මැදවච්චිය ටියුෂන් සිසුවියෝ තිදෙනෙක් වතුර බෝතල් වල බීර දාගෙන පාරේ බීලා…

මැදවච්චිය නගරයේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගී වී ආපසු යන අතරතුරදී මහ පාරේ බීර පානය කරමින් ගිය බව කියන සිසුවියන් තිදෙනකු පෙරේදා (12) සවස පොලිස් බාරයට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.

මැදවච්චිය නගරයේ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 16 හැවිරිදි මේ සිසුවියන් තිදෙනා උපකාරක පන්තියට පැමිණෙද්දී බීමට වතුර රැගෙන ආ බෝතල්වලට බීර දමාගෙන පානය කරද්දී එය දුටු අය මැදවච්චිය පොලිසියට ඒ ගැන දැනුම් දී ඇත.

ඒ අනුව පැමිණ මැදවච්චිය පොලිසියේ නිලධාරීන් හා නිලධාරිනියන් මහ පාරේ බීර පානය කරමින් විනෝද වෙමින් ගිය සිසුවියන් තිදෙනා සිය බාරයට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබිණි.

ඔවුන්ට බීර ලැබුණේ කෙසේදැයි පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී මිතුරකු ගෙනැවිත් දුන් බව සිසුවියන් තිදෙනා පවසා තිබේ. ඒ අනුව බීර ගෙනැවිත් දුන් ඒ මිතුරා සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මැදවච්චිය නගරය ආසන්නයේ පදිංචි මේ සිසුවියන්ගේ මවු පියන් පොලිසියට කැඳවා එම සිසුවියන්ට මෙන්ම ඔවුන්ගේ මවුපියන්ටද දැඩි ලෙස අවවාද කළ පොලිස් නිලධාරින් සිසුවියන් තිදෙනා මවුපියන්ට බාරදී තිබිණි.

 370 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply