හැම දේටම ආණ්ඩුවට බනින උන්ට දිනේෂ්ගෙන් පාඩමක්!

අප ශ්‍රී ලාංකිකයන් බහුතරයක් හුරුව ඇත්තේ ජය ගැනීමට නොවේ. පරාජයට හේතු කීමටයි.

අප බොහෝ දෙනෙක් ඕනෑම දෙයක් අරඹන්නේම සාර්ථක වීමට උත්සාහ කිරීමට වඩා අසාර්ථක වූ පසූ කීමට හේතු සකසා ගෙනය.

එක්කො අපගේ අසාර්ථක වීමකට ආයතන ප්‍රධානියාට බනිති. නැතිනම් පවුලේ සාමාජිකයෙකුට, අසල්වාසියෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට බනිති.

ඒත් නැතිනම් ආණ්ඩුවට බනිති. ඒ කිසිවක් අදාල නැති නම් “සිස්ටම්” එකට හෝ බැන අපගේ හිත හදාගනිති. ඒ වෙනුවට සාර්ථක වීමට යළිත් වරක් උත්සාහ කරන්නේ නැත.

ශ්‍රී ලාංකික අපට අද දිනය වැදගත් වන්නේ ඒ අර්ථයෙනි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කවරාකාරයේ හෝ ඔලිම්පික් රන් පදක්කමක් මවුබිමට හිමි වූ දිනය අදය.

2020 ටෝකියෝ පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වකින් ලෝක වාර්තාව සමගින් රන් පදක්කමක් දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත් විය.

ඔහු හේරත් මුදියන්සේලාගේ දිනේශ් ප්‍රියන්ත ය.

දිනේශ් ප්‍රියන්ත උපත ලබන්නේ 1986 ජූලි 15 වැනිදා දුෂ්කර අනුරාධපුර, කාගම ග්‍රාමයේයි. ඔහු අධ්‍යාපනය ලබන්නේ කාගම ධාතුසේන මහා විද්‍යාලයෙනි.

දිනේෂ්ට ඔහුගේ පියා කුඩා කාලයේදීම අහිමි වේ. මේ හේතුවෙන් දිනේශ් ගේ ළමා කාලය එතරම් සුවපහසු වූයේ නැත.

පාසල් අධ්‍යාපනයෙන් පසු 2004 වසරේදී දිනේශ් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආදුනික සෙබලෙක් ලෙස එක් වේ. එවිට දිනේෂ්ට වයස අවුරුදු 18 සම්පූර්ණ වූවා පමණි.

ඉන්පසුව මානුෂීය මෙහෙයුමට එක්වන කෝප්‍රල් දිනේෂ්, 2008 වසරේ මානූෂීය මෙහෙයුම අග භාගයේදී යුද්ධය අතරතුර සතුරු ප්‍රහාරයකට ලක්වේ. එහිදි පතුරම් තුනක් ඔහුගේ දකුණු අත පසාරු කරගෙන ගොස් තිබුණි.

ඉන්පසුව ආබාධිත තත්ත්වයට ලක්වන දිනේෂ්, වෛද්‍ය හේතුන් මත යුධ හමුදාවෙන් විශ්‍රාම ගැන්වේ. ඒ වනවිට ඔහුට වයස අවුරුදු 22 සම්පූර්ණ වූවා පමණි.

කෙසේ වුවත් වයස අවුරුදු 22ක් වෙතදී, ආබාධිතයෙක් ලෙසින් ජීවිතයෙන් විශ්‍රාම යෑමට දිනේෂ් ප්‍රියන්ත සුදානම් වුයේ නැත.

ඉන්පසුව ඔහු යුධ හමුදාව සමග ක්‍රීඩාවට යොමුවීමට තීරණය කළේය.

හෙල්ල විසි කිරීම ඉසව්වෙන් පුහුණුවීම් අරඹන දිනේෂ් ප්‍රථම වරට 2012 වසරේ පැරාඔලිම්පික් තරගාවලිය සහභාගී වීමට උත්සාහ දරනවා. ඒ වන විට ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම් වලට ඇතුලත් නොවූ නිසා ඔහුට ඒ සඳහා අවස්තාව හිමි වූයේ නැත.

කෙසේ වෙතත් 2014 ආසියානු පැරා ක්‍රීඩාවලියට සහභාගී වන දිනේශ් හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් සය වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වේ.

කෙසේ වෙතත් ඔහුගේ සිහිනය වූ පැරා ඔලිම්පික් තරගාවලිය උදෙසා ඔහු පුහුණුවීම් දැඩි කරන්නේ ඒ සමගය.

ඔහුගේ සිහින සැබෑ කරමින්
2016 රියෝ පැරා ඔලිම්පික් තරගාවලියට මුල්ම වරට සුදුසුකම් ලැබීමට දිනේෂ් සමත් වේ.

එහිදී ඔහු මීටර් 58.23ක දක්ෂතාවයක් වාර්තා කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමද සුවිශේෂීය.

මෙය සීග්‍ර වර්ධනයක් වන්නේ මින්පෙර ඔහු ආසියාවෙන්ම හය වැනියාව සිටි නිසාය.

ඉන්පසුවද දිනේෂ්ගේ දක්ෂතා වේගයෙන් ඉහළ ගියේය.

2017 ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලිය, 2018 ආසියානු පැරා ක්‍රීඩාවලිය මෙන්ම 2019 ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතාවලියේදී ඔහු රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වේ.

එවැනි පසුබිමක 2020 පැරා ඔලිම්පික් තරගාවලියට දිනේශ් සුදුසුකම් ලබන්නේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙසිනි.

මේ අනුව තරගාවලියේදී හෙල්ල වීසි කිරීම F46 වර්ගීකරණය යටතේ තරග කළ දිනේශ්, මීටර් 67.79 ක සුපිරි දස්කමක් වාර්තා කරමින් ලෝක වාර්තාවක්ද සමගින් රන් පදක්කමක් මවුබිමට දිනා දීමට අද සමත් වේ.

දිනේෂ් ප්‍රියන්ත සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම අපූරූ පාඩමක් උගන්වයි.

අනුරාධපුරයේ කාගම ග්‍රාමයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට එක්වී වයස අවුරුදු 22ක් වනවිට සිය දකුණු අතට වෙඩි තුනක් වැදී ආබාධිතයෙක් වූ දිනේෂ්ට, සිය ජීවිතයේ ඉතිරි කාලය උදෙසා සැලසුමක් තිබුණි.

ඔහු ආබාධිතයෙක් වූයේ රට වෙනුවෙන් සටන් කිරීමට ගොස්ය. ඔහුට අවශ්‍ය නම් ජීවිත කාලය පුරාවටම කිසිවෙකුට හෝ බැන වදිමින්, සිය විශ්‍රාම වැටුපෙන් ජීවත් වීමට තිබුණි.

ඔහු අති බහුතරයක් දෙනා මෙන් නිදහසට කරුණු කීම තෝරා ගත්තේ නැත.

ඒ වෙනුවට ඔහු තමන් විශ්වාස කළේය. තමන්ට පාලනය කළ නොහැකි දේ උදෙසා බැන වදිමින් කාලය ගත නොකළේය.

ඔහු අයිතිවාසිකම් ඉල්ලමින් අරගල නොකළේය.

ඒ වෙනුවට තමන් තෝරාගත් ක්‍රීඩාවෙන් මවුබිමට රන් පදක්කමක් දින දෙමින් ඔහු මව්බිමට යුතුකම් ඉටු කළේය.

දිනේෂ් ප්‍රියන්ත සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම උගන්වන පාඩම එයයි.

උපුටාගැනීම : https://www.facebook.com/102669722137215/posts/111616707909183/

 778 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply