රිෂාඩ්ගේ බිරිය ඇතුළු 4කගේ දුරකථන වාර්තා භාර දෙන්න අදාළ සමාගම්වලට නියෝග!

මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගිනි ඇවිළී මියගිය දැරිය පිළිබඳව විමර්ශන කිරීම සඳහා රිෂාඩ් බදියුදීන්ගේ බිරිය ඇතුළු සිවුදෙනකුගේ දුරකථන වාර්තා බොරැල්ල පොලිසිය වෙත ලබාදෙන මෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඊයේ (19දා) අදාළ දුරකථන සමාගම් වෙත නියෝග කර සිටියාය.

මියගිය දැරිය දූෂණයට ලක්වූයේ කවර කාල සීමාවක් තුළදී දැයි විමර්ශන කිරීම සඳහා බොරැල්ල පොලිසිය මෝසන් පත්‍රයක් මඟින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග නිකුත් කළාය.

මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ බිරිය, මෙම දැරිය මෙහෙකාර සේවය සඳහා එම නිවෙසට ගෙන ආ තැරැව්කාර පුද්ගලයා, රිෂාඩ් බදියුදීන්ගේ මාමා ඇතුළු සිවුදෙනකුගේ දුරකථන විස්තර වාර්තා ලබාදෙන ලෙස අදාළ දුරකථන සමාගම් වෙත නියෝග නිකුත් කරන මෙන් බොරැල්ල පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේම මෙම දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ පුද්ගලයාගේ බැංකු ගිණුම් වාර්තා බොරැල්ල පොලිසිය වෙත ලබාදෙන මෙන් බොරැල්ල පොලිසිය කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම තොරතුරු ලබාදෙන ලෙස අදාළ බැංකු වෙතද නියෝග කර සිටියාය. 

 390 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply