බැසිල් පාර්ලිමේන්තුවට එනවට සජබයි-එජාපයි කට උල් පෙරමුණයි බයවෙලා!

එන්නත්කරණය පිළිබඳව අපේ රට යුහුසුලුව කටයුතු කරගෙන යනවා. මේ අවුරුද්ද අවසාන වීමට පෙර අපේ රටේ 65% ක් විතර ජනතාවට එන්නත ලබාදෙන්න පුළුවන් වේවි. අපේ රටෙත් කොවිඩ් එන්නත් නිෂ්පාදනය කර තිබෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පැවැසීය.

මෙරට ආර්ථිකය වර්ධනය කිරීම සඳහා බැසිල් රාජපක්‍ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය රටටම ප්‍රයෝජනවත් බවද හෙතෙම කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා මේ බව පැවැසීය.

එහිදී හෙතෙම මෙසේද කීය.

පසුගිය සතිය බැලුවාම කොවිඩ් ප්‍රශ්නය තියෙද්දි, තෙල් මිල වැඩි වෙලා තියෙද්දි  විපක්ෂයේ සහ බොහෝ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව වෙලා තිබෙන්නේ බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා ගැනයි. බැසිල් රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ නිර්මාතෘවරයා. අපේ පක්ෂයට අයිතිය තිබෙනවා අපේ පක්ෂයේ මන්ත්‍රිවරු පත් කරන්න, වෙනස් කරන්න. මීට පෙර සජිත් ප්‍රේමදාසලා, රනිල් වික්‍රමසිංහ මහත්තයලා එකට එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට 2015 මැතිවරණයේ වෙනම පක්ෂයකින් තරග කරපු සරත් ෆොන්සේකා මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ නිසා  ඒ ඒ පක්ෂවලට ඕන කෙනෙක් පත් කර ගන්න අයිතිය තිබෙනවා. ඒ නිසා විරුද්ධ පක්ෂය අපි ගන්න තීන්දුවලට කලබල වෙනවා පේන්නේ, දේශපාලන සතුරා ඒ තීන්දුවට බය වෙනවා නම් ඒකෙන් කියවෙන්නේ අපි ගන්නා වූ තීන්දුව අපි හරි කියන එකනේ. ඉතින් බැසිල් රාජපක්ෂ මැතිතුමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙනවා කියන ආරංචියත් සමඟ වඩාත් කලබලයට පත්වෙලා තිබෙන සමඟි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ කට උල් පෙරමුණ. ඒ අයගේ කලබලය නිසා කොරෝනාවලටත් වඩා ඒ අය බය වෙලා තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමාටයි.   ඒකෙන් පේනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට ගත් තීන්දුව දැන් නිවැරදියි කියලා. දේශපාලන සතුරන් බොහෝමයක් කලබල වෙලා තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන්නේ එතුමා රාජපක්ෂ කෙනෙක් නිසා නෙවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය  කරන්න මුල් වෙච්ච කෙනා විදිහට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරලා මේ පක්ෂය සමඟ තවත් පක්ෂ ගණනාවක් එකතු කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණම ලකුණෙන් තුන්කොන් සටනක් දීලා තමයි පළාත් පාලන මැතිවරණය දිනන්නේ. 

සමහර අය කියනවානේ සහරාන්ගේ සිද්ධිය නිසා ජනාධිපතිතුමා ජයග්‍රහණය කළා කියලා. නමුත් 2018 දී පළාත් පාලන මැතිවරණය තියෙද්දී සහාරන්ගේ අවතාරයක් තිබ්බේ නෑ. 2018 තිබුණු තුන්කොන් සටනින් ලංකාවේ 85% කට වැඩි බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා නිර්මාණය කළ පොදුජන පෙරමුණයි. ඊට පසුව පක්ෂ ගණනාවක් එකතු කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා සියලු දෙනාගේ කැමැත්තෙන් පොදුජන පෙරමුණෙන් යෝජනා කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වාර්තාගත ලෙස ජයග්‍රහණය කරනවා. මෙම මැතිවරණය තුළ කවදාත් ගන්න බැහැ කියපු 2/3 ජනවරමක් ගන්න පොහොට්ටුවට හැකි වෙනවා. ඒ සියලු ජයග්‍රහණයන්ට මුල් වන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ කාර්යභාරය කියන එක හැම පක්ෂයක්ම පමණක් නොවේ සියලු ජන කොටස් මැතිවරණ 03න් අනුමත කර තිබෙනවා. ඒ විතරක් නෙවේ පොහොට්ටුවේ ලකුණ යටතේ හැදුණ ආණ්ඩුවට විරුද්ධ පක්ෂවල සහයෝගය ලබා ගන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාට හැකි වුණා. ඒ කියන්නේ බැසිල් රාජප්කෂ මැතිතුමා ලංකාවේ ඉන්න හොඳම දේශපාලන මීටරයයි.

අපේ පක්ෂයේ තිබෙන වෙනස තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඇතුළට එන්න අපේ මන්ත්‍රිවරු ගණනාවක් අයින් වෙන්න පොරකනවා. ඒ කිසි දෙයක් නිසා නෙවේ මේ පොහොට්ටුව නිර්මාණය කරන්න ගත්ත වෙහෙස, දැනුම, ශක්තිය  සහ ඉතිහාසය තුළ එතුමාගේ ක්‍රියාකාරිත්වය ඇති වැදගත්කම නිසායි. ඒදා මහින්ද මහත්තයාගේ කාලය තුළ දැවැන්ත යුද්ධයක් කරන අතර ලෝකයේ විශාල ආහාර හිඟයක් ආවා. තෙල් මිල ඉහළ ගියා. මුළු රටම තුන්බියකින් වෙළුණා. එම අවස්ථාවේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් ඒ සියලු අභියෝග ජයග්‍රහණය කරා ගෙනියන්නට බැසිල් රාජපක්‍ෂ මැතිතුමා දැක්වූ දායකත්වය මුළු රටම දන්නවා. එවැනි ප්‍රශ්නය තිබෙන රටක ආර්ථිකය කළමනාකරණය කරගෙන ආර්ථික වර්ධන වේගය ලෝකයේ වෙන රටවල් බලාපොරොත්තු නොවෙච්ච ආකාරයට ඉදිරියට ගෙනයන්න නායකත්වය ලබා දුන්නේ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මැතිතුමා කියන එක අපිට අමතක කරන්න බෑ.

හර්ෂ සිල්වා මැතිතුමා අපේ රටේ ණය ප්‍රමාණය ගැන කතා කරනවා. අපේ රටේ ණය ප්‍රමාණ දළ දේශීත නිෂ්පාදනයත් සමඟ ඉතා ඉහළ අගය සිට පහළට ගේන්න කටයුතු කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමායි. අපි රටක් හැටියට කවුරුත් කැමැති වෙන්න ඕන පොදුජන පෙරමුණ තමන්ට තියෙන දේශපාලන අයිතිය යටතේ ගන්න යන තීන්දුවට. ඒ නිසා මෙතුමා මෙවර මෙම තීන්දුව තාම ප්‍රතික්ෂේප කිරීමක් කරලා නෑ. අපි හිතනවා එතුමා ඉතා ඉක්මනින් එළඹෙන පාර්ලිමේන්තු සැසිය තුළ පාර්ලිමේන්තුවට එයි කියලා. පොහොට්ටුවේ ජයග්‍රහණයක් කළ හැම පාර්ශ්වයකින්ම ඉල්ලීමක් තියෙනවා පාර්ලිමේන්තුවට එන්න කියලා. විරුද්ධ පක්ෂය කලබලා වෙලා තිබෙන්නේ ඒ අය දන්නවා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන හැකියාව සහ ආර්ථිකය ගොඩනැංවීමේ දෙන්න පුළුවන් නායකත්වයේ ගති ලක්ෂණ ගැන.

පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර 

අපි දැක්කා පහුගිය දිනවල මේ රටේ විපක්ෂය හැසිරෙන විදිහ. විපක්ෂය කරකියා ගන්නේ නැති වුණාම ගිලෙන වෙලාවට පිදුරු ගහෙත් එල්ලිලා බේරෙනව වගේ අද සෑම පුංචි කාරණයකම එල්ලිලා ඔවුන් උත්සහ කරන්නේ තමන්ගේ විපක්ෂය ඉදිරියට ගෙනියන්න. නමුත්  ඔවුන්  අද කියන දේ හෙට වෙනස් කරන කණ්ඩායමක් බවට පත්වෙලා තිබෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමාගේ කතාව සම්බන්ධයෙන් ගත්තාම මේ රටේ අති බහුතරය මේ කතාව පිළිබඳව  තිබුණු සදාචාර සම්පන්න සහ කරන දේ කියන, කියන දේ කරන නායකයෙක් විදිහට ඉදිරියට යන  නායකයෙක් බවට පත්වෙලා තිබෙන බව පැහැදිලියි. විවේචන තිබුණ කියලා අපි ජනතාව කියන දේ මඟහරින්නේ නෑ. ජනාධිපතිතුමාට අපේ රජයට එහෙම කරන්න පුළුවන් කමක් නෑ. ඉතා නිදහස්ව නිවැරදිව අදහස් ප්‍රකාශ කළා වගේම නිවැරදිව වැඩ කරනවා. 

ලෝකයේ දියුණු ශක්තිමත් රටවල් පවා වැටිලා තිබෙනවා මේ කොරෝනා තත්ත්වයත් එක්ක. අපිටත් හිතපු තරම් වේගයෙන් යන්න බෑ. රටේ සංවර්ධනයත් කරන ගමන් කොරෝනා ම¾ඩින්න අවශ්‍ය කටයුතු කරනවා. ඒ ගමන් මඟට ශක්තියත් එකක් තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවට එන්න කියන්නේ. සරත් ෆොන්සේකා මහතා කියනවා මහ මොළකාරයෝ 2015 දණගස්වලා දැම්මා කියලා. ඉතින් අපි එතුමාට කියන්න ඕන 2015 ජනතාව අන්දලා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන බැසිල් රාජපක්ෂ මැතිතුමා ගැන බොරු කියලා වැට්ටුවේ. පසුගිය අවුරුදු කාලය තුළ නීති හැදුවා, බන්ධනාගාරගත කළා, යම් යම් කොමිෂන් සභා හැදුවා. හැබැයි එකකින්වත් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාවත් වරදකරුවන් කරන්න පුළුවන් වුණේ නෑ. 

අපේ පක්ෂයේ මහ මොළකරු වුණේ බැසිල් රාජපක්ෂ මැතිතුමායි. මැතිවරණ සියල්ල දිනලා ආණ්ඩු හදලා එතුමා ගෙදරට වෙලා ඉන්න ඕනේ නෑ. එතුමාට මේ රටේ වගකීම් භාරගෙන රටේ සංවර්ධනයට දායක වෙන්න කියලා ආණ්ඩුවේ හැමොම කියනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා නැවත පාර්ලිමේන්තුවට එවන්න කියලා අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් ලියා දුන්නා. ඒ නිසා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය අවශ්‍යයි. අද තත්ත්වය අනුව එතුමා යම් මට්ටමකට අපි හිතනවා මේකට අනුකූලතාවක් දක්වලා මේ පාර්ලිමේන්තුවට එයි කියලා. 

පාර්ලිමේන්තු මන්ත්‍රි මිලාන් ජයතිලක 

අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ රජය නිසායාකාරව ක්‍රියාත්මක කරමින් අවශ්‍ය සම්පූර්ණ වැඩසටහනක් සකස් කරලා ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායක් හැටියට වැඩපිළිවෙළක් සකස් කරලා ඒකේ වගකීම භාර දුන්නා බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමාට. පාර්ලිමේන්තුවේ නායකත්වය, වගකීම ලබා දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමාට. අපි මේ කාරණා කිහිපය තුළ අති දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන ආවා. මේ හැම කාර්යයක් තුළදී මේ රටේ දැවැන්ත  සංවර්ධනයක් කරා ගෙනියන්න උතුරු වසන්තය වැනි දෑ බැසිල් රාජපක්ෂ මැතිතුමා අතින් දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කළා. දිවි නැඟුම, මඟ නැඟුම මෙවැනි සියලු වැඩසටහන් සියල්ල නිර්මාණය කළේ බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමයි. විපක්ෂය විසින් එතුමාව  අප්‍රසාදයට පත් කරන්න අති විශාල වෙහෙසක් ගත්තා. එතුමා පහුගිය කාල සීමාව තුළ වගකීම් සියල්ල කළේ අපේ පක්ෂය වෙනුවෙන්. දැන් අපි පක්ෂය වෙනුවෙන් නෙවේ එතුමා  රට වෙනුවෙන් යොමු කරන්න අවස්ථාව ඇවිත් තිබෙනවා. අපි කවුරුත් කියනවාට වඩා  ජනාතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න, රටේ ආර්ථිකයට වැඩපිළිවෙළක් ගෙන ඒමට ආර්ථික කළමනාකරුවා වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමායි. 

මෙච්චර කාලයක් අපි දැක්කා හැම තැනකම වස විසවලින් තොර සමාජයක් බිහිකරන්න ජනතාවගේ ප්‍රසාදයක් තිබෙනවා. හැබැයි මේ වෙනකොට මේ පොහොර ප්‍රශ්නය වෙන පැත්තකට ගෙනියන්න අද විපක්ෂය වැඩපිළිවෙළක් හදාගෙන යනවා. පොහොර හිඟයකුත් මවාගෙන. මේ රටේ අහිංසක ජනතාවට විස වපුරවලා ඔවුන්ට පිළිකා වැනි විනාශකාරි රෝග මේ රටින් තුරන් කරන්න වගේම අපේ රටේ ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙළක් දියත් කරන දවස වැඩි අෑතක නෙවේ යැයි මම විශ්වාස කරනවා.

 451 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply