බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය දැරිය – විමර්ශන සඳහා තවත් පොලිස් කණ්ඩායම් 2ක්!

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදි පිළිස්සී රෝහල්ගත කර සිටියදී මිය ගිය දැරිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීම සඳහා බොරැල්ල පොලිසියට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම් 2ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, එම කණ්ඩායම් දෙක කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට අයත් නිලධාරීන් පිරිසක් සහ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අයත් නිලධාරීන් පිරිසකගෙන් සමන්විත වන බවය.

ඒ අනුව අදාළ පොලිස් කණ්ඩායම් ඊයේ (ජූලි 20) දින දැරිය මුලින් ම පදිංචි වී සිටි අවිස්සාවේල්ල, පුවක්පිටිය, කිරිවන්දෙණිය ප්‍රදේශයට ගොස් ඇති බවත් එහිදී ප්‍රකාශ 4ක් පමණ සටහන් කරගෙන ඇති බවත් ඔහු පැවසීය.

එම කණ්ඩායම් දෙක අනතුරුව ඩයගම ප්‍රදේශයට ද ගොස් ඇති අතර ඩයගමදී දැරියගේ මවගේ ප්‍රකාශයක් නැවත සටහන් කරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

තවද බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ සේවකයෙකුගේ දුරකතනය මීට දින කිහිපයකට පෙර පොලිසිය භාරයට ගෙන ඇති බවත් ඔහුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාළ සේවකයාගේ දුරකතනයේ තිබූ දත්ත මකා දමා ඇති දැයි විමර්ශනය කිරීමට බොරැල්ල පොලිසිය එම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බව ද ඔහු පැවසීය.

තව ද මෙම සිදුවීමට අදාළව බැංකු ගිණුම් සහ දුරකතන දත්ත විමර්ශනයට කිරීමට අධිකරණය අවසර දී ඇති බව ඔහු සඳහන් කළේය.

මියගිය දැරිය බදියුදීන් මහතාගේ නිවසට රැගෙන ආ දින සිට යම් ආකාරයකට කෲරත්වයකට භාජනය වී ඇති දැයි විමර්ශනය කිරීමට වෛද්‍ය වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විශර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 997 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply