ඇසළ පෙරහැර නැරඹීම මෙවරත් මහ ජනතාවට අහිමි වන ලකුණු!

පවතින කොවිඩ්-19 අවදානම් තත්ත්වය හමුවේ වුව ද සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව පෞරාණික චාරිත්‍රවලට ගරු කරමින් ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ මහතා පවසයි.

පවතින තත්ත්වය හමුවේ පෙරහැරට සම්බන්ධ වන සියලු කලාකරුවන් ජෛව බුබුළක් ආකාරයට රඳවා තබාගෙන පෙරහැර කටයුතු සිදු කිරීම සම්බන්ධව සෞඛ්‍ය උපදෙස් මත ඉදිරි තීරණ ගන්නා බව දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වන ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහ දේවාලයන්හි සියලු කලාකරුවන්ට කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදුන් බව ද දියවඩන නිලමේවරයා පැවසීය.

කලාකරුවන්ට අමතරව පෙරහැර සමයේ මී පැණි පූජාව සඳහා පැමිණෙන ආදිවාසින් ඇතුළු පිරිසකට ද එන්නත් ලබාදුන් බව ඒ මහතා ප්‍රකාශ කළේය. 

ඒ අනුව, අගෝස්තු මස 9 වන දින කප් සිටුවීමෙන් අනතුරුව එම මස 13 සිට 17 දින දක්වා කුඹල් පෙරහර පැවැත්වෙන අතර එම මස 18 දින සිට 22 දින දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වෙන බවත් අගෝස්තු 23 දින දවල් පෙරහැර හා දිය කැපීමේ මංගල්‍යය පැවැත්වීමට නියමිත බවත් අප වාර්තාකරු පැවසීය.

කෙසේ වුව ද ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාවට අවස්ථාව ලබා දෙන්නේ ද? යන්න සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව ද දියවඩන නිලමේවරයා සඳහන් කළේය. 

රටේ පවතින තත්ත්වය අනුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා ජනතාවට අවස්ථාවක් ලබා නොදීම වඩාත් යහපත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ අවධාරණය කරති.

 501 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply