ළමයි යහමඟට ගත හැකි ක්‍රමය මෙන්න…

ළමයි කියන්නේ මවුපියන්ගේ ලොකුම වස්තුවක් කීවොත් එය වැරැදි නැත. අපේ ආදරය මෙන්ම අපේ සෑම දෙයක්ම දරුවන්ට ලබා දෙන්නේ අප සතු ලොකුම වස්තුව රැක ගැනීමටය. එසේම ඔවුන්ගේ අනාගතයටය.

ලෝකය පුරා ඇති සියලු සැප සම්පත් දෙමින් දරුවන්ගේ අනාගතය ගොඩනඟන අප දරුවන් වෙනුවෙන් අවශ්‍යම දේ දෙනවාදැයි සැකසහිතය. මවුපියන් වශයෙන් අප දරුවන්ට මොනවා දුන්නත් දරුවන්ට අවශ්‍යම දේ නොදෙන බව මගේ විශ්වාසයයි. දරුවන්ට මොනවා දුන්නත් ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව, ආදරය, කරුණාව අප ලබා දෙනවාදැයි සැක සහිතය.

අද වෙන විට අපට අසන්නට මෙන්ම දක්නට ලැබෙන සමහර සිදුවීම් මත අප දරුවන්ට දෙන ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය හැකිදැයි සැක සහිතය.

විශේෂයෙන්ම අද සමාජය තුළ ගැහැනු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ටද උපරිම ආරක්ෂාවක් ලබා දිය යුතුය. එසේ නොවන්නට අප ඇසිපිය හෙළන පමණින් අපගේ අනාගතය වන දරුවන්ගේ ජීවිතය විනාශ වීමට පුළුවන. දරුවන් කුඩා කල අප ඒ අයට දක්වන ආදරය, කරුණාව, සොයාබැලීම ඔවුන් ලොකු වන විට ලැබෙන්නේ නැත. අප සිතන්නේ දැන් ඔවුන්ට හැමදේම කර ගැනීමට හැකියාවක් ඇතැයි කියාය.

නමුත් එය වැරැදිය. සමහර විටෙක දරුවාට අපේ ආදරය, කරුණාව අවශ්‍යම මොහොත එය විය හැකිය. අප අපේ රැකියාව සමඟ පොරබදින විට නිතැතින්ම දරුවන් ගැන සොයා බැලීමට බැරිවන අවස්ථා උදාවනු ඇත. නමුත් ඒ අවස්ථාව දරුවාට අපව ඕනම අවස්ථාව විය හැකිය. විශේෂයෙන්ම තරුණ වයසේ ගැහැනු දරුවකුට තම පියා සමඟ කීමට බැරි බොහෝ දේ කියන්නේ තම මව සමඟය. සමහර විටෙක එවැනි දරුවකු තම මවට බොහෝ දේ කීමට වේලාවක් එනතුරු බලා හිඳියි. ඒ තමන්ට සමාජයෙන් එන බලපෑමක් විය හැකිය.

අද සමාජයේ ළමයි තරුණ වියට පා තැබූ අවස්ථාවේ සිට සොයන්නේ ආදරයයි. එය තමන්ගේ මවගෙන් පියාගෙන් ලැබෙන ආදරයට, කරුණාවට එහා ගිය එකකි. ඒ තැනට තරුණ ගැහැනු දරුවාව පොලඹවා ගැනීමට අද සමාජය පෙලැඹී තිබේ. තරුණ ගැහැනු දරුවකු ආදරය සොයන්නේ වයස අවුරුදු 12-13 වයසේ සිටය. වැඩිවියට පත් වූ තරුණ ගැහැනු දරුවකු සිටින විට මවුපියන් එම දරුවන් දෙස වැඩි අවධානයක් යොමු කළ යුත්තේ එහෙයිනි. එම වයසේ දරුවන්ට සමාජය ගැන කිසිම දැනීමක් නැත. මුල් කාලයේ නිවෙසින් ලැබූ ආරක්ෂාව, ආදරය නොලැබෙන විට එම දරුවා තමන් වෙත පිටතින් ලැබෙන ආදරය සොයාගෙන යයි. එය කෙදිනකවත් සැබෑ ආදරයක් වන්නේ නැත. නමුත් පිටස්තර ආදරය දෙන කෙනාගේ ඉලක්කය වෙන එකකි. ඔහුට අවශ්‍ය ආදරයක් නොව රාගයකි. සමහර විටෙක සෑම දෙයම තේරුම් ගන්නා විට ගැහැනු දරුවාට සිදුවිය යුතු සියලු කරදර සිදුවී හමාරය.

මෙය එම දරුවා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිදුවෙන දෙයකි. සමහර විටෙක එම දරුවාට පාසලෙන් හෝ පිටතින් ආදරය ලැබීමට පුළුවන. එය වැඩිහිටි පාසල් ළමයකුගේ විය හැකිය. නැත්නම් පිටස්තර වැඩිහිටි පිරිමි අයකුගේ විය හැකිය. එසේ නැත්නම් සම වයසේ අයකුගෙන් විය හැකිය.

පාසලෙන් හෝ පාසලෙන් පිටතදී තරුණ ගැහැනු දරුවන්ට වෙන බලපෑම කීමට එම දරුවන් තම මව වෙත එන අවස්ථා එමටය. නමුත් එම අවස්ථාවේදී මව තම දරුවාගේ කතාව අසන්නට සූදානම් නැත්නම් එම දරුවාට පිටතින් එන බලපෑමට නතු වීමට සිදුවෙයි. සමහර විටෙක දරුවාට තම ගෙදරින් ආදරයක් නොලැබෙන විට එම දරුවා පිටස්තර ආදරයක් සොයා යෑම අරුමයක් නොවේ. අද එක දවසින් ආදරය ප්‍රකාශ කරන සමහර පිරිමි කරන්නේ ඊළඟ දවසේ එම ගැහැනු දරුවාව කාමරයකට රැගෙන යෑමය. එතැනින් සියලු දේ අවසන්ය. සමහර විටෙක අතරමං වෙන ගැහැනු දරුවා අර පිරිමි ළමයාගේ නම, ගම තියා ඒ කෙනාගේ පවුලක විස්තර, ගමක තොරතුරු කිසිවක් දන්නේ නැත. ඒ තරමට අද සමාජය පිරිහී අවසන්ය.

ඉස්සර ගැහැනු දරුවකු හා පිරිමි දරුවකු ආදරය කිරීමේදී ආදරය ප්‍රකාශ කළ මාධ්‍ය වූයේ ලියුම් හුවමාරුවයි. එක් ලියුමක්  දී ඊට පිළිතුරක් එනතුරු නොවිමසිලිමත් ලෙස බලා සිටීමට පුරුදු විය. නමුත් අද එසේ නැත. අද දකින දකින ළමයා අතේ ඇත්තේ ස්මාට් ෆෝන්ය. අද එදා මෙන් ආදරය ප්‍රකාශ කිරීමට ලියුම් හුවමාරු නැත. සමාජ ජාලා, වෙබ් අඩවි ඊට ඕනෑතරම් තිබේ. Facebook හි රාත්‍රියට හමුවෙන අය, ඒ අය කතා කරන දේවල් විශ්වාස කරගෙන පසුවදාම කාමරවලට යෑම දැකීමට පුළුවන. එවන් අවස්ථාවලදී ගැහැනු දරුවන්ගේ අසැබි ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හරින බව කියමින් එම දරුවාව තව තවත් විනාශ කිරීමට පෙලැඹෙන අයද සිටිති. සමහර විටෙක එම දරුවාව තවත් කිහිපදෙනකු අතට යවමින් පහත් ආශාවන් ඉෂ්ට කරගන්නා අයද සිටිති.

මේසා විනාශයක් සිදුවූ පසු කතා කිරීමෙන් පලක් නැත. එසේම අපේ රටට ආදරවන්තයන්ගේ දිනයක් අවශ්‍ය නැත. ආදරවන්තයන්ගේ දිනයදා තම ආදරය උපරිමයෙන්ම පුද කිරීමට සිතා තරුණ ගැහැනු ළමයි තම ජීවිතයේ වටිනාම දේ ඒ අයට පුද කරති. ඉන්පසු වෙන දේවල් ඒ අයට දැනුමක් නැත. සමහර සල්ලිකාර පවුල්වල තරුණ ගැහැනු ළමයි, පිරිමි ළමයි රාත්‍රී සමාජ ශාලා වෙත යති. මෙහිදී මේ අය මත්ද්‍රව්‍යවලට නිතැතින්ම පෙලඹෙයි. ඉන් වෙන අනිසි ප්‍රතිඵලය මේ අයට වැටහීමක් නැත.

අද මාධ්‍ය හරහාද බොහෝ විට කතාබහට ලක් වෙන්නේ අම්මා රට ගිය පසු දරුවන්ගේ ජීවිත විනාශ වී ගොස් ඇති අයුරුය. ඊට පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර, වවුනියාව, කුරුණෑගල ආදී ග්‍රාමීය ප්‍රශ්නවලට පමණක් වැඩි අවධානයක් යොමු වී තිබේ. නමුත් නාගරිකවද මේ කාරණාව ඔඩුදුවා අවසන්ය. විශේෂයෙන්ම නාගරික මෙන්ම ගම්බදවද කියා මේ ප්‍රශ්නයට භේදයක් නැත.

එනිසා ඉගෙන ගන්නා කාලයේදී දරුවකුගේ වගකීම හොඳින් ඉගෙන ගැනීමය. එසේ නොවන විට සමාජය ගැන දැනුම් තේරුම් යන විට ඔවුන් කළ වරද තේරෙයි. නමුත් ඒ වනවිට අප්‍රමාද වැඩිය. සමහර විටෙක මේ අය සමාජය ගැන දැඩි වෛරයකින් පසුවෙයි. මේ නිසාම තම පවුල් ජීවිතය පමණක් නොව අනෙක් අයගේ පවුල් ජීවිතයද විනාශ කිරීමට වැරැදි වැඩවල නිරත වෙයි.

මේ නිසා මවුපියන් ලෙස කුඩා කල සිටම දරුවන්ට දෙන ආදරය එලෙසම දිය යුතුය. ඒ අය ගැන වැඩි අවධානයක් හිමි විය යුතුය. පියකුට තම පිරිමි දරුවාව සහෝදරයකු මෙන් සෑම දෙයක්ම කියන තරමට ආදරය දිය යුතුය. මවකට තම දියණිය සහෝදරියක් මෙන් විශ්වාසය ඇති කළ යුතුය. දරුවන් ලොකු වෙලා ඒ අයගේ වැඩ තනියම කර ගැනීමට හැකියි කියා අතහැර නොදැමිය යුතුය. එසේම ඔවුන්ගේ දුක සැප දෙකෙහිම ළඟින් සිටිනවා සේ පෙන්වා දිය යුතුය. දරුවන්ට ළමා කාලය ඇත්තේ ටික කාලයක් බවත් ඒ කාලයේදී අධ්‍යාපනයට මූලික තැනක් දිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය දේට පමණක් මුල් තැන දිය යුතුය. විශේෂයෙන්ම පිරිමි දරුවන් ඇසුරු කරන පුද්ගලයන් ගැන අවධානය යොමු කිරීම වටී. එවිට පිරිමි දරුවන්ව මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර ගැනීමට හේතුවක් වෙනු ඇත.

මවුපියන්ද තම රාජකාරිවලට මුල් තැන දෙන ගමන් තමන්ගේ වටිනාම වස්තුව වන දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කිරීමෙන් ළමයින්ට සිදුවන කරදර අනතුරු අවම කර ගැනීමට හැකිවනු ඇත.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක / www.mawbima.lk

 472 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply