ජනාධිපති හදිසියේම පත්කළ “අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්” සතු බලතල ගැන ඔබ දන්නවාද?

සාමාන්‍ය ජන ජිවිතය යථාපරිදි පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වී, සහල් සහ සීනි ඇතුළු සෙසු පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට දී ඇති බලතල අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැති බව අධිකරණ අමාත්‍යාංශ උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පැවසීය.

ඇතැමුන් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමක් ලෙස මෙම බලය පැවැරීම අර්ථ ගන්වන බව කියා සිටි ඒ මහතා මින් බලය ලබා දී ඇත්තේ සාමාන්‍ය ජන ජිවිතය යථාපරිදි පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සොයා බැලීමට පමණක් බවද අවධාරණය කළේය.

ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා මෙසේ ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සතු බලතල සම්බන්ධයෙන් පැහැදිලි කරමිනි. මේ ගැසට් පත්‍රය කරපු ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට හැකිවන්නේ දින 14ක කාලයකට මුල් වෙලාවේදි. ඒ සම්බන්ධව මාසයක් මේ නීතිය පවත්වන්න හැකියාව ලැබෙනවා. එතකොට දින 10ක් ඇතුළත පාර්ලිමේන්තුව මේක අනුමත කළාම මාසයක කාලයකට ඒක ක්‍රියාත්මක වෙනවා යැයිද ජනාධිපති නීතිඥවරයා සදහන් කළේය.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස රජය විසින් මේජර් ජෙනරාල් එම්.ඩී.එස්.පී නිවුන්හැල්ල මහතා පත්කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමසීමට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ බලයලත් නිලධාරීන්ට ද බලතල ලැබෙන බවත් සෑම ස්ථානයකම සඟවා තැබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තිබේ නම් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට, වැඩි මිලට විකුණනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා බලතල හිමිවන බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

වැටලීම් සිදු කොට එම භාණ්ඩ රජය යටතට ගත් පසු රජයේ මිල ඒකකයට අනුව ඒවා විකිණීම, බෙදාහැරීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව රේගු නිලධාරීන් විසින් යම් යම් නියමයන්ට අනුව කටයුතු කරලා තියෙනවා නම් ඒ මිල නියමයන්ට අනුව කටයුතු කිරීමටත් මේ අනුව හැකියාව ලැබෙනවා.

මීට දින කිහිපයකට ප්‍රථම වැටලීම් කරලා මුද්‍රා තැබුණු ගබඩාවලටත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට ඒ ස්ථානවලට ඇතුළු වෙලා කටයුතු කිරීමේ හැකියාවත් මෙම පනත ප්‍රකාරව බලතල ලැබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

සුභාෂිණී සේනානායක / www.dinamina.lk

 505 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply