ජනතාව අතර ආහාර හිඟයක් පිළිබඳ බියක් ඇති කිරීම අරමුණ කෙරෙන බව පැහැදිලි වේ. සත්‍ය වශයෙන්ම රට තුළ ආහාර හිඟයක් පවතින්නේ ද යන්න ඕනෑම අයකුට අවබෝධ කර ගත හැකි කාරණයකි. රට මුහුණ දී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් අනවශ්‍ය වියදම් වළක්වා ලන පරිදි, රජයේ වියදම් පවා දැඩි පාලනයකින් සිදු කිරීම මුදල් ඇමැතිවරයා ද පසුගියදා පෙන්වා දුන් කාරණයකි.

මේ තත්ත්වය විදෙස් මාධ්‍ය වාර්තා කළේ සත්‍ය වශයෙන්ම රට තුළ පවත්නා තත්ත්වය පිළිබඳ වැරැදි චිත්‍රයක් ඇති කෙරෙන අන්දමින් බව පෙනෙන්න තිබේ. ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් මිල දී ගැනීමට සිටින අයගේ පෝලිම් යනුවෙන් ඡායාරූප ද පළ විය. ගෑස් හිඟයත් සමඟ භූමිතෙල් සඳහා ඇති ඉල්ලුම තාවකාලිකව ඉහළ යෑමක් සිදු වන්නට ඇතත්, සාමාන්‍ය තත්ත්වය යටතේ එවැනි හිඟයක් ඇති වන අන්දමේ ඉල්ලුමක් ඊට නැත.

ආනයන කිරීම සඳහා විනිමය හිඟයක් ඇති වී තිබෙන බැවින්, ආහාර හිඟය සඳහා මුහුණ දීමට ශ්‍රී ලංකාව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ‘බීබීසී’, ‘අල්ජසීරා’ ආදි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. හදිසි රෙගුලාසි බලාත්මක කිරීම සිදු වූයේ, සහල්, සීනි ආදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇති නොවන පරිදි පවත්වා ගැනීමට ජනාධිපතිවරයා ගත් පියවර ඔස්සේ බව ද මේ වාර්තාවල දැක්වේ.

විනිමය හිඟයක් පිළිබඳ වාර්තා පළව තිබියදී රජය ප්‍රකාශ කර ඇත්තේ සංසරණය සඳහා අවශ්‍ය තරම් විනිමය වෙළෙඳපොළට මුදා හැර ඇති බවය. අවශ්‍යයෙන්ම ආනයනය කළ යුතු එන්නත්, ඖෂධ ආදිය වෙනුවෙන් විදේශ විනිමය වැය කිරීමට හැකි වන පරිදි ඉන්ධන පරිභෝජනය අරපිරිමැස්මෙන් කරන ලෙසට බලශක්ති අමාත්‍යවරයා කළ ප්‍රකාශය ද එම විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.

සුභසාධන පහසුකම්

‘රොයිටර්’ පුවත් සේවය වාර්තා කර සිටියේ ද විදේශ විනිමය අර්බුදය හමුවේ ආහාර මිල ගණන් පාලනය කිරීම පිණිස ශ්‍රී ලංකාව ආර්ථික හදිසි තත්ත්වයක් යටතේ කටයුතු කරන බවය. මහජන ආරක්ෂක විධිවිධාන යටතේ ජනාධිපතිවරයා ආහාර ද්‍රව්‍ය සැපයුම පවත්වා ගත හැකි වන පරිදි හදිසි රෙගුලාසි බලාත්මක කළ බව ද එහි දැක්වේ.

බීබීසීය මේ තත්ත්වය වාර්තා කළේ ද අඩු වැඩි වශයෙන් එලෙසය. ආහාර මිල ගණන් අධික ලෙස ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව ආර්ථිකමය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි එහි දැක්විණි. සීනි, ලූනු, අර්තාපල් ආදි ආහාර ද්‍රව්‍ය පිළිබඳ උද්ධමනය පාලනය කිරීම සඳහා සහල්, සීනි ආදි ආහාර ද්‍රව්‍යවලට පාලන මිලක් පැනවීම ගැන ද එහි සඳහන් විය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිල ගණන් යටතේ ජනතාවට සැපයීම පිළිබඳ, අදාළ බලධාරීන් පියවර ගත යුතු බවට ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ගැන ද එහි දැක්වේ.

රට ආහාර හිඟයකට මුහුණ දී ඇතැයි පළ වන වාර්තා, ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේ ඉකුත් 2 දාය. මහජන ආරක්ෂක පනතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයට අදාළ රෙගුලාසි බලාත්මක කිරීමට ගත් පියවර පිළිබඳ එහි සඳහන් වේ. රට තුළ ආහාර හිඟයක් ඇති බවට දේශීය හා විදේශීය වශයෙන් මාධ්‍ය වාර්තාවලට පදනමක් නැති බවට රජය දැක්වූ ප්‍රතිචාරය ද එහි දැක්විණි.

වසංගතයකට මුහුණ දෙමින් එය පාලනය කිරීම සඳහා ගත යුතු පියවර ගන්නා අතර, සෞඛ්‍ය පහසුකම් හා අනෙකුත් සුභසාධන පහසුකම් ද ජනතාව වෙනුවෙන් සැපයීමට රජය වග බලා ගෙන ඇත. ආර්ථික වශයෙන් මුහුණ දීමට සිදුව ඇති අභියෝගය රහසක් නොවේ. රට ලොක්ඩවුන් කිරීම ද ඇතුළුව වසංගතය පාලනය කිරීමට ගන්නා වූ ක්‍රියාමාර්ගවලදී ආර්ථිකය බිඳ නොවැටී පවත්වා ගැනීම කෙරෙහි ද අවධානය යොමු වී ඇත්තේ එබැවිනි.

එවැනි පසුබිමක වුව රට තුළ ආහාර හිඟයක් ඇති බවට පළ වන වාර්තාවල සත්‍යතාවක් ඇති ද යන වග දැක ගැනීමට පුළුවන. වසංගත තත්ත්වය යටතේ තොරතුරු වාර්තා කෙරෙමින් ඇති ආකාරයේ පවතින ගැටලු සහගත තත්ත්වය මාධ්‍ය භූමිකාවට අදාළව ගෝලීය වශයෙන් අවධානයට ලක්ව ඇති කාරණයකි. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට අදාළව සැලකිල්ලට ගැනීමේදී එය පැහැදිලි කර ගත හැකිය. ඊට අමතරව මෙවැනි ගෝලීය වසංගතයකට මුහුණ දීමේදී එය රජයකට හෝ රටකට පමණක් තනිව කළ නොහැකි බව ලෝක තත්ත්ව දෙස බලන විට පැහැදිලිය. වසංගතය පරාජය කිරීම යනු සාමූහික ප්‍රයත්නයකි. එහිදී රටවල පාලන තන්ත්‍ර සමඟ පක්ෂ විපක්ෂ සියලු දේශපාලන බලවේග එක්ව ක්‍රියා කිරීම මෙන්ම සෑම පාර්ශ්වයක්ම හා ජනතාවගේ වගකීම් සහගතභාවය ද ඉතා වැදගත්ය. නැති ප්‍රශ්න ඇති බවට කියා පෑමෙන් සහ සත්‍ය තත්ත්වය විකෘති කොට දැක්වීමෙන් එකී ප්‍රවණතාව සපුරාලීමට හැකි ද යන්න අදාළ පාර්ශ්ව කල්පනාවට ගත යුතුය.

ධම්මික සෙනෙවිරත්න

 745 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply