වසර 202කට පෙර ඉංග්‍රීසීන් පැනවූ අංගම්පොර ක්‍රීඩා තහනම ඉවතට!

වසර 1818 ඔක්තෝබර් මාසයේදී ඉංග්‍රීසීන් විසින් තහනම් කරනු ලැබූ දේශිය අංගම්පොර සටන් කලාවේ තහනම අති විශේෂ ගැසට් පත්‍රයකින් ඉවත් කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සිංහල තරුණයන්ගෙන් ඉංග්‍රීසි ජාතිකයන්ට විශාල අභියෝගයක් වූ අංගම්පොර සටන් කලාව යටත් විජිත යුගයේ තහනම් කළ ද එය වසර 202කට අධික කාලයක් රහසිගතව පාරම්පරිකව පවත්වාගෙන ගිය බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

“අංගම්පොර සටන් ශාස්ත්‍රය හදාරන අය තුළ අනෙක් ක්‍රීඩාවල නියැළෙන ක්‍රීඩකයන්ට එහා ගිය දරාගැනීමේ ශක්තියක් තිබෙන බව පෙනෙනවා. අනෙකුත් ක්‍රීඩාවල නියැළෙන ක්‍රීඩකයන්ටත් මෙහි ඇති දැනුම හුවමාරු කර ගෙන තම තමන්ගේ දරාගැනීමේ ශක්තිය වැඩි දියුණු කරගත හැකියි. අංගම්පොර සටන් කලාව දේශීය සටන් කලාවක්. දේශීය දේවල් රැක ගැනීම අපේ යුතුකමක්. මෙවැනි දේශීය සටන් ක්‍රම සහ ජන ක්‍රීඩා ජාතික මට්ටමින් පුහුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් හදන්න බලාපොරොත්තු වෙනවා. අංගම්පොර සටන් ශාස්ත්‍රය ඇතුළු අපේ පැරණි ජන ක්‍රීඩා හා සටන් ක්‍රම පිළිබඳ පර්යේෂණාත්මකව සොයා බලා ඒවා අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිතව රැක ගැනීම එම ක්‍රීඩා දැනුම සංරක්ෂණය කිරීමට කෞතුකාගාරයක් ඉඳිකරන්නත් බලාපොරොත්තු වෙනවා” ඇමැතිවරයා පැවසීය.

මේ අතර, දේශීය අංගම්පොර සටන් කලාව රට පුරා ප්‍රවර්ධනය කිරීමට රජය රුපියල් මිලියන 30ක් වෙන් කර ඇත. ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ‘දේශීය ක්‍රීඩාවයි තරුණ ජවයයි’ තේමාව ඔස්සේ මෙය ක්‍රියාත්මක වේ.

මෙරට දේශීය සාම්ප්‍රදායික ක්‍රීඩා දහසක්පමණ පවතින බව අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයකදී හඳුනාගෙන ඇති අතර, එම ක්‍රීඩා අතුරින් වඩා ක්‍රියාශීලී ක්‍රීඩාවක් ලෙස අංගම්පොර සටන් කලාව හඳුනාගෙන තිබේ. මේ සටන් කලාව ප්‍රවර්ධනය හා ව්‍යාප්තිය මඟින් අන්තර්ජාතික අවධානය දිනා ගැනීමටත් සංචාරක ව්‍යාපාරය ඔස්සේ ආර්ථීක අභිවෘද්ධිය ඇති කර ගැනීමටත් අපේක්ෂා කෙරේ.

අංගම්පොර සටන් කලාව ප්‍රවර්ධනය හා ව්‍යාප්තිය මඟින් රාජ්‍ය උත්සව, පෙරහැර හා දේශීය හා ජාත්‍යන්තර සංදර්ශන අර්ථවත් කිරීමට අපේක්ෂා කරන අතර, ග්‍රාමීය හා නාගරික මට්ටමින් පාරම්පරික අංගම්පොර සටන් ශීල්පීන් හඳුනාගෙන ඔවුන් සම්පත් දායකයන් කරවීමට අපේක්ෂා කෙරේ.

දේශීය අංගම්පොර සටන් කලාව ඇසුරෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා අංගම්පොර ක්‍රීඩා සම්මේලනයේ ගුරුකුල කිහිපයක් අතර, කලක් තිස්සේ තිබූ මත ගැටුම නිමා කරමින් අංගම්පොර විෂය මාලා කෙටුම්පතක් නිර්මාණය කිරීමට පසුගියදා අංගම්පොර ක්‍රීඩා සම්මේලනය කටයුතු කොට තිබිණි.

අංගම්පොර ක්‍රීඩා සම්මේලනයේ ව්‍යවස්ථාව හා නීතිරීති සකසා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට දී තිබුණද අංගම්පොර ක්‍රීඩාවට විෂය මාලාවක් නිර්මාණය කර ගැනීමට ජාතික සම්මේලනය අවස්ථා කිහිපයකදීම උත්සාහ ක‍ළද එයට බොහෝ කාලයක් ගත විය.

ආයුධ හරඹ ආශ්‍රිත අංගම්පොර ක්‍රීඩාවේ ඉදිරියෙන්ම සිටින කෝට්ටේ යුගයට හා දඹදෙණිය යුගයට සම්බන්ධ ගුරුකුලද, නුවර යුගය, සීතාවක යුගය, රිටිගල යුගය ඇතුළු අනෙකුත් යුග ගණනාවක ගුරුකුලවලට අයත් සියලු දෙනා එක්ව මේ විෂය මාලාව සකස් කළ කිරීමට පියවර ගෙන ඇත.

 1,741 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply