20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (22දා) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබි්‍ර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී සමගි ජන බලවේගය විසින් මැතිසබය තුළදී පවත්වන ලද විරෝධතාවට සමගි ජන බලවේගයේ දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනකුම පැමිණ සිටියේ නැත.

ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එම විරෝධතාවට නොපැමිණි සමගි ජන බලවේගයේ පක්ෂ නායකයෝ වෙති.

මෙම මන්ත්‍රිවරුන් තිදෙනා විපක්ෂයේ පළමු පෙළේ ආසනවල සිටිය යුතු වුවද ආණ්ඩුවට එරෙහිව ඊයේ (22දා) දින විරෝධතාව ක්‍රියාත්මක වන අවස්ථාවේදී එම දේශපාලන පක්ෂ නායකයන් තිදෙනාම එම මන්ත්‍රි ආසනවල දක්නට නොවීය.

එම දේශපාලන පක්ෂ නායකයන් තිදෙනා නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂණයට ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටියේද නැත.

ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතා ඊයේ පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අවස්ථාවේදී මැතිසබය තුළ දක්නට සිටියද 20 වැනි සංශෝධනයට එරෙහි විරෝධය ආරම්භ කරන විට ඔහු සහා ගැබේ සිටියේ නැත. මීට පෙර ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වශයෙන් දිවුරුම්දීමට එරෙහිව සමගි ජන බලවේගය සංවිධාන කළ විරෝධතාවටද රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් සහභාගි වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here