සුභ දිශාවකට ගමන් කරන කොටස් වෙළෙඳපොළ!

ආයෝජකයෝ රටේ නව ආයෝජන පිළිබඳ විමසිල්ලෙන් පසු වන කොටසකි. ඔවුන්ගේ බැංකු තැන්පතු පොලී අනුපාත පහළ අගයක් ගෙන තිබෙන, උද්ධමනය 7%ක මට්ටමක පවතින විට වැඩි ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිස ඇත. ඒ හරහා මිල දී ගන්නා කොටස්වල මිල ඉදිරියේ දී ඉහළ යනු ඇතැයි ද, ඒ සමඟ තමා ආයෝජන කළ සමාගම් දියුණු වී, එහි ලාභය ඉහළ ගොස් වසර අවසානයේ ඔවුන්ට ලැබෙන ලාභාංශ වැඩි වනු ඇතැයි ද ඔවුහු උපකල්පනය කරති. මෙය දිගුකාලීන අපේක්ෂාව හා බලාපොරොත්තු මත පදනම්ව අද දවසේ සිදු කරන වඩාත් ප්‍රඥාගෝචර ආයෝජන උපකරණයකි.

කොවිඩ් වසංගතය අද වන විට නව ප්‍රභේද ඇති කරමින්, මුළු ලෝකයේ ම ජනතාව වෙත මරණ බිය, ජීවිත අවදානම මෙන් ම, ආර්ථික හා සාමාජීය අභියෝග රාශියක් ඇති කරමින් සිටී. මෙවන් වටාපිටාවක අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංසය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය, කැනඩාව, ස්පාඤ්ඤය වැනි සංවර්ධිත ආර්ථික සහිත රටවල ජනතාව ද අසරණ වී සිටිති.

නැඟී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වන ආර්ථික හිමි ආසියාවේ චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, වියට්නාමය වැනි රටවල ද, ලතින් අමෙරිකානු සහ කැරිබියන් රටවල විශේෂයෙන් බ්‍රසීලය ද, නැඟී එන සංවර්ධනය වන යුරෝපීය රටවල ද, රුසියාව ද මේ අභියෝගයට මුහුණ දෙමින් සිටී.

ඒ අතර මැදපෙරදිග, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය ඇතුළු උතුරු හා දකුණු අප්‍රිකානු රටවල් ද මෙයින් තැති ගෙන තිබේ. දකුණු ආසියානු කලාපයේ රටක් වන ශ්‍රී ලංකාව මේ අභියෝගය හමුවේ සෙසු රටවල් සමඟ සසඳා බැලීමේ දී, බිඳ නොවැටී සිටීමට දරනුයේ සුවිසල් වෑයමකි. එම අසීරුතා මැද්දේ පසු ගිය සතියේ දී ශ්‍රී ලංකාවේ කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාගත ප්‍රගතියක් අත් කර ගැනීමට සමත් විය.

මේ අන්දමට කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනයක් වීම, රටේ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම්වලට දායක වන්නේ කෙසේ ද? එහි ඇති වැදගත්කම කුමක් ද? මේ වර්ධනය කෘත්‍රිමව ඇති කළ එකක් ද? එය තව දුරටත් අඛණ්ඩව පවත්වා ගෙන යෑමට කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳ විමසා බැලීම වටී.

ඉහළම ඒකක ප්‍රමාණය

මේ තත්ත්ව ගැන කතා කිරීමට මත්තෙන්, ඉකුත් සතියේ කොළඹ කොටස් වෙළෙඳපොළ සිදු වූයේ කුමක් දැයි විමසා බලමු.

මේ වසර (2021), ඉකුත් වසරට (2020) සාපේක්ෂව කොළඹ කොටස් වෙළෙඳපොළට වර්ධනයක් හා සාර්ථකත්වයක් ගෙන ආවේ අංශ කිහිපයකිනි. කොළඹ කොටස් වෙළෙඳපොළේ මෙතෙක් දෛනික සාමාන්‍ය පිරිවැටුම ලෙස රු. බිලි. 3.2ක සුවිශේෂ අගයක් වාර්තා කළේ 2020දීය. මීට ප්‍රථම එවැනි ඉහළම අගයක් වාර්තා කර තිබුණේ, 2011දීය. මේ සියලු වාර්තා අබිබවා ඉකුත් සතියේ 27 දා සාමාන්‍ය දෛනික පිරිවැටුම රු. බිලි. 10.49 දක්වා ඉහළ ගියේය. කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉකුත් 27 දා ඒකක 9000 ඉක්මවීය. එය 2014න් පසු වාර්තා කළ ඉහළ ම ඒකක ප්‍රමාණය විය.

වසර 2020 දී කොළඹ කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 396ක් විය. එය මේ වසරේ රුපියල් බිලියන 628ක් දක්වා වැඩි වූයේ සාමාන්‍යයෙන් 56%ක වර්ධනයක් අත්පත් කර ගනිමිනි.

කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය. මෙලෙස කොටස් වෙළෙඳපොළ වර්ධනයක් අත්පත් කර ගත්ත ද, රටේ ජනතාව විමසා සිටිනුයේ ඉන් අපේ ආර්ථිකයට අත් වන ප්‍රතිලාභය කුමක් ද? යන්නයි. මේ ගැන අන්තර්ජාතික ආයෝජන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන ආචාර්ය අරෝෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, වෙළෙඳපොළ වර්ධනය දෙස්විදෙස් ආයෝජකයන්ගේ ආකර්ෂණය අප රට වෙත දිනා ගැනීමට රුකුලක් වන බවයි.

“අද වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් ගණන 288ක්. මේ සමාගම් අපේ රටේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් 48ක් සිදු කරන ආයතන. මේවා කෘෂිකාර්මික, කාර්මික හා සේවා යන අංශ තුනෙන් රටට, රටේ දළ ජාතික නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීමට දායකත්වය සපයන සමාගම්. මේ සමාගම් කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසි තම අරමුදල් සපයා ගැනීමට කොටස් නිකුතු සිදු කරනවා; ඒ හරහා අරමුදල් ලබා ගන්නවා. ඒ අරමුදල් සමාගමේ දියුණුවට ආයෝජනය කරනවා. එවිට බැංකු ක්‍රමය මඟින් තමන්ට අරමුදල් සොයා ගැනීමට ඔවුන්ට අවශ්‍යතාවක් ඇති වන්නේ නෑ. ඒ මුදල් වෙනත් අංශයක යෙදී සිටින පිරිසට බැංකු ණය මුදල් ලෙස දීමට බැංකුවලට හැකියාව තිබෙනවා. එය අනිවාර්යෙන්ම සමස්ත ආර්ථිකයේ කොටස්කරුවන් වන මුළු රටවැසි ජනතාවට ම ඍජුව හෝ වක්‍රව හෝ හිමිවන ප්‍රතිලාභයක්.

“ඊට අමතරව අප රටේ සමාගම් දිනෙන් දින දියුණු වීමෙන් රටට, රජයට වැඩි වශයෙන් බදු මඟින් ආදායම් උපයා ගත හැකි වනවා; නව රැකියා අවස්ථා බිහි වෙනවා; ආදායම් බෙදී යෑම වැඩි වෙලා, රටේ ආර්ථික පිබිදීමක් සිදු වෙනවා. මේවා දෙස පුළුල්ව බලා සිටින ආයෝජනවලට කැමැති පිරිස් අලුතින් මුදල් ආයෝජනය කිරීමට පෙලඹෙනවා. ඒ සමඟම නව ව්‍යාපාර, ආයෝජන අවස්ථා ඇති වෙලා, තරුණ පෙළට නව රැකියා අවස්ථා උදා වෙනවා. දිගුකාලීනව ගත් විට, අධ්‍යාපන, සෞඛ්‍යය, ප්‍රවාහන, සන්නිවේදන, වරාය, ගුවන්තොටුපොළ, අපනයන, ආනයනවල දියුණුවක් ඇති වෙලා, යහපත් බලාපොරොත්තු ඇති වෙනවා. මේ සියල්ල කොටස් වෙළෙඳ පොළ වර්ධනය හරහා ක්‍රමිකව සිදු වෙනවා.”

වෙළෙඳපොළ වර්ධනය

මේ වර්ධනය කෘත්‍රිමව ඇති කළ එකක් ද? යන්න සමහරකු තුළ ගැටලුවක් පැනනැඟිය හැකිය. එසේ කෘත්‍රිමව වෙළෙඳපොළ වර්ධනයක් ඇති කර, යම් සමාගමක කොටස් වෙත නොවටිනා අගයක් ලබා ගැනීමට ද පුළුවනි. එහෙත් මේ රැවටීම සැමදා කළ නොහැකිය. ඉන් විනාශයට පත් වන්නේ, එවැනි දේ කළ අයමය. කොටස් වෙළෙඳපොළ ආයෝජනවලට පිවිසීමේදී එහි කටයුතු ගැන සොයා බලා කරුණු දැන ගෙන පැමිණ ආයෝජන කිරීමට කටයුතු කළ යුතු බව, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙළෙඳ ප්‍රධානී, නිරෝෂන් විජේසුන්දර මහතා පවසයි.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිළිබඳ රටේ ජනතාව දැනුම්වත් කර, ඔවුන්ට ඒ සඳහා පිවිසීමට දැනුම ලබා දීමට වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත. එය අගය කළ යුතුය. ඒ අතරතුර ඉකුත් සතියේ කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් සිදු වූයේ කෙසේ ද? ඊට බලපෑ හේතු මොනවා ද? යන්න පිළිබඳ එහි අධ්‍යක්ෂ ජනරාල් රජිව් බණ්ඩාරනායක මහතා පවසා සිටියේ, මේ වන විට මෙරට බැංකු පද්ධතිය හරහා සිය ගනුදෙනුකරුවන්ට දෙන තැන්පතු පොලී අනුපාත පහළ මට්ටමක පැවැතීම, උද්ධමන අපේක්ෂා 5 -7%ත් අතර මට්ටමක පැවතීම, කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වර්ධනය වීමට බලපා ඇති බවය.

රටේ ජනතාව හරිහම්බ කර ගත්, ඉතිරි කර ගත් මුදල් වැඩි ප්‍රතිලාභයක් හා වැඩි වාසියක් හිමි වන ආයෝජන උපකරණවල ආයෝජනයට පෙලඹීමේ ප්‍රවණතාවක් මේ වන විට ඉස්මතුව පවතී. ඒ නිසා, බැංකු ක්‍රමයෙන් මිදී ඉහළ ප්‍රතිලාභ හිමි, තරමක් අවදානම්කාරි වූ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලට ජනතාව පෙළ ගැසෙමින් සිටිති.

මීට අමතරව කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු මාර්ගගත ක්‍රමවේදවලට අනුව සිදු කිරීමට අවකාශ ලැබීම, එහි යටිතල පහසුකම් නංවාලීමට ද, ගනුදෙනු ඉහළ යෑමට හේතු වී තිබේ.

අරමුණු හා ඉලක්ක

ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ රට වසා තැබූ සමයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සිදු කිරීමට නව ඇප් එකක් හඳුන්වා දුන් බව, එහි සන්නිවේදන අංශ ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා කියා සිටියේය. එදා ‘CSE MOBILE APP’ නමින් හඳුන්වා දුන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එහි ගනුදෙනු හා සියලු තොරතුරු අන්තර්ගත ඇප් එක මේ වන විට 88,000ක් දෙනා බාගත කර ගෙන ඇත. එම ප්‍රමාණය මේ වසර නිමා වන විට ලක්ෂයක් දක්වා වර්ධනය කර ගැනීම තම අරමුණ හා ඉලක්කය බව ද විජේසුන්දර මහතා සඳහන් කර සිටියේය.

මේ කොවිඩ් වසංගතය සමයේ වුව රට වැසුව ද කොටස් වෙළෙඳපොළ නොවසා ගනුදෙනු කිරීමට එහි කළ නව තාක්ෂණය හඳුන්වා දීමේ වැඩපිළිවෙළ මුල් වී ඇත.

සොෆ්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස් ආයතනයේ පර්යේෂණ අංශ ප්‍රධානී මහේෂ් උඩුගම්පොළ මහතා පවසා සිටියේ, මේ දිනවල කොටස් වෙළෙඳපොළ වර්ධනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (IMF) මෙරටට විශේෂ ණය මුදලක් ලැබීම ද හේතුවක් වූ බවය.

කොටස් වෙළෙඳපොළේ බැංකු හා මූල්‍ය අංශයේ ලියාපදිංචි ආයතන හා සමාගම්වල, නිෂ්පාදන සමාගම්වල, මගීන් හා භාණ්ඩ ප්‍රවාහන සේවා හා ගබඩා පහසුකම් සැපයීම, සෞඛ්‍ය අංශ, රෝහල් සේවා, ටයිල් නිෂ්පාදන සමාගම්වල කොටස් මිල ගණන්, මේ දිනවල ඉහළ යමින් තිබේ.

වසර 2020 ජනවාරි – ජූනි කාල සීමාවට සාපේක්ෂව, වසර 2021 ජනවාරි – ජුනි කාල සීමාවේ, නැතිනම් මේ වසරේ මුල් කාර්තු දෙකෙන් දෙවැනි කාර්තුවේ කොටස් වෙළෙඳ පොළ වර්ධනයක් සිදුවී ඇතැයි ද මහේෂ් උඩුගම්පොළ මහතා ප්‍රකාශ කළේය.

සමස්තයක් ලෙස මේ වන විට පසුගිය වසරට සාපේක්ෂව කොළඹ කොටස් වෙළෙඳ පොළ වර්ධනය සියයට 56කින් ඉහළ ගොස් ඇත. සෑම අංශයකින් ම හා දර්ශකයකින් ම ඉහළට ගමන් කරන කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වැඩි වැඩියෙන් ආයෝජන සඳහා පිවිස එහි වාසිය අත් කර ගන්නා ලෙස, දෙස්-විදෙස් ආයෝජකයන්ට ආරාධනා කිරීමට මේ සුදුසු ම කාලය වේ.

නව ආයෝජන

කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනයක් අත් කර ගැනීම සඳහා, මේ වන විට දේශීය ආයෝජකයෝ දායක වෙමින් සිටිති. දේශීය ආයෝජකයෝ රටේ නව ආයෝජන පිළිබඳ විමසිල්ලෙන් පසු වන කොටසකි. ඔවුන්ගේ බැංකු තැන්පතු පොලී අනුපාත පහළ අගයක් ගෙන තිබෙන, උද්ධමනය 7%ක මට්ටමක පවතින විට වැඩි ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිස ඇත. ඒ හරහා මිල දී ගන්නා කොටස්වල මිල ඉදිරියේ දී ඉහළ යනු ඇතැයි ද, ඒ සමඟ තමා ආයෝජන කළ සමාගම් දියුණු වී, එහි ලාභය ඉහළ ගොස් වසර අවසානයේ ඔවුන්ට ලැබෙන ලාභාංශ වැඩි වනු ඇතැයි ද ඔවුහු උපකල්පනය කරති.

මෙය දිගුකාලීන අපේක්ෂාව හා බලාපොරොත්තු මත පදනම්ව අද දවසේ සිදු කරන වඩාත් ප්‍රඥාගෝචර ආයෝජන උපකරණයකි. මේ ආයෝජන උපායමාර්ගය ඔස්සේ රටේ පෞද්ගලික සමාගම් සිය ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රියා කිරීමට පෙලඹවිය යුතුය. එමෙන්ම, තම සමාගම්වල ලාභය වැඩි කර ගැනීමට ගනුදෙනු වඩාත් විනිවිදභාවයෙන් සිදු කිරීමට සූදානම් විය යුතුය.

දැනට අප රටේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශ තුනේ අපනයන වෙළෙඳාම වැඩි වන සහ විදේශ විනිමය ඉහළින් ලැබෙන ක්‍රියාකාරකම් සිදු කරන සමාගම් රාශියක් කොටස් වෙළෙඳපොළට ප්‍රවිෂ්ට වී ඇත. බැංකු හා රක්ෂණ, ප්‍රවාහන, සෞඛ්‍ය, ඇඟලුම්, ඛනිජ, සංචාරක අංශ, උප අංශ ඒ අතර ප්‍රධාන වේ.

මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ආයෝජන ගන්නා තැනට කොටස් වෙළෙඳපොළ දියුණුව හරහා රටේ ආර්ථික, සාමාජීක දියුණුව ළඟා කර ගැනීමට වඩාත් විමසිලිමත්ව හා ගමන දැන ගෙන අවබෝධයෙන් පියවර තබමින් ඉදිරියට යෑමට ආයෝජක ප්‍රජාවට හැකි වේවා!යි අපි සුබ පතමු.

 527 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply