ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් රාජ්‍ය සේවකයින්ට කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්!

පෑලියගොඩ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරිය තනිකඩ සේවක නිවාසය “ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතරමැදි කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්” ලෙස නවීකරණය කොට සියළු පහසුකම් සහිතව පිහිටුවීම සේවකයින්ගේ මෙන්ම වරාය භාවිතා කරන්නන්ගේ ද ප්‍රසාදයට පත්ව ඇත.

මෙහි ප්‍රථම අදියර දී ඇඳන් 108 කටත් සමන්විත වන අතර, දෙවන අදියරේ දී තවත් ඇඳන් 110 ක් එක් කොට මෙම මධ්‍යස්ථානය පුළුල් කිරීමට නියමිත ය.

පවත්නා වසංගත තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ වරාය පද්ධතිය තුළ සිදුවන සියළු මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව වරාය හා නාවික ගරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිරන්තර අවධානයට ලක්ව ඇති කාරණයකි.

එවන් පසුබිමක වරාය සේවක ප්‍රජාව තුළ ඔවුන්ගේ සුරක්ෂිතතාව පිළිබඳව ද ගරු අමාත්‍යතුමන්ගේ අවධානය යොමුව ඇත. එහි එක් පියවරක් ලෙස, අමාත්‍යතුමන්ගේ මග පෙන්වීම යටතේ මේ සඳහා අවශ්‍ය සැළසුම් සකස් කෙරිණි.
ඒ අනුව, ශ්‍රීලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතාගේ උපදෙස් මත මෙම කාර්ය පැවරෙනුයේ “කොවිඞ් මර්ධන ක්‍රියාකාරී කමිටුව” හෙවත් ක්‍ඡ්ක්‍ වෙතයි. එහි ප්‍රධානී, අධ්‍යක්‍ෂ (මානව සම්පත් සංවර්ධන) නලින් අපොන්සු මහතාගේ මෙහෙයවීමෙන්, වෛද්‍ය කොට්ඨාශයේ වෛද්‍ය සඳුනි ලියනගේ මහත්මියගේ පූර්ණ නිරික්ෂණයෙන් මෙම මධ්‍යස්ථානය මේ වන විට ක්‍රියාත්මක වේ.

මෙහි ඇති එක් වැදගත් කමක් වන්නේ මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා රාජකාරි වේලාවෙන් බැහැරව බොහෝ සේවක මහත්වරු ස්වේච්ඡාවෙන් යුතුව සේවය කොට තිබීමයි. එමෙන්ම, වෘත්තීය සංගමයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුබද්ධිත රජයේ වෘත්තීය සංගමය ද පූර්ණ කාලීන දායකත්වය ලබා දෙමින් මේ වෙනුවෙන් කැපවී ක්‍රියාකල තවත් පාර්ශවයකි.

මෙම “අතරමැදි කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානය” පිහිටුවීමෙන් මෙතෙක් වරාය සේවකයින් අතර ගැටළුවක්ව පැවැති කොවිඞ් ආසාදනය හෝ ආශ්‍රිතයකු වීම හේතුවෙන් නිවෙස් නිරෝධයනයට යොමුවීම නැවතී ඇත. එලෙස යොමු කිරීම හේතුවෙන් නිවෙස් වල සාමාජිකයින්ව අවධානමකට ලක්වීම කතා බහකට ලක් වූ කරුණකි. එම තත්ත්වය සේවකයන්ගේ මානසික මට්ටම ඉතා හොඳින් පවත්වාගෙන යාමට හේතු වී ඇත.

රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව බාහිර වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක නිරන්තර අධීක්ෂණය යටතේ මෙහි ප්‍රතිකාර සඳහා ආසාධිතයන් යොමු කෙරේ. එමෙන්ම, ඔවුන් සඳහා අවශ්‍ය ආහාර, ප්‍රතිජීවක, ඖෂධ, දේශීය ප්‍රතිජීවක පාන, අවශ්‍ය කාලය සඳහා භාණ්ඩ කට්ටලයක්, රූපවාහිනි, නිදහස් ස්ථාන මෙන්ම අවශ්‍ය ඔක්සිජන් ලබාදීම ඇතුළු සෑම අවශ්‍යතාවයක්ම අංග සම්පූර්ණ ලෙස ඉටුකර දීමට අවශ්‍ය විධිවිධාන මෙහි සලසා ඇත.
රජයේ ආයතනයක් ලෙස අංග සම්පූර්ණ “අතරමැදි කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්” ස්ථාපිත කල පළමු අවස්ථාව මෙය බැව් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අදහස යි.

 446 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply