රජයේ රැකියාවට ආයුබෝවන් කියා කාබනික ගොවිතැන කරන තරුණ ගොවියෙක්!

රජය මගින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමත් සමග දිවයිනේ නොයෙක් ප‍්‍රදේශවල පොහොර ඉල්ලා මහ පාරේත් ගොවි බිම්වලත් කරන උද්ඝෝෂණ සහ විරෝධතා මාධ්‍ය මගින් දිනපතා ප‍්‍රචාරය කරනු දැකගත හැකිව තිබේ. මේ නිසා රටේ ජනතාව තුළ රසායනික පොහොර නොමැතිව වගා කටයුතු කළ නොහැකි වේයැයි අනියත බියක් ඇතිවීම නොවැළැක්විය හැකිය. එ් අතර රසායනික පොහොර වෙනුවට වගා බිම්වලට කාබනික පොහොර යෙදීමෙන් අස්වැන්න අඩු වී අනාගතයේ සාගතයක් ඇතිවේ යැයි යන මතයක්ද සමාජගත කිරීමට පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව දක්නට ලැබේ.

 රජය රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදාගෙන ගොවිතැන් කටයුතු කරන්නැයි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියත් කාබනික පොහොර යොදාගෙන ගොවිතැන් කටයුතු කර සාර්ථක වූවන් පිළිබඳ වැටහීමක් නොවීම නිසා ගොවි ජනතාව කාබනික පොහොර වෙත යොමු වීමට මැලිවන බව පෙනේ. මෙවැනි ව්‍යාකූල පසුබිමක් මැද රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතයෙන් තොරව කාබනික පොහොර පමණක් භාවිතා කොට සාර්ථකව වගා කටයුතු කර ඉහළ ආදායමක් ලබන තරුණ ගොවි මහතෙකු පිළිබඳව ලැබුන ආරංචිය මත අපි ඒ තරුණ ගොවි මහතා සොයා මුලටියන කැටපලකන්ද ප‍්‍රදේශයට ගියෙමු. ඔහු නමින් කේ. ධම්මික නිශාන්තයි.

kabanika pohora3

අප එහි යන විටත් ගොවිපළේ සරුසාර වගාවේ අස්වනු නෙළමින් සිටි ධම්මික මහතා අප සමග කාබනික පොහොර යොදාගෙන එළවළු පමණක් නොව පලතුරු සහ අල බතල පවා වගා කර තිබෙන බව පැවසුවේය. රජය මගින් රසායනික පොහොර ආනයනය කිරීම නතර කරන බව පැවසීමත් සමග රට පුරාම ගොවින් විරෝධතා පැවැත්වීමට පටන්ගෙන තිබෙන බව පසුගිය දිනවල මාධ්‍ය මගින් ප‍්‍රචාරය කරනු දකින්න ලැබුණා. මම නම් කාබනික පොහොර යොදාගෙන වගා කටයුතු කරන්නේ රජය මේ තීරණය ගන්න අවුරුදු ගණනකට ඉස්සර ඉඳලයි. එ් නිසා රසායනික පොහොර ආනයනය කිරීම නතර කිරීමට ගෙන තියෙන තීරණය මට වැදගත් වුණේ නැහැ.

 රසායනික පොහොර භාවිතා කිරීම නිසා  වකුගඩු රෝග පිළිකා වැනි බෝනොවන රෝග ඇතිවන බව වෛද්‍යවරු සහ ඒ පිළිබඳ විශේෂඥයන් ප‍්‍රකාශ කර තියෙනවා. එ් නිසා මේ රෝගවලින් වැළකී  නිරෝගිව සිටීමට නම් රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වීමට සිදුවෙනවා.

 මම කාබනික පොහොර යොදාගෙන වගා කටයුතු කරන්න පටන් අරන් දැන් වසර කීපයක් වෙනවා. කෘමි හානිවලට කාමිනාශක වෙනුවට භාවිතා කරන්නේ පැරණි කෙම් ක‍්‍රම හා ස්වභාවික විකර්ශක වර්ග. මගේ ගෙවත්තේ වම්බටු, මාලූ මිරිස්, අමු මිරිස්, තක්කාලි, මෑ කරල්, ගෝවා වැනි එළවළු විතරක් නෙවෙයි කන්කුන් මුගුණුවැන්න වගේ පලා වර්ගත් ඩ‍්‍රැගන් පෘට්,  අලිගැට පේර, රඹුටන් වගේ පලතුරුත් සාර්ථකව වගා කරල තියෙනවා. කාබනික පොහොර යොදාගෙන හදන එලවළු පලතුරුවලට හොඳ ඉල්ලූමක් තියෙනවා වගේම වැඩි මුදලකුත් ලබාගන්න හැකියාව තියෙනවා. එ් නිසා එක එක්කෙනාගෙ බොරුවලට රැුවටෙන්නෙ නැතුව කාබනික පොහොර යොදාගෙන ගොවිතැන් කරල රටේ පැතිරෙන බෝනොවන රෝග වළක්වා ගෙන නිරෝගි ජනතාවක් බිහිකර ගන්න දායක වෙන්න කියලයි මම නම් කියන්නෙ.

 ‘‘මගේ තාත්ත ගොවිතැන් කරමින් කිරිහරක් ඇති කරමින් ගැමියෙකු ලෙස නීරෝගී ජීවිතයක් ගත කළා. අපේ ගෙදර කෑම පිසීමටත්, රාත‍්‍රී කාලයේ නිවසේ අඳුර මැකීමටත් භාවිත කළේ ජීව වායු පද්ධතියකින් ලබා ගත් ගෑස් උපයෝගී

 කරගෙනයි. ගවයින් ගේ ගොම සහ පිදුරු භූගත ටැංකි දෙකකට යොදා ජීව වායු උත්පාදන ක‍්‍රියාවලිය සකස් කර තිබුණා.’’

 නිවස ඉදිරිපිට පොලිසැක් කවර තුළ ගොඩ ගසා තිබූ විශාල කුකුළු පෝර තොගය (කුකුල් කූඩුවලින් ඉවත් කරන මළ සහ දහයියා ඇතුළු අපද්‍රව්‍ය* පෙන්නමින් ධම්මික මහතා කියා සිටියේ පෝර හිඟයක් ඇති නොවීමට කුකුළු පෝර භාවිත කරන වගය.

 ‘‘මම පාසල් යන අවධියේ වියදම සොයා ගත්තේ වගාවෙන් ලැබෙන ආදායමෙන්. ඒ කාලෙ දවසක් මම අපරැුක්ක ප‍්‍රදේශයේ කීර කොටුවක් බැලීමට ගියා. ඒ අවස්ථාවෙ කීර කොටුවෙ ගොවි මහතා දියර පොහොර, කෘමිනාශක සහ දිලීර නාශක බෙහෙත් සහ තෘණ නාශක එකට මිශ‍්‍ර කර වගාවට යොදනවා දැක්ක. මම ඒ ගැන ගොවි මහතාගෙන් විමසුවාම ”ඔහු කීවේ වගාවේ අස්වැන්න වැඩිකිරීමටත් පලිබෝධ හා කෘමිහානි නැති කිරීමටත්, ලේසියටත් එකවරම මෙම තෙල් ඉසින බවය. පසුදින එම කීර කපා වෙළෙඳ පොළට ගෙන යන බවද ගොවි මහතා කීවා. මෙහිදී මට පුදුම දුකක් සහ කළකිරීමක් ඇති වුනා. අපි වෙළෙඳ පොළෙන් ගෙනත් කන්නෙ වස විෂ සහිත ආහාර නේද? කියල.

 මම පසු දිනම තීරණය කළා වස විෂ නැති ආහාර සඳහා ගෙදර ඉඩම වගා බිමකට සකසන්න. අක්කර හතරක ඉඩම තුළ වූ පර්චස් 40 ක කුඹුරු බිම පලා වර්ග වගා කිරීමටත්, ගොඩ ඉඩම් කොටස එළවළු වගාවට යොදා ගැනීමටත් කටයුතු කළා.

 කථාවට මඳ විරාමයක් දෙමින් අපි ක්ෂේත‍්‍රයේ වගාවන් නිරීක්ෂණයට ගියෙමු.

 වම්බටු, මාළු මිරිස්, අමු මිරිස්, නෝකෝල්, බීට්රූට් සහ නිවිති ඇතුළු පලා වර්ගයන් වූ මුගුණවැන්න, කන්කුන් ඉතා සරුවට වගා කර තිබූ අන්දම අපට දැක ගැනීමට හැකිවිය. එළවළු වගාවේ බිම ශෂ්‍ය මාරු ක‍්‍රමයට වගාව පවත්වාගෙන යෑමට ධම්මික මහතා කටයුතු කර තිබූ බවද පැහැදිලි විය. යල කන්නයේ වම්බටු වගාව යොදන බිම, මහ කන්නයේදී මාළු මිරිස් වගාවට මාරු කිරීම වැනි බිම වෙනස් කිරීම එම ක‍්‍රමය බව ඔහු පැවැසීය. සෑම වගාවකම සරු ඵලදාවක් පවතින අයුරු සතුටින් නිරීක්ෂණය කළ අපි, ඩ‍්‍රැගන් පෲට් වගාව බැලීමට ගියෙමු. ඉඩම තුළ ඇති ගල් තලාවනට ඩ‍්‍රැගන් ෆුට් පැළ සිටුවා ගල මතට ගස වැඞීමට සලස්වා ඉතා ක‍්‍රමවත් වගාවක් කර තිබූ අන්දම අපට දැක ගැනීමට පුළුවන් විය.

 වගාවන්ට කෘමි හානි සිදු වීම වළක්වා ගැනීමට, වගාව ආසන්නයේ ඇති හිස් ඉඩම් තුළ ස්වාභාවික වල් වැවෙන්නට හැරීමෙන් ජෛව පාලනයක් ඇති වන බව පවසන ධම්මික මහතා, ඇටි කෙසෙල් වගාවෙන් ජල පෝෂිත ප‍්‍රදේශ සංරක්ෂණය වන බවද කීය. කෘමි සතුන් මර්දනයට කුරුඳු කොළ, කොහොඹ කොල, ආඩතෝඩ කොල, දුම්කොල නැටි, තම්බා ගත් වතුර තනුක කර වගාවන්ට යොදන බවද හෙතෙම සඳහන් කළේය.

 වගාව සඳහා බීජ තමා විසින්ම සකස් කරගන්නා අතර, පැළ තවාන් පිහිටුවා එළවළු පැළ අලෙවි කිරීමද ධම්මික මහතා කරගෙන යයි.

 කඹුරුපිටිය පී. එල්. ජයවර්ධන
 මාවරල චාම් මද්දුමගේ
 මුලටියන කේ. වසන්ත

උපුටා ගැනීම : www.divaina.com

 353 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply