ලංකාවේ මැටි කර්මාන්තය සම්බන්ධයෙන් බිහිවුණු සන්නාමය අජිත් පෙරේරා කියල කිව්වොත්?

ඔව්. ඒක හරි.

ඒ කියන්නේ වෙනත් කෙනෙක් බිහි වෙලා නෑ කියන එකද?

මම කරන විදිහේ මැටි කර්මාන්තයක් ලංකාවේ නොකෙරෙන්න එක හේතුවක් තමයි එහෙම කර්මාන්තයක් මීට කලින් තිබුණෙත් නෑ. කවුරුත් එහෙම කර්මාන්තයක් වෙනුවෙන් ඊට මැදිහත් වීම අරගෙනත් නෑ.

අජිත් පෙරේරා එහෙමත් නැත්නම් මේ මහා කුඹලගෙ බිහිවීම කොහොමද සිදුවුණේ?

මගේ බිහිවීමත් මං හිතන්නෙ අහම්බයක් වෙන්න ඕනි. මං මූලික වශයෙන් රැකියාවකට කියලා සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා පිඟන් සංස්ථාවේ  කම්කරුවකු විධියට. එදා මම  එතැනට නොගිහින් ගැරෙජ් එකකට ගියා නම්, සමහර විට මම හොඳ බාස් කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. එදා බින්දුවෙන් ආරම්භ කළ ව්‍යාපාරය අද බ්‍රෑන්ඩ්  එකක්  බවට පත් කරන්න මට හැකි වුණා.

මම පිඟන් සංස්ථාවට සම්බන්ධ වෙන්නේ දවසකට රුපියල් හයේ පඩියට. ඒක තමයි මගේ විශ්වවිද්‍යාලය වුණේ. මැටි ගන්න තැනක් නෑ. පෝරනුවක් නෑ. කුඹලෙක් මැටි ගේනවා වගේ මැටි බෝල, බෝල හොරකම් කරගෙන ගිහින් ඉගෙන ගත්ත දෙයින් තමයි මැටි කර්මාන්තය සම්බන්ධයෙන් තියෙන මහා අධිරාජ්‍ය හැදුවේ. මම ඒක ප්‍රසිද්ධියේ කියනවා. අද ලංකාවේ මැටි සම්බන්ධයෙන් ඉන්න එකම බ්‍රෑන්ඩ්  එක කියලා කියන මේ මඟුලට මේ රටෙන් වෙච්ච දෙයක් නෑ. හැබැයි එහෙමයි කියලා මේ රටට වෛර කරන්න මට ඕනේ නෑ. මට ඕන මේ රට ගොඩගන්න.

ඔබගේ නිර්මාණවල තියෙන වෙනස මොකක්ද? 

මගේ නිර්මාණවල තියෙන එකම වෙනස තමයි මං බඩු හැදුවේ වෙළෙඳපොළට නෙමෙයි. මම කලාකරුවෙක්. එහෙමත් නැත්නම් ස්ටුඩියෝ පොටර් කෙනෙක්. ඒ කියන්නේ මම කලාව වෙනුවෙන් මැටි බඩු සාදන්නෙක්. භාණ්ඩ හදන්නේ බොහෝ වෙලාවට මගේ තෘප්තිමත් භාවය වෙනුවෙන්. නමුත් කාලයත් එක්ක ඒ මම හදන දේවල් ජනතාව විසින් පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒක තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ.

අජිත් පෙරේරා කියන නිර්මාණකරුවාව යම් යම් දේශපාලන ලඝු කිරීමක් සිදු වෙනවා නේද? 

මම දේශපාලන සතෙක් විධියට ලෝකය දකිනවා වෙන්න පුළුවන්. නමුත් මගේ දේශපාලන චින්තනය හැටියට මම මාක්ස්වාදියෙක් එහෙමත් නැත්නම් කොමියුනිස්ට්වාදියෙක්. මගේ චින්තනය නිර්මාණය වීමට මම කියවපු සෝවියට් දේශය සඟරා බලපෑවා.

ඔබ අඳින පලඳින විදිහ වෙනස්. මේ වෙනසට හේතුව?

මම අඳින්නේ මට පහසුම විදිහට.  ඇඳුමකින් සිදු විය යුතු මූලික දේ පමණයි මම අපේක්ෂා කරන්නේ.

මැටි කර්මාන්තය දියුණු කිරීමට මේ සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දිය යුතුයි නේද?

ඔව්. ඊළඟ පියවර තබන්න අවශ්‍ය විශ්වවිද්‍යාල මට්ටමෙන් පැමිණි තරුණ පිරිස්. වළං කර්මාන්තයේ ඊළඟ පියවර ගත යුත්තේ ඉගෙන ගත්ත කෙල්ලො කොල්ලො. කීල්ස් සුපර් මාර්කට්කාරයා ඇවිත් නතුකරගත්තේ සාමාන්‍ය කඩකාරයාගේ වෙළෙඳපොළ. නමුත් සාමාන්‍ය කඩකාරයා ඒකට උද්ඝෝෂණ කළේ නෑ. කවුරුත් ඒවට ගල් ගැහුවෙත් නෑ. ඒව ක්‍රමිකව සිද්ධ වුණු ව්‍යාපෘති. කුඩා කුඩා කර්මාන්ත සියල්ල මහ පරිමාණ ව්‍යාපාරිකයන් අතට පත් වීම වළක්වන්න බෑ.

මැටි කර්මාන්තය පමණක් නෙමෙයි. අපේ ළමයි නිර්මාණය කිරීමේ සිටම යම් වෙනසක් සිදුවිය යුතුයි. ලංකාවේ පෙරපාසල් ක්‍ෂේත්‍රයේ සිටම නැවත නිර්මාණය කළ යුතුයි. එතැනින් තමයි ළමයගේ චින්තනය සම්පූර්ණයෙන්ම හැදෙන්නේ. ඉන්පසු පියවරෙන් පියවරට උසස් අධ්‍යාපන දක්වා ගෙනයා යුතුයි.

ඔබ ලංකාවේ ඉන්න කෝටිපති මැටි ව්‍යාපාරිකයෙක්. ඔබ ඔබේ ජීවිතය ගැන තෘප්තිමත්ද?

ඔව්. එකපැත්තකින් මම තෘප්තිමත්. මනුස්සයකුට ජීවත් වියහැකි පරිදි හිසට වහලක් තියෙනවා නම්, යන්න වාහනයක් තියෙනවා නම්, කන්න ඇති තරම් මුදල් තියෙනවා නම් තව මොනාද ඕන. නමුත් ඇත්තම කතාව අපි තාම කඩේකට ගිහින් කාලා බිල බලන විදිහෙ ජාතියක්. මොකද අපි වැඩි ගාණක කෑව කියලා වමාරන්නද? අපේ සමාජය බරපතළ දුගීභාවයකින් පෙළෙනවා. මම හිනාවෙන මොහොතේ තවත් පිරිසක් අඬනවා නම් මට ඒ හිනාවෙන් වැඩක් නෑ.

නමුත් තවත් පැත්තකින් මම හැම වෙලාවෙම බරපතළ අතෘප්තිමත් භාවයක හිටියා මගේ වෘත්තිය පිළිබඳව. වෘත්තිය පිළිබඳ අතෘප්තිමත් භාවය ඇති වීමට එක් හේතුවක් තමයි මේ නිර්මාණ විඳින්න පුළුවන්,  අගය කරන්න පුළුවන් සමාජයක් නිර්මාණය වී නොතිබීම. ඒ නිසා මම හදන නිර්මාණ මහා ජනතාවකට පාවිච්චි කරන්නත් බැරිවෙලා තියෙනවා. ඇත්තටම එයට හේතුව ආර්ථිකයේ දුගීභාවය පමණක්ම නෙමෙයි චින්තනයේ දුගී භාවයත් එයට බලපානවා. මේ හේතුව නිසා තමයි මම දැවැන්ත ලාභ ලබන ව්‍යාපාරිකයෙක් වෙනවා වෙනුවට ජනතාව වෙනුවෙන් වැඩ කරන්න  පෙලඹෙන්නේ.

අපේ රටේ හිටපු කලාකරුවන් හැමෝම කළේ තමන්ගේ කලා හැකියාව තමන්ගේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීම පමණයි. නමුත්  මට අවශ්‍ය වුණා මේ සමාජය ආර්ථික අභිවෘද්ධිය කරා ගෙනියන්න.

නව ආණ්ඩුවේ සංවර්ධන වැඩකටයුතු සමඟම සාම්ප්‍රදායික කර්මාන්ත නඟාසිටුවීම ගැන කතා වෙනවා. රට ගොඩගැනීමට මොනවාද කළ යුත්තේ?

ඔව්. ඇත්තටම මැටි කර්මාන්තය ගැන සංවාදයට ආපු නිසා මම මැටි බඩු ගැන කතා කරනවා.  මං මැටි කර්මාන්තයෙන් යා යුතු ඉහළම තැනට ආවා.

මැටි කර්මාන්තය මම මගේ මට්ටමින් ගේන්න ඕන තැනට ගෙනැල්ලා තියෙනවා. මම මැටි  විතරක් නෙමෙයි ලබන සුමානේ වෙද්දි ඔබට මාව දකින්න වෙන්නේ කුවේණිගේ අයියා විධියට. මම  හෑන්ඩ් ලූම් ක්ෂේත්‍රය, යොමු වෙනවා  දයාසිරි ජයසේකර ඇමැතිතුමාත් එක්ක.

අපි මේ මොහොතේ මහා අදහසක් නැතිව අනාගත ශ්‍රී ලංකාව කොහෙටද ගෙනියන්නෙ කියලා කියන එක  හුදෙකලාව අරගෙන තියෙන්නේ. එහෙම කරන කොට මට බැහැ මැටි කර්මාන්තය පිළිබඳ සැබෑ තීරණය මේ සමාජයට දෙන්න. මැටි කර්මාන්තයෙන් මටම කියලා බාකෝඩ්  එකක්   මම හදාගත්තා. නමුත් මේ වෙලවේ අපේ රට ලෝකයට ගෙනයන වැඩපිළිවෙළක් අවශ්‍යයි.

මොකද අපේ රටට අවශ්‍යයි මහා මිනිසුන් බිහි කරගන්න. අපේ රට 2025දී හෝ 2050දී ස්ථානගත කරන තැන රාජ්‍යය විසින් නිරවුල් කළොත් මට කියන්න පුළුවන් මැටි කර්මාන්තය හෝ කුමන කර්මාන්තයක් හෝ මෙරට ස්ථාපනය කරන්නේ කොහෙද කියන එක සම්බන්ධයෙන්.

53 හර්තාලය, 71,88,89 කැරලි, ද්‍රවිඩ ඊළාම් යුද්ධය මේ කාල පරාසයන් තුළ මිනිස්සු තම තමන් දරන මතවාදයන්වල ඉඳල මේ රට වෙනස් කරන්න උත්සාහ කළා.

දීර්ඝ කාලයක් පුරාවටම අපි මේ රටේ දේශපාලනය වෙනස් කරන්න උත්සාහ කළා. නමුත් ඒ සියල්ලන්ගෙන්ම අවසානයේ අත්වුණේ අතිශය දරුණු සාහසික අවසානයන්. දැන් කළ යුත්තේ තියෙන ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් ගෙන ඒමට උත්සාහ කිරීම නෙමෙයි.

ජනතාව විසින් පත් කරන ඕනෑම ආණ්ඩුවක් හොඳම ආණ්ඩුව විධියට සිතමු. ඇමැතිවරයා, මන්ත්‍රිවරයා හොඳම අය විධියට සිතමු, ඔය කරන පොඩි, පොඩි හොරකම් අපි අමතක කරලා දාමු.

විදෙස්ගත වන විට පවුලේ අය එක්කරගෙන යන්න හිතෙන ජීවවිද්‍යාත්මක ආසාවන් ගැන කතා නොකර ඉමු. සිංහරාජය කපලා ඉවර කරන්න බෑ. මේ මිහිතලය විනාස කරන්න මේ මිනිසුන්ට කිසිම හැකියාවක් නෑ. එහෙම කළොත් විනාස වෙන්නෙ මේ මිනිස්සු. සිංහරාජයේ හෝ වෙන මොකක් හරි වනයක් කපන එකට තප්පුලන එක නෙමෙයි මේ වෙලාවේ කළ යුත්තේ.

මම ගෝඨාභයගේ දැක්ම මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් එතුමට යම් දැක්මක් තිබෙන බව මට පේනවා. මම දැක්ක විශේෂම ලක්ෂණය තමයි ඔහු කුරහන් සාටකය පැලැන්දේ නෑ.

ඔහු සරල චාම් මනුස්සයෙක් විධියටයි අපි ඉදිරියට ආවේ. එයා මේ සිස්ටම් එක චේන්ජ් කරන්න කැමැති මනුස්සයෙක් කියලා අපිට පේනවා.

අපි එකතුවිය යුත්තේ ඒ වෙනස සමඟයි. ඇත්තම කතාව නව ජනාධිපතිතුමාගේ නව දැක්ම රටට ගැළපෙන විධියට සකස් කරල ගන්න වටේ ඉන්න පිරිසට තේරෙන්නෙ නෑ. ඒකයි මෙතැන තියෙන ප්‍රශ්නය.

අපේ මූලිකම ආර්ථික ප්‍රතිපත්තිය විය යුත්තේ කුමක්ද?

මම හිතන දෙයක් තමයි අපේ මූලිකම ආර්ථික ප්‍රතිපත්තිය විය යුත්තේ පරිසරය සහ අධ්‍යාපනය කියන එක.

අපි ලෝකය හා කරන තරගයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා අපි පස්සට යා යුතුයි. මේ උදාවෙලා තියෙන්නේ ලෝකය බිත්තියටම හේත්තු වෙච්ච යුගයක්. අපි ඒ ලෝකයේ හඹා ගෙන යෑම කිසිම තේරුමක් නැහැ.

කොරෝනා 20 – 30 කියලත් තව ඉදිරියට එන්න පුළුවන්. එලෝන් මස්ක් (Elone Musk), රිචර්ඩ්  බ්‍රැන්සන් (Richard Branson) වැනි අය උත්සාහ කරන්නේ අභ්‍යවකාශයට යන බස් හදන්න. නමුත් අපි තාම පොල්තෙල්වලින් දුවන වාහන ගැන කතා කරනවා.

ඒවගෙන් අයින් වෙලා එලෝන් මස්ක් (Elone Musk), රිචර්ඩ්  බ්‍රැන්සන්ට (Richard Branson) ඉන්න තැනක් අපි ලංකාවෙ හදන්න ඕනේ. මේ වෙනකොට ඒගොල්ලො විසින් ඒගොල්ලන්ගෙ ලෝකය, ඒගොල්ලොන්ගේ හුස්ම ටික අහිමි කරගනිමින් යනවා.

අපි කල්පනා කළ යුතුයි.  ඇයි එලෝන් මස්ක්  (Elone Musk) බස් එකක් හදාගෙන අභ්‍යවකාශයට යන්න හදන්නෙ කියලා.

අපි නොහිටියට කවදහරි දවසක මේ බස් නැවතුම්පොවළවල අඟහරුට – සිකුරුට යන බස් නවත්තයි.

අඟහරුවල, සිකුරුවල, බ්‍රහස්පතිවල කර්මාන්තශාලා තියෙයි. මිනිස්සු ඒ වගේ වැඩට යයි. නමුත් හුස්ම ගන්න, ජීවත්වෙන්න, නිදාගන්න මිනිස්සු මේ බිම හොයාගෙන එයි. අපි මේ බිම ගොඩනඟන්න ඕනෑ හුස්ම ගන්න ඉන්න පුළුවන් ඒ සුවිශේෂී බිමක් විදිහට.

අපි විතරමයි අපි වගේ කියලා මම කියන්නේ එකයි. මේ බිම ලෝකයේ මිල අධිකම සංචාරක නවාතැන කරන්න පුළුවන්.

එහෙම කරන්න නම් මේ රටට සිමෙන්ති ගොඩනැඟිලි වෙනුවට නිල් පාට වතුර ටික, හරිත පියස, කෘෂි රසායන ද්‍රව්‍ය නැති ආහාර ටික ඉතුරු කරගත යුතුයි. ඊට පස්සේ පොල් අතු මඩු තිබ්බත් කමක් නෑ.

මල් පිපිලා ලස්සනට වතුර ගැලුවට වැඩක් නෑ, ඒවගෙන් අපේ මිනිස්සුන්ගෙ ජීවිත හිනස්සවන්නේ නැත්නම්. මම කියන්නේ ඔය කෑගහන පරිසරකාරයන්ට බහිරව පරිසරකාරයෝ කියලා.

පරිසරකාරයන්ට අලියා මහා ලොකු සත්ත්වයෙක් වුණාට අලි ගැටලුවෙන් දුක් විඳින ජනතාවට අලියා මාරයෙක්. තමන්ට පල දෙන දෙයක් මිනිස්සු කවදාවත් නැති කර ගන්නේ නෑ. අපි මේ විකෘතිය නැති කළ යුතුයි. කොල්ලෙක් ගමේ හෝටලයක් හදන්න ගියොත් ඒක කරගන්න දෙන්නෙ නෑ.

ඇත්තටම කරන්න ඕනේ ඒවා නවත්තන එක නෙමෙයි. පරිසරයටත් මිනිස්සුන්ටත් කාටවත් හානියක් නොවන ආකාරයෙන් ඒවා කරගන්න ඉඩ දෙන එක. ජපානයේ සකුරා පිපෙනකොට සකුරා වසන්තය එනවා.

සකුරා මෝස්තර එනවා. සකුරා කෑම බීම එනවා. හැමෝම සකුරා මලින් සැරසෙනවා. ඇයි අපිට රොබරෝසියා වසන්තයක් හදාගන්න බැරි. ලංකාවේ උතුම්ම සංස්කෘතික උත්සවය වුණු දළදා පෙරහර අපේ මහා සංස්කෘතික උළෙලක් කරගන්න බැරි.

සාම්ප්‍රදායික මැටි කර්මාන්තකරුවා වෙනුවෙන් ඔබ කුමක්ද කරන්නේ?

අපි මේ මහ පොළොවෙ මේ වළ තවදුරටත් හාරනවද? නැද්ද? කියලා තීරණය කළ යුතුයි. මේ මහ පොළොවේ වළක් හාරනවා මැටි අරගන්න. ඊට පස්සේ මේ මැටි පුච්චනවා සෙන්ටිග්‍රේඩ් 1200කට. ඉන් එහි අණුව සහමුලින්ම වෙනස් වෙනවා.

නමුත් පාෂාණ දිරාපත්වීමත් සමඟ කවදාවත් මැටි  ඉවර වෙන්නෙ නෑ.  නමුත් අපි බලන්න ඕනි අපි ගන්න මැටිවලින් උපරිම වශයෙන් අපි ප්‍රයෝජනයට ගන්නවාද කියන එක සම්බන්ධයෙන්. අපි යා යුත්තේ ඒ තැනට.

මේ හාරන වළ පුරවන්න මං මොනවද කරන්න ඕන කියන එක සම්බන්ධයෙන් මා තුළත් යම් චෝදනාත්මක හැඟීමක් තියෙනවා. මේ වළ පුරවන්න බ්ලූමැන්ඩල් කුණු කන්දෙ තියෙන කුණු දාලා හරියන්නේ නෑ. මේ වළ පිරවීමට අවශ්‍ය මැදිහත් වීමයි මං මේ කරන්නේ. අප විසින් මේ මිහිතලය, මේ පෘථිවිය, මේ ලෝකය රැකගැනීමට අප කුමක්ද කළ යුත්තේ.

හැමෝම ලාභ පදනම් කරගෙන මේ පොළොව හැරීමේ කුමන්ත්‍රණයකට යනවා. නමුත් අපි අරගලයක ඉන්නවා කොහොමද මේ වළ වහන්නේ කියන එක සම්බන්ධයෙන්. කවුරු මගෙන් මැටි කර්මාන්තය ගැන ඇහුවත් මම මැටි වළඳක්, මැටි පෝච්චියක් ගැන කතා කරන්න ඒ තරම් කැමැති නෑ.

මම වුණත් කොහේ හරි තැනක තනියෙන් වැඩ කරන නිර්මාණකරුවෙක් විය හැකියි. මගේ නිර්මාඑණ මිලියන ගණනින් විකිණෙනවා විය හැකියි. තවත් විටෙක මගේ නිර්මාණ කෞතුකාගාරයක තියෙන ශ්‍රී ලාංකේය අභිමානය පෙන්නන දෙයක් විය හැකියි.  ඒ කොහොම වුණත් මම ඇත්ත ආර්ටිස් කෙනෙක්.

මම ගමට ගිහිල්ලා මැටි කර්මාන්තය සංවර්ධනය කරනවා. මට මේ ලංකාවම සකපෝරුවක් උඩ තියලා කරකවන්න පුළුවන්. මට මේ දේවල් කරන්න ආණ්ඩුවෙන් සතයක්වත් ඕනෙ නෑ. අපි තුන් වේලම බත් තම්බන්න ජාතියක් නම් ඇයි අපිට බැරි වළඳක කන්න හුරු කරන්න. මේ රටේ කාන්තාවන් සාරි අඳින්න නැත්තේ සාරි අඳින්න අකැමැති නිසා නෙමේ.

ලස්සනට, පහසුවට අඳින්න සාරි නැති නිසා. අද රජ්‍ය යාන්ත්‍රණය මොනවා කීවත් ඒවා ක්‍රියාත්මක කරන්න කලින් මේ අය හොයනවා තමාට ලැබෙන ලාභය ගැන. නමුත් මැටි කර්මාන්ත කරනවා නම් මට තියෙනවා නිශ්චිත වැඩපිළිවෙළක්. මැටි කර්මාන්ත කියන්නේ ශ්‍රී ලාංකේය ආර්ථිකයට දැනෙන සුළු වැඩ කොටසක් කරන්න පුළුවන් ආර්ථික ක්ෂේත්‍රයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here