“කොවිඩ් මර්දනයට කෝටි 70,000ක් වැය කරලා” – එය රටේ සමස්ත ආදායමෙන් හරි අඩක්!

වසංගතය පාලනය කිරීම හා ජනතා සහන සැලසීම සඳහා රජය මේ දක්වා රුපියල් කෝටි හැත්තෑදහසකට (බිලියන 700) අධික මුදලක් වැය කර ඇති අතර, එය ඉකුත් වසරේ මෙරට සමස්ත ආදායම වූ රුපියල් කෝටි එක්ලක්ෂ තිස්අටදහසක (බිලියන 1380) මුදලෙන් හරි අඩක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ‘දිනමිණ’ට ඊයේ (29) පැවසීය.

වසංගතය පාලනයට හා ජනතා සහන සැලසීම සඳහා මේසා විශාල මුදලක් වැය කළ ද රාජ්‍ය සේවක වැටුප අඩු කිරීමට හෝ දීමනා කපා හැරීමට රජය පියවර නොගැනීම පිළිබඳ රාජ්‍ය සේවකයා අවංකව සතුටු විය යුතු බවද හෙතෙම සඳහන් කළේය. කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ද මීට අමතරව විශාල මුදලක් වැයකර ඇති අතර පී.සී.ආර් හා ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු,ආසාදිතයන් සඳහා අලුත් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම, නිරෝධායනය වන පවුලකට සති දෙකකට රුපියල් 10,000ක සහන මලු ලබාදීම මෙන්ම හමුදාව, පොලිසිය ආදි ආයතන මගින් සිදුකළ සේවාවන්වලට ද විශාල මුදලක් අමතරව වැයකර ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය. කොරෝනා වසංගතය පාලනයට හා ජනතාවට සහන සැලසීම සඳහා මේසා විශාල මුදලක් වැයකළ ද රජය පිටරට මූල්‍ය ආයතනවලට ගෙවිය යුතු ණය වාරික ගෙවමින්, රටේ අනෙකුත් ආර්ථික කටයුතු සමබරව පවත්වාගෙන යන බවද හෙතෙම කීය.

සමෘද්ධි දීමනා ලබන අඩු අදායම්ලාභි පවුල් සඳහා රුපියල් කෝටි 5000ක්(බිලියන 50), නොමිලේ බෙහෙත් ලබාදීම සඳහා රුපියල් කෝටි 9000ක්(බිලියන 90 ), අබාධිත රණවිරුවන් වෙනුවෙන් රුපියල් කෝටි 4000ක්(බිලියන 40 ), විශ්‍රාම වැටුප් සඳහා රුපියල් කෝටි 25,000ක් (බිලියන 250), පොහොර සහනාධාර සඳහා රුපියල් කෝටි 3500(බිලියන 35) මෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තුව සඳහා විවිධ සහන ලෙස රුපියල් කෝටි 7000ක්(බිලියන 70) ආදි වශයෙන් රුපියල් කෝටි 56,000ක්(බිලියන 560) වියදමක්ද දරමින් මෙම වසංගතය පාලනය හා ජනතා සහන සැලසීම සඳහා රජය රුපියල් කෝටි 70,00කට අධික මුදලක් වැය කිරීම ඓතිහාසික ආර්ථික කළමනාකරණයක් බවද හෙතෙම පෙන්වා දෙනු ලැබීය.

මේ අසීරු මොහොතේ වසංගතය පාලනය කිරීම සඳහා වරින් වර නිරෝධායන ඇඳිරි නීතිය හා සංචරණ සීමා පැනවීමට සිදුව තිබෙන නිසා රටේ නිෂ්පාදන කටයුතු සැලකිය යුතු මට්ටමකින් අඩාළ වී තිබියදී එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍යවල මිල මෙයාකාරයට පවත්වාගෙන යන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූරදර්ශී මඟපෙන්වීමත්, නිසි ආර්ථික කළමනාකරණයත් නිසා යැයිද හෙතෙම පැවසීය.

තිස් වසරක යුද සමයේදීවත් මෙවැනි ආර්ථික අර්බුදයකට රට මුහුණ දී නැතැයිද, වසංගතය පැවති ඉකුත් වසර එකහමාර තුළ ජනතාවත් බේරාගෙන ආර්ථිකයත් රැකගැනීමට හැකි වී තිබීම පිළිබ‍ඳ සමස්ත ජනතාවම සතුටු විය යුතු බව‍‍ඳ ඒ මහතා කීය.

මීට පෙරාතුව මෙරට පාලනය කළ එකදු රාජ්‍ය නායකයකුට හෝ රජයකට මෙවැනි ගෝලීය අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවූ බවද හෙතම සඳහන් කළේය. එනිසා ජනතාව මේ මොහොතේදී නිසි සෞඛ්‍ය උපදේශනවලට යටත්ව රජය ගනු ලබන පියවර සාර්ථකව නිම කිරීමට සහාය ලබාදිය යුතු බවද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් කරුණු දැක්වීය.

 421 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply