“ශ්‍රී ලංකාවේ එන්නත්කරණය ප්‍රශංසනීයයි” – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය කියයි!

ශ්‍රී ලංකාවේ මේ වන විට සිදු කරමින් පවතින එන්නත්කරණ ක්‍රියාවලිය දැඩි පැසසුමට ලක් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය අලාකා සිං මහත්මිය පැවසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර ඊයේ (20) පැවැති හමුවකදී ඇය මේ බව පැවසුවාය.

ඒ සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඉතා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද එම නියෝජිතවරිය පෙන්වා දුන් අතර හදිසි වෛද්‍ය පහසුකම් මෙරටට සැපයීම පිළිබඳව මෙහිදී එම නියෝජිතවරිය සාධනීය අදහස් දැක්වූවාය.

යුරෝපා සංගමය හා සාකච්ඡා කරමින් ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවද අලාකා සිං මහත්මිය මෙහිදී සෞඛ්‍ය ඇමැතිවරයාට පැවසුවාය.

අවශ්‍යතාව මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරටට දීමට හැකි බවත්, ඒ සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත් එම නියෝජිතවරිය මෙහිදී ප්‍රකාශ කළාය. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ශ්‍රී ලංකාව දිගුකාලීන මනා සබඳතාවක් පවත්වාගෙන යන බවත්, එය අගය කරන බවත් එම මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, රජය මේ වනවිට කොවිඩ් – 19 ව්‍යසනය පාලනය කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. ඇති වන අවශ්‍යතාව මත ගත හැකි උපරිම පියවර රටෙහි ජනතාව වෙනුවෙන් නොපැකිලව ගනු ලබන බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය. මේ වන විට ග්‍රාමීය මට්ටමින් විවිධ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොවිඩ් ආසාදිත රෝගීහු ගෘහස්ථ ප්‍රතිකාර සේවා සඳහා සාර්ථකව යොමු කර ඇති බවත් කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් – 19 ව්‍යසනය ගෝලීය වශයෙන් මැඬලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ මොහොතේ ඉටු කරන කාර්යභාරය දැඩි පැසසුමට ලක්කරන බවත්, එම සංවීධානය සමඟ දිගුකාලීන සබඳතා පැවැත්වූ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවද කොවිඩ් – 19 මැඬලීම සඳහා ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගනු ලබමින් සිටින බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කෙහෙලිය රඹුක්වැල්ල මහතා පත්වීමෙන් පසු එම සංවිධානයේ නියෝජිතවරයකු හමු වූ පළමු අවස්ථාව මෙය වන අතර සුහද හමුවක් ලෙස මෙය පැවැත්විණි.

 691 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply