ඉස්සර අපේ ගම් පළාත්වල ජෙසී ඔවන්ස්ලා, කාල් ලුවිස්ලා, ඩොනවන් බේලිලා, උසේන් බෝල්ට්ලාටත් වඩා වේගයෙන් දුවන්නෝ වූහ. ඒත් ඔවුන් සිටියේ ක්‍රීඩාපිටිවල නොවේ. බූරුපිටිවලය. දිව්වේ තරගයට නොවේ. බූරුපිටියට පොලිසියෙන් පනින විටය.

‘‘කම්බි හත්පොටක් උඩින් පනින්නට බැරි එකෙක් බූරු පොළක් පැත්ත පළාතට නොයා යුතු යැයි’’ ගමේ ගොඩේ කතාවකි. එසේම ‘බූරු ගහන එකාත් මෝඩයා, බූරු ගහනව බලාගෙන ඉන්න එකාත් මෝඩයා’ යැයි කතාවකි. ඒ පොලිසියෙන් පැන්න විට බූරු ගැසූ එකාත් බූරු ගසනවා බලා සිටින එකාත් කුදලාගෙන යන නිසාය.

බූරුපොළක් යැයි කී විට එකවරම අපේ ඔළුගෙඩිවලට එන්නේ වන ලැහැබක මාගල් එළාගෙන දහදොළොස් දෙනෙක් වටවී කරන සූදුවකි. ඒ ඉස්සරය. දැන් වෙනස්ය.

ඊයේ පෙරේදා දවසක බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත ගම්වාසීන් විසින් පොලිසියට තොරතුරක් දී තිබිණි. ඒ එම එහි නිවැසි කොළඹ ප්‍රකට ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ ගෙදරට සැකකටයුතු පුද්ගලයන් නිතර පැමිණෙන බවයි. පොලිසිය ඒ ගැන සොයා බැලුවේය. සැකකටයුතු පිරිස් පැමිණ තිබුණේ ගුරුවරියගෙන් පාඩම් ඉගෙන ගැන්මට නම් නොවේ. බූරු ගැසීමටය. මේ බුරුපොළට පොලිසිය පනින විට එහි පිරිමි අටදෙනෙක් බූරු කෙළිමින් සිටි බවත්, ඔවුන් හොඳහැටි මත්පැනින්ද සප්පායම් වී සිටි බවත් එම ප්‍රවෘත්තියේ සඳහන් වී තිබිණි.

මෙම ගුරුවරිය තම නිවසේ බූරුපොළ පවත්වාගෙන ගොස් තිබුණේ අමතර ආදායමක් උපයා ගැනීමටය. ඇගේ අමතර ආදායම වූයේ බූරුපොළෙන් තෝන් ගැනීම සහ මත්පැන් බොන බූරු සාමාජිකයන්ට කට ගැස්ම සකසා දීමයි.

ඉස්සර නම් බූරු ගැසුවෝ පිරිමි මිස ගැහැනු නොවේ. මෙරට ප්‍රකටම බූරුපොළ එක්දහස් අටසිය ගණන්වල අග භාගයේ ආමර් වීදියේ තිබුණ නෙයිනගෙ සූදුපොළයි. එහි බූරු ගසන්නට ආවෝ පිරිමිය. එකල පොලිසියටවත් කිට්ටුවෙන්නට නොහැකි යැයි මතයක් තිබූ නෙයිනාගේ සූදුපොළ වැටලුයේ පසුකලෙක රටේ අගමැතිවරයකුද වූ සර් ජෝන් කොතලාවලගේ පියා වූ පොලිස් ඉන්ස්පැක්ටර් පෝන් කොතලාවල (ජ්‍යෙෂ්ඨ) විසිනි. මෙම වැටලීම කළ කල පුවත්පත්වලින් ඔහු වර්ණනා කළේ වීරයකු හැටියටය. එකල්හි ඒ ගැන කවි කොළ පවා ලියැවිණි. පසුකලෙක ‘‘නෙයිනගෙ සූදුව’’ නමින් රට ප්‍රකට වේදිකා නාට්‍යයක්ද බිහිවිය.

ඊට පසුව රටේ ප්‍රකටවූ බූරුපොළක් කොළඹ නගරයේ වීනම් ඒ මීට වසර කීපයකට පෙර අසන්නට ලැබුණ සලාකා බූරුපොළයි. එයද සංවිධානය කර තිබුණේ කාන්තාවකි. නෙයිනාගේ බූරුපොළේ සිටියා වැනි චණ්ඩි එළුවන් නොසිටියාට එයටද පොලිසියේ ද දේශපාලන චණ්ඩින්ගේ ද අනුග්‍රහය ද නොඅඩුව ලැබී තිබුණ බව ඒ දිනවල අසන්නට ලැබිණි. ඒ දේශපාලන හයි හත්තිය ඇති අයගේ පිහිට නිසාය.

මීට වසරකට පමණ පෙර මාතර වැලිගමින්, ගාල්ලේ හික්කඩුවෙන් හා මොරටුවේ ලක්ෂපතියෙන්ද අපූරු බූරුපොළවල් ගැන වාර්තා ලැබී තිබිණි. ඒ බූරුපොළවල් වෙනත් බූරුපොළවල්වලට වඩා අපූර්ව වූයේ ඒවා සංවිධානය කර තිබුණේත්, පවත්වාගෙන ගියේත්, ඒවායේ බූරු ගැසුවේත් කාන්තාවන් නිසාය.

වැලිගමින් හසුවූ බූරුපොළේ සිටි කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයන් ධීවරයන්ය. ධීවර බිරින්ඳෑවරුන් බූරු ගස්සන්නට එක්රොක් වූයේ සැමියන් මුහුදු ගිය පසුය. මෙම බූරුපොළ පොලිසිය වටලද්දී එහි බූරු කෙළිමින් සිටි එක් කාන්තාවක් දරුවා බිහි කිරීමට ආසන්නව සිටි ගැබිනියකි. තවත් කාන්තාවන් දෙදෙනෙක් බූරුපිටියට ‘අවතීර්ණ’ වී තිබුණේ අත දරුවන්ද සමගය. ඔවුන් මේ අත දරුවන්ට කිරිපොවමින් ‘බූරු ගැසීමේ’ යෙදුණ බවත් ඒ දරුවන්ට කිරි දුන්නේද ඒ ගැන අවධානයෙන් නොව බූරුපොළ ගැන අවධානයෙන් යුතුව බවද පොලිසිය උසාවියේ දී කියා තිබුණා.

මොරටුව ලක්ෂපතියේ තිබුණේ වැලිගම තිබූ බූරුපොළ මෙන් දුප්පත් බූරුපොළක් නොවේ. සුපිරි බූරුපොළකි. අතමිට හිඟ නැති මවුවරු පස්දෙනෙක් සිය දරුවන් පාසල් යන උදේ වරුවේ දිනපතාම සල්ලි ඔට්ටුවට බූරු ගසා තිබිණි.

හික්කඩුවෙන් ඇසුණු බූරුපිටියට පොලිසිය පනින විට එහි කාන්තාවන් හත්දෙනෙක් වූහ. ඔවුන් එක තැනක බූරු නොගැසූ ඔවුන් සාමාජිකාවන්ගේ ගෙවල්වල මාරුවෙන් මාරුවට මේ සෙල්ලම කරගෙන ගොස් තිබිණි. මෙම කණ්ඩායමේ වයස අවුරුදු තිස් ගණන්වල, වයස අවුරුදු හැත්තෑව පමණ දක්වා වූ වයස් කාණ්ඩවල කාන්තාවන් වූහ. ඔවුන් බූරු ගසන්නට ආවේ ගියේ බස්වලින් නොව තමන්ගේම මෝටර් රථවලිනි.

පසුගිය කාලයේ කැකිරාවේ බූරුපොළක් ගැනද මාධ්‍යවලින් වාර්තා වී තිබිණි. සුපිරි හෝටලයක පවත්වාගෙන ගිය එයට සහභාගි වූ අය අතර රජයේ ඉහළම පෙළේ නිලධාරීන්ද සිටි බවට සඳහන් වී තිබිණි.

මේ කියන කාලයේදීම ගම්පොළින්ද සුපිරි බූරුපොළක් ගැන අසන්නට ලැබිණි. එහි බූරු කෙළියෝ වෛද්‍යවරුන්ය, නීතිඥවරුන්ය, ඉංජිනේරුවන්ය, බැංකු නිලධාරීන්ය, සුපිරි ව්‍යාපාරිකයන් ආදීහුය. මේ කැටගරියෙන් පිට වෙනත් කිසිවෙකු මෙම බූරුපිටිය පැත්ත පළාතට වද්දාගෙන තිබුණේ නැත.

මෙම බූරුපිටියේ වාඩිවීමට නම් එක් අයකු අවම වශයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් පෙන්විය යුතුව තිබිණි. එසේම මෙම බූරුපොළට තැනක් වේලාවක් කාලයක් තිබුණේ නැත. පහළොවක් විස්සක් පමණ වූ සාමාජිකයන් ගණනක් සිටි මෙම බූරුපොළ පවත්වන තැන වේලාව තීරණය කරන්නේ එම සාමාජිකයන්ය. නිතැතින්ම බූරුපිටිය පවත්වන්නේ කලින් වතාවේ පරාජය වූ සාමාජිකයාගේ ගෙදරය. ඇතැම්විට රාත්‍රී එළිවෙනතුරුම පවත්වන බූරුපිටිය පසුදා අලුයම වනතුරුත් පවත්වා ඇත. පොලිසිය වටලන විට බූරුපිටිය පැවැත්වූ තැනැත්තා ඊට පළමු බූරුපොළේදී රුපියල් කෝටි දෙකක් පරාජය වී තිබුණු බවද කියැවිණි. පොලිසිය වටලන විට මෙම බූරුපිටියේ විස්කි බෝතල්ද තිබූ අතර හිස් බීර බෝතල් හැටක් තිබුණ බවද සඳහන් වී තිබිණි.

මෙම බූරුපිටියේ ‘තෝන්’ ගැනීම නොහොත් ජයග්‍රහණය කරන අයගෙන් සියයට ගණනක් ලබාගැනීමේ වරප්‍රසාදය හිමිව තිබුණේද බූරුපොළ පවත්වන්නාටය. එසේ කර තිබුණේ ඔහු කලින් වතාවේ පරාජය වූ මුදල යම් ප්‍රමාණයකට හෝ පියවා ගැනීමේ වාසිය ලබාදීමටය.

බූරුවා ගැසීම ගමේ ගොඩේ නූගත්තුගේත්, කැසිනෝ ඉහළ පැලැන්තියේත් සූදුව යැයි සිතා සිටියත් යථාර්ථය ඉහත ආකාරයටය.

එදා ගමේ ගොඩේ තිබුණ ලොකුම සූදුව බූරුවා ගැසීමයි. බූරුවා ගැසීමට බේබි කපනවා යැයිද කීවේය. මහගමසේකරයන්ගේ තුන්මං හන්දිය නවකතාවේ එන හැටියට ලොකු මාමා නොහොත් අබිලිං සිංඤෝ නැත්තටම නැතිව ගියේ බේබි කැපිල්ලත්, බේබි කැපිල්ලේ නිවුන් සොහොයුරා වූ සුරාවත් නිසාය. ගමේ ගොඩේ බූරු කෙළිය බේබි කැපිල්ල වුවත් නගරයේ එය ආස්කිං (Asking), හිටිං (Hitting) ය.

සල්ලි මිටි ගණන්

අරන් එයි වටින් පිටින්

කල්ලි නෑ මචං

මෙතැන ආස්කින් හිටින්

පුල්ලි කොළවලින්

සෙල්ලන් නෑනෙ වැඩ කෙළින්

මල්ලි ඉඳගනින්

ජෙමා කූට්ටම ගනින්

ආසි හේරු පොරෝ බූරු රජවෙල ඇත්තේ

පනස් දෙකේ කොළ කුට්ටම ජෙමාගෙවත්තේ

යැයි නිහාල් නෙල්සන් ගයන්නේද බූරුවා සූදුව ගැනය.

මේ ආස්කින් හිටින් නොහොත් බූරු ගැහිල්ල දැන් දැන් ඇතැම් පළාත්වල මළගෙවල් සමගද ඇඳී ඇත්තේය. මීට දශක දෙකකට පමණ ඉහතදී අප දන්නා හඳුනන කොළඹ වත්තක අයකුගේ මිත්තණිය කොළඹ මහ රෝහලේදී මිය ගියාය. ඇයගේ මිනිය රෝහලෙන් එළියට ගැනීමේ තැන සිට මල්ශාලාවේ සියලු කටයුතු සඳහා ඉදිරිපත්වීමට පවුලේ ඥාතින්ට අවසරයක් නැති විය. ඊට ඉදිරිපත් වූයේ ප්‍රදේශයේ පාතාලයයි. මිනිය දින කීයක් තියාගත යුතු පරිදි එම්බාම් කළ යුතු දැයි තීරණය කළෝ ඔවුහුය. අවසන් කටයුතු කරන දිනය තීරණය කළෝ ඔවුහුය. ඒ කුඳු මහත් කටයුතු සඳහා වියදම් කළෝද ඔවුහුය. රාත්‍රී තුනක් පමණ මිනිය තියාගත් ඔවුහු ඒ හැම දිනකම මළගෙදර බූරුගැසුවෝය. එය ලොකු ලොකු මුදල් වැටෙන ලොකු බූරු පිටියකි. මළගෙදර අයිතිකාරයන්ට තිබුණේ මේ දින ගණන පුරාවටම බූරුපිටියට (මළගෙදරට) එන අයට තේ, කෝපි, සිගරැට් ආදිය සැපයීම පමණි.

එදා කොළඹින් බිහිවූ බූරු ගැසීම සඳහා මළගෙදර බදු ගැනීමේ ක්‍රමය දැන් ඈත ගම් නියම්ගම් දක්වාද විහිදී තිබේ. ගමේ චණ්ඩියා මළගෙදර අයිතිකාරයාය. එදා මළගෙවල්වල නිදි වැරීමට පැමිණි වෙස්සන්තර ජාතකයේ තැන අද අත්පත් කරගෙන ඇත්තේ බූරුකුට්ටමයි.

බූරුගැසීමට ගන්නා කාඩ් කුට්ටම බිහිවීමේ නිවැරදි ඉතිහාසයක් ගැන කොතැනකවත් සඳහනක් නැතත්, ක්‍රිස්තු වර්ෂ හත්වැනි ශත වර්ෂයේදී (ක්‍රි:ව: 868) චීනයේ ටැං රාජවංශයේ යී සොංග් අධිරාජ්‍යයාගේ දියණිය වූ වූ ෂොං ටැං කුමරිය සිය සැමියාගේ ඥාතීන් වූ ‘වෙයි’ ගෝත්‍රිකයන් සමග කඩදාසි කොළ යොදා ගනිමින් සූදු ක්‍රීඩාවේ යෙදුණ බවට සටහන් තිබේ. එසේම චීන ජාතිකයන් කඩදාසිය නිපදවූ මුල් කාලයේම කාඩ් කුට්ටම නිපදවූ බවද ඉතිහාස කතාවල සඳහන්ය. එසේම කාඩ් ක්‍රීඩාව ගැන ලියැවුණ මුල්ම පොත ලියා ඇත්තේද ටැං රජ සමයේ විසූ යීෂි ජියි නමැති කාන්තාවක් විසිනි. ලංකාවේත් කාන්තාවෝද දැන් දැන් බැඳගෙන බූරු ගසන්නේ ඒ අතීත අයිතිය නිසා විය යුතුය. කෙසේ වෙතත් ඒ කාලයේදී මෙම කාඩ් භාවිතයෙන් ක්‍රීඩා කිරීමේ වරප්‍රසාදය හිමිවී තිබුණේ චීන වංශවතුන්ට පමණක් බවත් ඔවුන් නිතරම කාඩ් ක්‍රීඩාව කළේ මුදලට බවද චීන වංශ කතාවන්හි සඳහන් වේ.

කෙසේ වෙතත් හාරත, රුයිත, කලාබර, ඉස්කෝප්ප වංශයෙන් වංශ හතරම බෙදුණ කොළ පනස් දෙකකින් යුතු කාඩ් කුට්ටම බිහිවී ඇත්තේ ප්‍රංශයේය. වත්මන් කාඩ් කුට්ටමේ ඇති වංශ හතර වන හාරතයෙන් කතෝලික පල්ලිය නොහොත් පූජ්‍ය පක්ෂයත්, රුයිතය යුද හමුදාවත්, කලාබරයෙන් කුලී ගොවියාත්, ඉස්කෝප්පයෙන් රදල පැලැන්තියත් වශයෙන් ප්‍රංශයේ වැඩවසම් යුගයේ තිබූ සමාජ සංයුතිය නියෝජනය කෙරේ.

කඩදාසි කාඩ් අසුරින් කෙරෙන මෙම ක්‍රීඩාව මුල් යුගයේදී චීනයේ ‘යූකා’ නමින් හැඳින්වූ අතර ජර්මන් බසින් එය බවර් වූ බවත්, බෝයර් වී එය ලංකාවට පැමිණ පසුව දිවෙහි පහසුව සඳහා බූරු ක්‍රීඩාව වූ බවත් එක් මතකයකි. එසේම දකුණු අප්‍රිකාවේ කුලී ගොවියන් වන බෝයර්වරුන් මෙරටට පැමිණි පසු ඔවුන් පාවිච්චි කළ ඇඳන් බූරු ඇඳන් වූවා සේම ඔවුන් කාඩ් කුට්ටම ඇසුරින් කළ ක්‍රීඩාව බූරුගැසිල්ල වූ බවත් මතයකි.

www.aruna.lk / උපාලි තිලකරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here