අලුත්වන ලංකාගම ජනතාව ඩිජිටල් තාක්ෂණයෙන් බල ගන්වමින් අධිවේගි සහ සුපැහැදිළි ඇමතුම් සේවා ව්‍යාපෘතිය ද සාර්ථකව නිමාකිරීමට සමත්ව තිබේ.

ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම ඊයේ (20) සිදු කෙරුණු අතර මෙම සුවිශේෂී අවස්ථාව සංකේතවත් කරමින් ලංකාගම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ සිට, කොළඹ සිටි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අන්තර්ජාලය හරහා පළමු සජීවි වීඩියෝ තාක්ෂණ ඇමතුම ලබාගත් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ඕෂද සේනානායක මහතා වීඩියෝ සංවාදයක නිරත විය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ තාක්ෂණය පදනම් කරගනිමින් අනාගත අභියෝග ජය ගත හැකි දරු පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බවයි.

2021 වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අන්තර්ජාල සහ දුරකථනය පහසුකම් ලබාදෙමින් ඩිජිටල් නවෝදයකට රජය සැරසෙන බව මෙහිදී අමාත්‍යවරයා පැවසීය.