කොවිඩ් එන්නත්කරණයේ මෙතෙක් ගමන් මඟ!

කොවිඩ් ආරම්භයේදී ලෝකයම අසරණව සිටි අවස්ථාවක කොවිඩ් මර්දන එන්නතක් සොයා ගැනීමට ලෝකයේ ඇතැම් රටවලට හැකි වුණි. ලෝකයේ දියුණු රටවල පවා කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කරනුයේ 2020 දෙසැම්බර් මාසයේ අගය. එසේ වන විට ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් 2021 ජනවාරි අග වන විට එන්නත් ලබා ගැනීමට සමත් වීම විශාල ජයග්‍රහණයකි. මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කරනුයේ ජනවාරි 29 වැනිදාය. එදා පටන් අද දක්වාම කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන රට තුළ සාර්ථකව ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය අංශය පමණක් නොව ආරක්ෂක අංශයේ ද සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඇගැයීමට පත්ව තිබේ. එන්නත් මෙරට නිෂ්පාදනය කළ නොහැක. එවැනි අවස්ථාවක ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව මෙරටට එන්නත් දීම පිළිබඳ සතුටට පත් විය හැකිය. එන්නත් නිෂ්පාදනයේ දී ලෝකයේම රටවලින් එන්නත්වලට විශාල ඉල්ලුමක් පැවතිණ. එම ඉල්ලුම අදටත් එසේම පවතියි. නමුත් එවැනි අභියෝගයක් පවතින අවස්ථාවක මෙරට ජනතාව එන්නත් ලබා ගැනීමට භාග්‍යවන්ත වී තිබේ. එන්නත්කරණය සම්බන්ධයෙන් හොඳම රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ පිළිගැනීමට ලක්ව තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා

කොවැක්ස් පදනම යටතේ එන්නත් දීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරන්නට යෙදුණේ තුන් වැනි ලෝකයේ රටවලට ද සමානව එන්නත් ලබා දීමක් සිදු කිරීමටය. මෙරට ජනගහනයෙන් සියයට 20කට කොවැක්ස් පදනම යටතේ එන්නත් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය මුල් කාලයේ දී පොරොන්දුවක් දීම සිදු කෙරිණ. නමුත් අපේක්ෂිත මට්ටමට එන්නත් නිෂ්පාදනය නොවීම නිසා පසුගිය කාලයේ කොවැක්ස් පදනම යටතේ එන්නත් ගැනීම ගැටලුකාරී තත්ත්වයකට පත් විය. කොවැක්ස් පදනම යටතේ සීමිත එන්නත් මාත්‍රා තොගයක් ලැබුණ ද අපේක්ෂිත මට්ටම ළඟා කර ගැනීමට නොහැකි විය. රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවල පවතින යහපත් මට්ටම නිසාම ශ්‍රී ලංකාවට එන්නත් ලබා ගැනීමට හැකි විය. කිසියම් රටකට මුදල් තිබූ පමණින්ම එන්නත් ලබා ගැනීමට නොහැක. සැබැවින්ම එන්නත් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ රටවල් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික මිතුරු සම්බන්ධතාවන්හි ශක්තිමත්භාවය නිසාමය.

කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා

ජනවාරි මාසය වන විට කොවිඩ් මර්දන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා ලක්ෂ 5ක එන්නත් මාත්‍රා තොගයක පරිත්‍යාගයක් ඉන්දියාවෙන් මෙරටට ලැබිණ. ඉන්දියාවේ ඇති වූ එන්නත් නිෂ්පාදනයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයත් සමඟ එන්නත් අපට මිලදී ගැනීමට ද සිදු විය. ඉන්දියාවේ ආසාදිතයන් වැඩි වූ නිසා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබා ගැනීම ගැටලුවක් විය. එන්නත් ලබා දීමේ දී සෞඛ්‍ය සේවාවේ වෘත්තිකයන්ට ප්‍රමුඛතාව ලබා දී එන්නත්කරණයට ලක් කිරීමට රජය පියවර ගත් අතර ඉන් අපේක්ෂා කළේ ආසාදිතයන් වාර්තා වීමේ දී ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන් වයිරසයට ගොදුරු නොවී ආරක්ෂා කර ගැනීමය. කොවිඩ් මර්දන වැඩපිළිවෙළට ඍජුවම සම්බන්ධ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු නිලධාරීන් එන්නත්කරණයට ලක් කිරීම සිදු කෙරිණ. ඊට අමතරව ආර්ථිකයට ඍජු දායකත්වයක් දෙන පුද්ගලයන් ද එන්නත්කරණයට ලක් කෙරිණ.

පළමු මාත්‍රාව

චීනයෙන් සයිනොෆාම් එන්නත් වැඩි වශයෙන් මෙරටට ලබා දීම සිදු කරයි. මේ වන විට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14.7ක් සමස්තයක් ලෙස ලැබී තිබේ. ඉදිරියේදීත් තවත් විශාල ප්‍රමාණයක් සයිනොෆාම් මෙරටට ලැබීමට නියමිතය. එන්නත් තිබෙන ප්‍රමාණය අනුව මුල් අවධියේ දී වැඩිපුරම ආසාදිතයන් හා මරණ වාර්තා වන දිස්ත්‍රික්ක තෝරා ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්, අවුරුදු 30ට වැඩි පුද්ගලයන් මුලින්ම එන්නත්කරණයට ඉලක්ක කෙරිණ. අගෝස්තු 31 වැනිදා වන විට වයස අවුරුදු 30ට වැඩි මෙරට ජනගහනයේ සියලු දෙනා එන්නත් කිරීමට පියවර ගෙන තිබේ. වර්තමානය වන විට මෙරට පුද්ගලයන් වයස අවුරුදු 30ට වැඩි අය සියයට සියයක් එන්නත් කර අවසන්ය. ඒ පළමු මාත්‍රාව ලබා දීමෙනි. වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් සියයට 38කට දෙවැනි මාත්‍රාව ද ලබා දී අවසන්ය. සෑම දිස්ත්‍රික්කයකම එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වේ. සියයට 81ක් ලෙස අඩුම එන්නත්කරණ ප්‍රතිශතයක් දැනට පෙන්නුම් කරනුයේ යාපනය දිස්ත්‍රික්කයය. සැප්තැම්බර් මස දෙවැනි සතිය වන විට වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ද ලබා දී අවසන් කිරීම වසංගත රෝග විද්‍යා අංශයේ ඉලක්කය වී තිබේ. වයස අවුරුදු 18ත් 30ත් අතර පුද්ගලයන් ඉලක්ක කරමින් මීළඟ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ද සැලසුම් සාදා තිබේ. සමස්තයක් ලෙස එන්නත් මාත්‍රා මිලියන 19.6ක් මෙරටට ලැබී තිබේ. ඉන් මාත්‍රා මිලියන 15.5ක් පමණ එන්නත්කරණය සිදු කර අවසන්ය. ඉතාම කාර්යක්ෂමව ඉදිරි දින කිහිපය තුළ ඉතිරි එන්නත් ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇත.

ඇමරිකානු ප්‍රදාන

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 2.8ක් ද, ස්පුට්නික් 180,000ක් ද, සයිනොෆාම් මිලියන 14.7ක් ද, ෆයිසර් 389,000ක් ද, මොඩර්නා මිලියන 1.5ක් ද මෙරටට ලැබී ඇත. මෙරටට එන්නත් ගෙන්වීම ක්‍රම තුනක් මඟින් සිදු කරයි. මිලදී ගැනීම්, පරිත්‍යාග, කොවැක්ස් පහසුකම යන ක්‍රම තුනට එන්නත් ලැබීම සිදු වේ. මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5ක් ලැබීම සිදු වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක්‍රියාත්මක කොවැක්ස් පහසුකම යටතේ ඇමරිකානු ප්‍රදානයක් වශයෙනි. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 264,000ක් ද කොවැක්ස් පහසුකම යටතේ ලැබී තිබේ. ජපානයෙන් ද ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා මිලියන 1.6ක් කොවැක්ස් පහසුකම යටතේ ලැබිණ. පරිත්‍යාග ලෙස ඉන්දියාවෙන් මුලදීම මිලියන මාත්‍රා ලක්ෂ 5ක් ලැබිණ. චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.7ක් පරිත්‍යාග ලෙස ලැබිණ.

එන්නත් බෙදා හැරීම, ගබඩා කිරීම සිදු කරනුයේ වසංගත රෝග විද්‍යා අංශයෙනි. කිසිදු ප්‍රමාදයකින් තොරව එන්නත්කරණ වැඩපිළි‍වෙළ ක්‍රියාවට නැංවේ. එන්නත් තොගයක් අද ලැබුණොත් හෙට වන විට අදාළ ප්‍රදේශවලට එන්නත් බෙදා හරිමින් කාර්යක්ෂම එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සිදු වේ. හැකි තරම් ඉක්මණට ජනතාවට වයිරසයෙන් ආරක්ෂා වීමට අදාළ එන්නත් ලබා දීමට පියවර ගෙන තිබේ.

ඩෙල්ටා වයිරසය

එන්නත්කරණයෙන් කොවිඩ් වයිරසය යම් පාලනයක් සිදු කරන නිසා ඩෙල්ටා වයිරසය ව්‍යාප්තියේ පාලනයක් සිදුව ඇති බවට සිතිය හැකි ය. සාර්ථකම ප්‍රතිඵල අත් කර ගැනීම සඳහා මාත්‍රා දෙකම ලබාදී සති දෙකක් සිටිය යුතුය. එන්නත්කරණයට ලක් වූවන්ගේ ශරීරය තුළ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනැඟීම සිදු වනුයේ ඉන් පසුව ය. එම නිසා මේ කාලය සංක්‍රාන්ති කාලයකි. එන්නත ගත්ත ද වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කළ යුතු සියලු සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදීම සිදු කළ යුතුය. එන්නත් දෙකම ගත්ත ද කලාතුරකින් වයිරසය ආසාදනය වීමේ ඉඩක් පවතියි.

වයිරසයෙන් ආරක්ෂා වීමේ දී පුද්ගල වගකීමට විශේෂ ස්ථානයක් ලැබේ. තම තමන් පරිස්සම් නොවන්නේ නම් ආණ්ඩුවකට මේ නොපෙනෙන වයිරසය පාලනය කළ නොහැකිය. මහ මඟ ගමන් ගත්ත ද නිවැ‍රැදිව මුව ආවරණය පැලඳ සිටින අය සොයා ගැනීමට අපහසුය. වයිරසයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ ද ඇතැම් පුද්ගලයන් ඒවා නිවැරදිව අනුගමනය නොකිරීම වයිරසයේ ව්‍යාප්තියට හේතු වේ. කොවිඩ් මර්දනයට සංචරණ නීති කොතරම් දැමුව ද ජනතාව තුළ පාලනය සඳහා ස්වයං විනයක් තිබිය යුතුය. මංගල උත්සව, අවමංගල උත්සවවලට කිසියම් සීමාවක් පැනවූ විට එය ඉක්මවා සිදුකිරීමට ජනතාව කටයුතු කරයි. එවැනි අවස්ථාවක දී වයිරසය පාලනය කරනුයේ කෙසේ ද යන්න ගැටලුකාරී වේ.

වසංගත රෝග විද්‍යා අංශයේ වැඩ බලන ප්‍රධාන වසංගත විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සමඟ කළ සාකච්ඡාචක් ඇසුරෙනි.

සන්ධ්‍යා කරුණාරත්න

 756 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply