”මේක ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක්” – රට වැසූ පමණින් වසංගතය මර්දනය කරන්න බෑ!

රට වසා දැමුවත් ජනතාව නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් නොපිළිපදින්නේ නම්, රට වසා දැමීම තුළින් කොරෝනාවෛරසය පැතිරීම වැළැක්විය නොහැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොව්ඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

මෙරට දැනට භාවිත කරන එන්නත් මගින් කොරෝනාවෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු අනෙකුත් ප්‍රභේදවලින් ආරක්ෂාව සැලසෙන බවත් එබැවින් ළඟ ම ඇති සායනයකින් කුමන හෝ එන්නතක් ලබාගැනීමට යොමු වන ලෙසත් අද (අගෝස්තු 27) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළාය.

“ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන වෛරසයක්. සියලු ම ජනතාව තම තමන් ආරක්ෂා වෙනවා නම් ඒක පැතිරීම අපිට තවදුරටත් පාලනය කරගන්න පුළුවන් වෙනවා. තවමත් එන්නත ලබාගත්තේ නැති අය ඉන්නවා නම්, ළඟ ම තියෙන සායනයට ගිහිල්ලා එන්නත ලබාගන්න. වර්ගය හොය හොයා ඉන්න එපා. ලංකාවේ සියලු ම එන්නත් ඩෙල්ටා ප්‍රභේදයෙන් දැනට තියෙන ප්‍රභේදවලින් ආරක්ෂා වෙනවා කියන බව විද්‍යාඥයෝ තහවුරු කරලා තියෙනවා. ඒ නිසා  ළඟ ම සායනයට ගිහිල්ලා එන්නත ලබාගන්න. “

කොරෝනා මරණ සහ දෛනික ආසාදිතයින් ඉහළ අගයක් ගනිමින් පවතිද්දී රට වසා තැබුවත් එහි විද්‍යානුකූල පසුබිමක් නොමැතිකමින් නිසි ප්‍රතිඵල ලබාගත නොහැකිව පවතිනවා ද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ සඳහන් කළාය. 

“රට වැහුවත් ජනතාව තමන්ගේ නහයයි කටයි වහගත්තේ නැත්නම්, අර සෞඛ්‍ය උපදෙස් ටික පිළිපැද්දේ නැත්තම්, මීටරයේ දුර ති⁣යාගත්තේ නැත්නම් අනවශ්‍ය ලෙස සෙනග ගැවසෙන තැන්වලට යනවා එනවා නම් එතකොට රට වැහුවා කියලා අපිට මේ දේවල් නවත්වන්න නැහැ. ඒ නිසා හැම කෙනෙක් ම තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න. මොක ද ජීවිතයත් එක්ක තියෙන ගනුදෙනුවක් මේක.”

 357 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply