අපේ රට බංකොලොත් වෙන්නේ නෑ!

මේ වන විට ලංකාව විශාල ණය අර්බුදයක සිටින බවට වාර්තා පළ වෙනවා. මෙහි සත්‍යතාවක් තිබේද?

2019 වන විට ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ප්‍රතිශතයක් විදිහට ගත්තහම සියයට 86.8ක් පමණ අපේ ණය තිබෙනවා. නමුත් මේ තත්ත්වය 2010 – 2015 අතර කාලයේ අඩු වෙලා තියෙනවා. ඊළඟට 2015-2019 ඒ කියන්නේ යහපාලන ආණ්ඩු සමය වන විට එය යම් වැඩි වීමක් දකින්න පුළුවන්. කොහොම නමුත් දැන් මේ ආණ්ඩුව සමයේ එය තවදුරටත් වැඩි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇත්තෙන්ම ණය වැඩි වීම නෙමෙයි ප්‍රශ්නය. ණය වැඩි කරන්නේ නැතිව අපිට මේ වෙලාවේ මොකද්ද කරන්න පුළුවන් කියලා අපි බලන්න ඕනි. 

පළමුවෙන්ම අපි පිළිගන්න ඕනේ අපේ රට ආර්ථික සමාජීය අර්බුදයක තිබෙන්නේ. හැබැයි ඒ ලංකාවට විතරක් බලපෑ තත්ත්වයක් නෙමෙයි. එය මුළු ලෝකයටම පොදුයි. මුළු ලෝකයටම පොදු වූ කාරණයක් ලංකාවටත් බලපෑම්කාරී වෙලා තියෙනවා. 

ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන විට රජයට සිදුවෙනවා විවිධ ආකාරයෙන් ණය ලබාගැනීමට. එකක් තමයි රජයට ණය ගන්න පුළුවන් සංවර්ධන ව්‍යාපෘති (Development projects) සඳහා. ඒක හොඳයි. එවැනි ණය අරගෙන රටේ යම් කිසි ආකාරයක සංවර්ධන කාර්යයක් කරලා ඒ ණය ටික යළි ගෙවනවා. සංවර්ධන ණය ගන්නකොට වුණත් රටක් ඒවායේ කොන්දේසි හොඳින් සලකා බැලිය යුතුයි. නමුත් මෙතන තියෙන ගැටලුව තමයි අපි මේ ස්වැප් ණය (SWAP Loan) වැනි දෑට යොමු වීම. ඇත්තටම ඒවා ණය නෙමේ. ණය අතමාරු. මෙම ණය අතමාරුවලට යෑම ලංකාව වගේ රටකට හොඳ ඇඟවීමක් නෙමෙයි. ඒ වගේම මෙවැනි ණය අතමාරු ගෙන අපි ලොවට පෙන්වනවා ශ්‍රී ලංකාව ගැන ඉතාම නරක චිත්‍රයක්. එදිනෙදා කටයුතු කරගෙන යෑමට ප්‍රමාණවත් තරම්වත් ආර්ථික තත්ත්වයක් නොමැති බව එමඟින් පෙන්වනවා.  රටක් සංවර්ධනාත්මක නොවන එදිනෙදා පරිභෝජනයට ණය ගන්න එක තමා වැරදි.

උදාහරණයක් විධියට අපේ රට බංග්ලාදේශයෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් එවැනි ණය අතමාරු ණය ගත්තා. ඒ වගේම ඊට අමතරව භාණ්ඩ ආනයනය කිරීමට අවශ්‍ය වෙන තව අතමාරු ණය වර්ගයක් තියෙනවා. විශේෂයෙන් ඉන්දියාව චීනය වගේ රටවල්වලින් අපි එවැනි ණය අරගෙන තියෙනවා. මේකෙ තියෙන ගැටලුව තමයි මේ ණය අපි ආපහු ගෙවන්නේ කොහොමද කියන කාරණය. ණය ගන්නවා නමුත් ණය යළි ගෙවන්න විදිහක් නෑ. ඇත්තටම ඒක ආණ්ඩුවේ දුර්වලතාවක් නෙමෙයි. මේ වෙලාවේ කවුරු ආණ්ඩු කළත් ඔය ප්‍රශ්නය මේ ආකාරයෙන්ම හෝ ඊට වඩා වැඩියෙන් මුහුණ දෙන්න සිදු වෙනවා. පවතින කොරෝනා තත්ත්වයත් එක්කත් මේ ණය අර්බුදයට අපිට කොහොමත් මුහුණදෙන්න සිද්ධ වෙනවා. ඒක අපිට නවත්තන්න විදිහක් වත් ඒකෙන් අපිට ගැලවෙන්න විදිහක් වත් නැහැ. මේ වෙලාවේ අපට සිද්ධ වෙලා තියෙන්නෙ කොරෝනා වසංගත තත්ත්වයත්, රටේ ආර්ථික තත්ත්වයත් පුළුවන් ආකාරයට කළමනාකරණය කරගැනීමයි. ඇත්තෙන්ම එය තමයි මේ වෙලාවේ සුදුසු වන්නෙත්. මේ ගත වෙන්නේ රජය සමාජයීය සහ ආර්ථික වශයෙන් පවතින සියලු තත්ත්වයන් කළමනාකරණය කරගෙන ඒවාට මුහුණ දෙන අභියෝගාත්මක කාලයක්. 

මීට පෙර අපේ රටට තිබුණු ප්‍රධානම ගැටලුව තමයි යුද්ධය. මම දකින ආකාරයට යුද්ධය බලපෑවේ රටේ එක කොටසකට විතරයි. විශේෂයෙන්ම උතුරු නැඟෙනහිර සහ කොළඹට. නමුත් මේ වෙලාවේ මේ කොරෝනා වසංගත තත්ත්වය එක හා සමානව සමස්ත රටවැසියාටම සමාජයීය හා ආර්ථික, දේශපාලන වශයෙන් බලපෑම්කාරී වෙලා තියෙනවා. ඇත්තෙන්ම ඒ තත්ත්වය මත පිහිටලා තමයි අපි මේ අවස්ථාවේ ණය අර්බුදය ගැන කතා කළ යුත්තේ. 

ඩොලර් සංචිත හිඟයක් රටේ පවතින බවටත්, නුදුරු අනාගතයේ අපේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වීමේ ප්‍රවණතාවක් තිබෙන බවටත් අදහස් පළ වෙනවා නේද? 

ඇත්තෙන්ම අපේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙනවා කියලා කීවත්, එවැනි තත්ත්වයක් ඇති වීමට නම් ඉඩකඩ බොහොම අඩුයි. අපේ සංචිත අඩුවීම ගත් විට අද අපිට තියෙනවා ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක්, 4.6ක් පමණ විදෙස් සංචිත ප්‍රමාණයක්, එය 2020 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.6, 6.7 වගේ. ලංකාවේ අඩුම ඩොලර් සංචිත තිබිලා තියෙන්නේ 2009 යුද්ධෙ උපරිම කාලයේ. 2009 තමයි ලංකාවේ විදේශ සංචිතවල බොහෝම අඩු අගයක් තමයි තිබිලා තියෙන්නෙ. අද තත්ත්වයට වඩා ඉතාම අඩු මට්ටමක්. ඒකට හේතු වුණේ එම යුද්ධය පැවැති අවධියේ අපේ රටේ පැවැති යම් යම් තත්ත්වයන් අනුව අපිට විදේශ සංචිත පවත්වාගෙන යෑමට නොහැකි වුණා. දෙවැනි කාරණය ලංකාවේ වැඩිම විදේශ සංචිත තිබිලා තිබෙන්නේ 2018 – 2019 කාලයේ. ඒ කාලයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක පමණ විදේශ සංචිත තිබිලා තියෙනවා. දැන් යළි කොරෝනා වසංගත තත්ත්වයේ ප්‍රතිඵලයක් විධියට තමයි අපිට විදේශ සංචිත පවත්වාගෙන යෑමට නොහැකි වෙලා තියෙනන්නේ. අපේ අපනයන වැඩි වෙලා නැහැ. එතකොට අපට බැහැ විදේශ සංචිත අර කියන ආකාරයෙන් තියාගන්න. 

තෙවැනි කාරණය තමයි ලංකාව කාලාන්තරයක් තිස්සේ ක්‍රියාවට නඟන වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ වැරදි ක්‍රමවේදවල ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ විදේශ සංචිත ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. එය මේ රජයේ කිසියම් ආකාරයේ අවැඩක් නිසා හෝ වැරදි ආර්ථික කළමනාකරණයක් නිසා ඇතිවූ තත්ත්වයක් නෙමෙයි. මෙය දශක ගණනාවක් තිස්සේ අපි වැරදි තීන්දු තීරණ ගැනීමේ ප්‍රතිඵලයක් විධියට අද ඇතිවුණු තත්ත්වයක්. උදාහරණයක් විධියට බංග්ලාදේශය වගේ රටකින් අපි අතමාරු ණයක් (SWAP loan) ගනිද්දි මිනිසුන් හිනා වුණා.  නමුත් බංග්ලාදේශය සතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 45ක විදේශ සංචිත තිබෙනවා. ඒගොල්ලො ඒවා ඉතුරු කරගෙන තියෙන්නේ නිමි ඇ¾දුම් කර්මාන්තයෙන්. නිමි ඇ¾දුම් අපනයනය කරලා ඉතුරු කරගත්ත ඒවායින් තමයි ඔවුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 45ක විදේශ සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යන්නේ. බොහෝ ආර්ථික දර්ශකවලින් බංග්ලාදේශය හිටියේ අපේ රටට වඩා පිටුපසින් වුවත් මේවනවිට ඔවුන්ට විදේශ සංචිත තියෙනවා. නමුත් මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයක් තුළ භාවිත කිරීමට අවශ්‍ය ප්‍රමාණයට විදේශ සංචිත අපි තියාගෙන නැහැ. ඒකෙ ප්‍රතිඵල ලැබෙන්නේ මේ වගේ ව්‍යසනකාරී තත්ත්වයක. එය මේ වසර දෙකකට ආපු ආණ්ඩුවක ප්‍රශ්නයක් නෙමේ. ඒක මේ දීර්ඝ කාලයක් තිස්සේ රටේ වැරදි ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක්.    

විදේශ සංචිත වැඩි කිරීමට කළ යුත්තේ කුමක්ද?      

මේ වෙලාවේ ආනයන අඩු කරමින් රජය ඉතා හොඳ ක්‍රියාමාර්ගයක් ගනිමින් ඉන්නවා. එය කළ යුතුමයි. මම හිතනවා එය තවදුරටත් කළ යුතුයි. මිනිස්සුන්ට අමාරු තත්ත්වයන් ඇතිවෙයි. නමුත් ජනතාව මේ අපහසු කාලයේ මේ ක්‍රියාවලියට එකතු විය යුතුමයි. මේ ප්‍රශ්නයෙන් ජනතාවට ගැලවී සිටිය නොහැකියි. ඒවගේම අද තියෙනවාටත් වඩා ඉදිරීයේදී සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය අඩු කරන්න සිදු වෙයි. ඒ වගේම අපනයන වැඩි කරන්න වෙනවා. නමුත් එය දීර්ඝ කාලීනව කළයුතු දෙයක්.

මෙම ආණ්ඩුව මඟින් මැටි, බතික් වැනි විවිධ කුඩා කුඩා ඇමැති ධුර ඇති කරන විට සමහරුන් හිනා වුණා. නමුත් මම පෞද්ගලික වශයෙන් එයට කැමැතියි. මොකද ඒ කුඩා කුඩා ඇමැති ධුර ඇති කළේ අපනයන වෙළෙඳපළ ඉලක්ක කර ගනිමින්. ඒ හරහා දීර්ඝ කාලීනව රටේ අපනයන වෙළෙඳපොළ වැඩි දියුණු කිරීමට. මෙය කෙටි කාලීනව සිදු නොවන දීර්ඝ කාලීනව සිදු කළ යුත්තක්. විදේශ සංචිත ප්‍රශ්නයට කෙටිකාලීන විසඳුම් නෑ. දීර්ඝ කාලීනව නිසි ආර්ථික වැඩපිළිවෙළක් තුළ තමයි එය කළ යුත්තේ.

ඒ වගේම ලංකාවේ තියෙන ලොකුම ගැටලුව තමයි දීර්ඝ කාලීන වෙනස් නොවන ප්‍රතිපත්ති නොතිබීම. ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් විවිධ විවේචන තිබෙනවා. නමුත් ඒ අවධියේ රටේ ආර්ථික දර්ශකයන් හොඳ මට්ටමක තිබුණා. 2010 වන විට ලෝකයේ ආයෝජනවලට තිබුණු හොදම රට ලංකාව. හොඳම සංචාරක ගමනාන්තයන්ගෙන් ඉහළම ස්ථානයක අපි සිටියා. නමුත් අපි 2015 පැවැති රජය මාරු කළ පසු ඔය කියන නිර්ණායක සියල්ල වෙනස් වෙනවා. ඇත්තෙන්ම මෙතැන තියෙන ප්‍රශ්නය බලය මාරු වීම නෙවෙයි  විටින් විට  බලය මාරුවීම් නිසා එය රටේ ආර්ථික, සමාජීය වශයෙන් බලපෑම් කර තිබීමයි. 2015 සිට 2019 වන තුරු අපේ ඒක පුද්ගල ආදායම අඩුවන ප්‍රවණතාවක් තියෙන්නේ. 2020 – 2021 වන විට තවත් අඩු වෙනවා. තාම අපි පහළ මධ්‍යම ආදායම්ලාභී (Lower Middle Income) රටක් විධියට තියෙනවා. නමුත් අපේ තියෙන්නේ ඒක පුද්ගල ආදායම අඩුවෙන ප්‍රවණතාවක්. මේ ආකාරයට ඒක පුද්ගල ආදායම වැඩි වෙලා අඩු වුණ ලෝකයේ කිසිම රටක් නැතිව ඇති. අපේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4,076 දක්වා වර්ධනය වෙලා තියෙනවා. නමුත් එය අද වන විට තියෙන්නේ 3,672ක් විතර. සාමාන්‍යයෙන් රටක් පහළ මධ්‍යම ආදායම්ලාභී මට්ටමේ සිට ඉහළ මධ්‍යම ආදායම්ලාභී (Upper Middle Income)  රටක් ලෙසයි වර්ධනය වන්නේ. නමුත් එහි අනෙක් පැත්තයි අපේ සිදුවන්නේ.

මෙය රජය ගන්න ක්‍රියාමාර්ගවල ප්‍රශ්නයක් නෙමෙයි. අද මේ රට හමුවේ තියෙන ප්‍රශ්නයේ ප්‍රතිඵලයක් විධියට තමයි මේ සියලුදේ සිදු වෙන්නේ. ඒ වගේම මෙම ඒක පුද්ගල අදායම අඩුවීම ආරම්භ වුණේ යහපාලන රජය කාලයේ සිටයි.

ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මුදල් අච්චු ගැසීමෙන් පුළුවන්ද?

අපේ දේශපාලන මතය, අපි කැමැති පක්ෂය, අපි කැමැති නායකයෝ නෙමෙයි මෙතැන අදාළ වෙන්නේ. අපි පළමුවෙන්ම තේරුම් ගත යුතුයි රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. දෙවැනි එක තමයි මේ ආර්ථික අර්බුදයට හේතුව මේ වෙලාවේ රටේ තියෙන දේශපාලන අධිකාරිය නෙවෙයි පවතින ගෝලීය අර්බුදය බව. ඒ ගෝලීය අර්බුදය තුළ අපි මේ ආර්ථික අර්බුදය කියවා ගත යුතුයි. එවැනි තත්ත්වයක් තුළ මුදල් අච්චු ගැසීම හැර රජයකට ගන්න වෙන විසඳුමක් නෑ. නමුත් මුදල් අච්චු ගැසීමෙන් එන ප්‍රතිඵලය දරුණුයි. ඉන් රටේ තියෙන ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය කරනවා. කෙටිකාලීනව ආර්ථික අර්බුදයෙන් මිදෙන්න ගන්නා වූ තීන්දු තීරණ දීර්ඝ කාලීනව රටේ ආර්ථික අර්බුදය තවදුරටත් තීව්‍ර කරනවා. ඔය ගැටලු උභතෝකෝටිකයි. ඔය ගැටලු මතුකරන කරන දේශපාලකයන්, දේශපාලන විද්වතුන් ආදී කිසිවෙක් සල්ලි අච්චු නොගසා මේ මොහොතේ කළ යුතු කුමක්ද කියන පැනයට යෝජනා ඉදිරි පත් කරන්නේ නෑනෙ. ඇත්තෙන්ම කවුරුත් කැමැත්තෙන් මුදල් අච්චු ගසන්නේ නෑ. මුදල් අච්චු ගසා වෙළෙඳෙපොළට මුදල් ආවට පස්සේ විශාල උද්ධමනයක් ඇති වෙනවා. එය රජයත් දන්නවා. අපිත් දන්නවා. මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නෑ. මෙමඟින් නැවතත් අපි ආර්ථික අර්බුදයකට යොමු වෙනවා. මේක චක්‍රයක්. රජය වෙන ක්‍රියාමාර්ග මඟින් රටේ තියෙන ගැටලු විසඳා ගන්න උත්සාහ දරන එක හොඳයි මුදල් අච්චු ගහන්නේ නැතිව. නමුත් රජයට ගැලවුමක් නෑ. මෙහි සෘණාත්මක ප්‍රතිඵල ඔවුන් නොදන්නවා නෙමෙයි.

GSP ප්ලස් සහනය දිගුකාලීනව අපේ රටට අහිමි වෙයිද?

අපට නම් එය නැති වෙලා තියෙන්නේ තාවකාලිකව. යුරෝපියානු ප්‍රජාව තමයි අපේ දෙවැනි ප්‍රධාන වෙළෙඳ හවුල්කරු. චීනය එකදෙක යුරෝපියන් ප්‍රජාව. පිලිපීනයට පාකිස්තානයට වැනි රටවලට ස්ථීරවම මෙම සහනය නැති කළා. ඒ රටවල් එහිදී විවිධාකාරයෙන් ප්‍රතිචාර දැක්වූවා. සමහර රටවල් මේ සම්බන්ධයෙන් එතරම් කලබල වුණේ නෑ. නමුත් ලංකාවට ඉවත් කළේ තාවකාලිකව. නමුත් ඒ තාවකාලිව ඉවත් කිරීමට සලකා බලා ඇති කරුණු කාරණා මට නම් හාස්‍යජනකයි. සුළු ජාතිකයන් අත්අඩංගුවට ගැනීම්, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වගේ කරුණුයි සලකලා බලලා තියෙන්නේ. මට පේන්නේ මේ රජය දෙස බටහිර ජාතීන් දක්වන ආකල්පයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ තත්ත්වයක් ලෙස සිදු වූවක්.

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අප කළ යුත්තේ කුමක්ද?

මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මේ දේශපාලකයන් ගෙන එන යෝජනා අදාළ නෑ. මේ පවතින තත්ත්වයට කුමන පක්ෂයේ වුවත් දේශපාලන තර්ක අදාළ නෑ. මට පෞද්ගලික වශයෙන් හිතෙනවා අපි රටක් විධියට පළමුවෙන්ම කළ යුත්තේ එන්නත්කරණ වැඩසටහන හැකි ඉක්මනට සිදු කර හැකි ඉක්මනින් රට විවෘත කිරීමයි. එය තමයි කෙටිකාලීනව සිදු කළ හැකි හොඳම කටයුත්ත. රට විවෘත කළ පසු සාමාන්‍ය ආර්ථික කටයුතු ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. ඒකට මූලාරම්භය තමයි වයස 18න් ඉහළ ජනගහනයෙන් 65%ක් – 70% එන්නත්කරණය සිදු කොට රට විවෘත කිරීම. දීර්ඝ කාලීනව අපි අපේ අපනයන හැකි ඉක්මනින් වැඩිකළ යුතුයි. ඊටත් අමතරව රජයේ ආදායම සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගත යුතුයි. මම පෞද්ගලිකව හිතනවා යහපාලන අවධියේ අපේ බදු සම්බන්ධයෙන් ගත් ප්‍රතිපත්ති හරි කියලා. නමුත් එහි තිබුණු ගැටලුව වුණේ බදු සංශෝධනය කිරීම නිසා එහි බර ජනතාවට දැඩිව දැනෙන්න ගත්තා. මේ රජය බලයට පත් වූ සැණින් ඒ බදු ක්‍රමය ඉවත් කර වෙන ක්‍රමයකට ගියා. ඒ යනවත් එක්කම කොරෝනා අර්බුදය ඇති වුණා. ඉන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල අත් වුණේ නෑ. රජයේ ආදායම පහළ ගියා. ඒ පහළ ගිය රජයේ ආදායම ඉහළ නංවා ගැනීමට විශේෂයෙන් බදු ක්‍රමය යළි සංශෝධනය කළ යුතුයි. ඒ වගේම ජනතාවගේ සහාය ඇතිව මෙම ආනයන සීමා කිරීම් තවදුරටත් සිදු කරගෙන යා යුතුයි. අපනයන වැඩි කිරීමට පියවර ගත යුතුයි. ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් විශාල ආදායමක් ලැබුවා. නමුත් දැන් එය නැති වෙලා. හැකි ඉක්මනින් එන්නත්කරණයෙන් පසු රට විවෘත  කර සංචාරක ව්‍යාපාරය  නඟාසිටුවිය යුතුයි. ඒ වගේම දේශපාලකයන්, දේශපාලන පක්ෂ හා බද්ධ වූ වර්ජන රැල්ල රජය කෙසේ හෝ යම් ආකාරයකට ධනාත්මකව කළමනාකරණය කර ගත යුතුයි. මන්ද මෙය රටේ ආර්ථික, සමාජීය තත්ත්වයන්ට යම් ආකාරයකට බලපෑම් කරනවා. අවසන් වශයෙන් එහි සෘණාත්මක ප්‍රතිඵල එන්නෙත් ජනතාවටමයි. ඒ වගේම විශේෂයෙන් ආර්ථික ක්‍රියාවලිය කරගෙන යෑමට රටේ ජනතාවගේ සහයෝගය ලබා ගත යුතුයි. අවසාන වශයෙන් ජනතාව තේරුම් ගත යුතුයි රජය ව්‍යාපාර කරන්නේ නැති බව. රජය මේ සියල්ල කරන්නේ ජනතාවගෙන් ලැබෙන බදු මුදල්වලින්. එම නිසා මේ වෙලාවේ රජයෙන් නිකන් කන්න ඉල්ලන එක වගේ විවිධ ඉල්ලීම් ඉදිරිපත් කිරීම වැරදියි යන්න මගේ මතයි. අප මතක තබා ගත යුතුයි අපි තවමත් දුප්පත් රටක් බව සහ ජනතාවගේ සියලු ඉල්ලීම් ඉටුකිරීමට අප වැනි රටක ආර්ථිකය ශක්තිමත් නැති බව. එලෙසම රජයද රටේ පවතින තත්ත්වය ගැන ජනතාව නිසි ලෙස දැනුවත් කළ යුතුයි. මට පේන විදිහට රටේ ජනතාව රටේ තියෙන සැබෑ ආර්ථික, සමාජීය සහ දේශපාලන තත්ත්වය ගැන නිසි අවබෝධයෙන් නෙවෙයි ඉන්නේ. එම දැනුවත් කිරීම රජය මඟින් අනිවාර්යයෙන්ම කළ යුත්තක්. එය එසේ කරන බවක් නම් පෙනෙන්නට නැහැ. කරුණු වසන් කිරීමේ ප්‍රතිඵලය කරුණු විවෘතව කතා කිරීමේ ප්‍රතිඵලයට වඩා භයානක විය හැකියි.  

උපුටා ගැනීම : www.mawbima.lk

 803 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply