පියයුරු පිළිකා රෝගී පරපුරට දිරිය ගැහැනියක් දෙන උතුම් පාඩම!

“ජීවිතය ශෝකාන්තයක් බවට පත්කර ගන්නවා ද? එහෙමත් නැත්නම් සතුට, සැනසුම පිරි මිහිරි කවක් කරගන්නවා ද? මේ තීරණය ඇත්තේ ඔබ අතේය.”

මධුකා උෂානි ඇගේ මුහුණුපොතේ මේ ආකාරයට ලියා තිබුණා ය. ඇය එතැනින් නැවතී තිබුණේ නැත. තවදුරටත් ලීවා ය.

මුහුණුපොතේ කවිකාරියක් ලෙස නමක් දිනා සිටි ඇය මෙසේ ලියන්නට එහෙමත් නැත්නම් ප්‍රශ්න කරන්නට විශේෂිත හේතුවක් තිබුණා ය. සැබැවින් ම එය ඉතා ඛේදනීයය. නමුත් ඇය ඒ දෙස බලන්නේ උපේක්ෂා සහගතවය.

“මම පියයුරු පිළිකාවකට බඳුන් වූ තැනැත්තියක්. මම ඒ ශල්‍යකර්මයට මුහුණදුන්නා. ඒ නිසා ම මට එක් පියයුරුවක් ඉවත් කරගන්න සිදුවුණා. ඊළඟට මම කීමෝ ප්‍රතිකාරවලට මුහුණදුන්නා. මගේ කොණ්ඩය ගියා. බලාසිටියදී  මගේ පෙනුම අමුතු වුණා. වෙනස් වුණා. ඒත් මම කිසිම වෙලාවක දුකට පත්වුණේ නැහැ. පසුතැවිලි වුණේ නැහැ. දැන් මම මේ කතාව ඔබට කියන්නෙත් මෙවැනි අවස්ථාවක සුබවාදීව ජීවිතේට මුහුණදෙන්න ඕන කියන පණිවුඩය දිය යුතු නිසා,” මධුකා උෂානි දැඩි හැඟීමකින් යුතුව කතා කරනවා. ඊළඟට ඇය මෙහෙමත් කියනවා.

“අපේ රටේ බහුතරයක් කාන්තාවෝ මේ අවදානමේ ඉන්නවා. පියයුරු ආශ්‍රිතව එන ගැටිති ගැන ඔවුන් අවධානය යොමු කරන්නේ හරිම අඩුවෙන්.

ඊළඟට ඔවුන් එවැනි ගැටිති මතු වුණොත් ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් ගන්න පවා මැළිවෙනවා. ඒක වෙන්නේ අපේ සංස්කෘතික වටපිටාව නිසා. ඒත් අවසානයේ ඒ ජීවිතය මරණින් පවා කෙළවර වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මම මේ කතාව නිර්භයව කියන්න හිතුවේ.” 

මධුකා උෂානි මේ විදිහට කතා කරද්දි අපි ඊට ඉඩදී නිහඬව සිටියෙමු. ඒත් මේ කතාව තුළ ඇය කියන්නට මැළිවෙන ඒත් අපිට ලියන්නට ඕනෑ වූ තවත් වැදගත් ම කාරණාවක් ගැන අපි ඇගෙන් හාරා අවුස්සා මෙසේ ඇසුවෙමු.

“මුලදි ඔබට ලැබෙන වැරදි වෛද්‍ය උපදෙස් හා ක්‍රියා නිසා තමයි ඔබ පිළිකා රෝගියකු වෙන්නේ… එහෙම නේද..?” මධුකා උෂානි හිනාවුණාය. ඊළඟට ඊට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයාගේ නම නොකියා ඒ සිදුවීම කියන්න පටන්ගත්තාය.

“මම මේක කියන්නෙත් ඔබ අපි කවුරුත් මේ වගේ දේකට මුහුණදෙන්න තිබෙන ඉඩකඩ අවම කරගත යුතු නිසා.

ඇත්තට ම මමත් මුලදි අපේ රටේ ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍යවරයකු චැනල් කරලා මේ වෙනුවෙන් යන්නේ උපදෙස් ලබාගැනීමටයි. ඒ මගේ පියයුරු ප්‍රදේශයේ මතුවන ගැටිත්තක් ගැන කියලා උපදෙස් ගන්න.”

මධුකා උෂානි මේ ආකාරයට පෙර කී වෛද්‍යවරයා වෙතට යන්නේ තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා තරංගත් එක්කම ය. එහිදී මේ වෛද්‍යවරයා පවසන්නේ එම ගැටිත්ත ඉවත් කළ යුතු බවය. ඒ අනුව ඒ කුඩා ගැටිත්ත තවත් නුදුරු දිනයකදී ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

මේ ආකාරයට ඉවත් කළ ගැටිත්ත ආශ්‍රිතව ඇතිවුණු තුවාලය කාලයත් සමග පැසවීමට හා එහි සැරව එකතුවීමට පටන් ගන්නේ මධුකා උෂානි තුළ දැඩි කරමිනි.

“ඇත්තට ම මේ හේතුව නිසාම මට වරින් වර වෛද්‍ය ප්‍රතිකාර ගන්න යන්න වෙනවා. කාලය ඔය විදිහට ඉස්සරහට යද්දි තමයි ඊළඟට කරන පරීක්ෂණයකදී මම පිළිකා රෝගී ලක්ෂණ මතුවී තිබෙන රෝගියෙකු බවට නිර්දේශ කරන්නේ.

ඒ වගේ ම මට මෙහිදී වෙනත් වෛද්‍යවරයෙකුගෙන් තවත් කාරණාවක් දැනගන්න ලැබෙනවා. ඒ ඉවත් කළ මගේ ගැටිත්ත සාමාන්‍ය එකක් මිස අසාමාන්‍ය එකක් නොවන බවට.”

තමන් මුහුණදී සිටින සංකීර්ණ තත්ත්වය ගැන මධුකා උෂානි පෙරකී විශේෂඥ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කරන්නට පටන් ගන්නේ මේ හෙළිදරව්වෙන් පසුවය.

“මම ඒ විශේෂඥ වෛද්‍යවරයා හමුවී මේ ගැන ඇහුවා. එහිදී යම් අතපසුවීමක් තිබෙන බව ඔහුත් පිළිගත්තා. ඊට පස්සේ තමයි මම තවත් විශේෂඥ වෛද්‍යවරියක වූ ඉන්ද්‍රානි අමරසිංහ මහත්මිය හමුවුණේ. අන්තිමට මම එතුමියගේ උපදෙස් අරගෙන අර සැරව පිරී තිබීම නිසා මූලික පිළිකා අවධිය තිබුණු පියයුරුව ඉවත් කරන්න කටයුතු කළා.”

මධුකා උෂානි මේ විශේෂඥ වෛද්‍යවරිය හමුවෙන්න යන්නේ ස්වාමිපුරුෂයා සමග ම ය. එහිදී වෛද්‍යවරිය මේ ඉවත් කිරීමට කැමති දැයි අසන විට උෂානි පවසන්නේ පියයුරු දෙක ම ඉවත් කළත් ගැටලුවක් නොවන බවටය.

“ඇත්තට ම ඒ වෙද්දි මම මගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ අදහස්වලටත් ගරු කරලා මේ ශල්‍යකර්මයට මුහුණදෙන්න හිත හදාගෙනයි හිටියේ. මොක ද ජීවත්වෙනවා නම් ඒක ප්‍රශ්නයක් කරගත යුතු නැහැනේ. කාන්තාවන්ගේ පියයුරු ගැන තමයි හැමෝම වර්ණනා කරන්නේ. කවි ලියන්නේ. ඒක ඔවුන්ට වටිනා වස්තුවක්. නමුත් මුලින් ම හිතන්න ඕන ජීවිතය. ඉතින් මම අමාරුවෙන් හිත හදාගෙන ඒ තීරණයට ආවා.”

වෛද්‍යවරිය මේ තීරණය දැනුම් දෙනවිට මධුකා උෂානි කාන්තාවක් හැටියට දැඩි දුකට හා වේදනාවට පත් නොවුණා යැයි කියන්නට නොහැකිය. සැබැවින් ම එය එසේ විය. ඒ තමන්ගේ දරු පැටව් තිදෙනා හා ස්වාමිපුරුෂයා ගැනත් මතක් වූ පසුබිමකය.

එක්තරා අවස්ථාවක මධුකා උෂානිගේ ආදරණීය ස්වාමිපුරුෂයා තරංග ද මේ ගැන ඇගෙන් විමසා සිටියේ ය. එහෙත් ඒ මොහොතේ තරංග එසේ ඇසුවේත් දැඩි මානසිකව ඇදවැටුණු ස්වරූපයකිනි.

“ඇත්ත කියන්න… ඔයාට දුක තියෙනවා. ඒත් ඔයා ඒක පෙන්නන්නේ නැතිව ඉන්නවා නේද?” තරංග ඇසූ ප්‍රශ්නයට මධුකා උෂානි මෙසේ උත්තර දුන්නාය.

“නෑ මට පොඩ්ඩක්වත් දුක නෑ. මට ඕනේ නම් අඬලා මේක මළගෙයක් කරගන්නත් පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය විදිහට හිනාවෙලා ඉන්නත් පුළුවන්. ඔයා කැමැති මම කොහො ම ඉන්නවට ද..?”

කෙසේ හෝ මේ අදහස් හුවමාරුවෙන් පසුව තරංග තම බිරියගේ සිතැඟි තේරුම් ගත්තේය. ඒ අනුව තරංග මධුකාව සතුටු කළ හැකි අමුතුම විදිහේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටියේය.

“එයා දන්නවා මම වේගයෙන් වාහන පදවන්න හරිම කැමතියි කියලා. අපේ පවුලේ හුඟාක් දෙනා එහෙමයි. ධාවන තරගවලට බයික් පදින ගයාන් සඳරුවනුත් අපේ ඥාති සොයුරෙක්.

කොහොමහරි තරංග මාව කොල්ලුපිටියේ වාහන සේල් කරන තැනකට ගිහින් වේගයෙන් යන්න පුළුවන් විදිහේ කාර් එකක් අරන් දුන්නා තෑග්ගක් විදිහට. මොකද එයා දන්නවා මම ඒ දෙයින් හුඟාක් සතුටුවෙන බව. ඇත්තට ම මෙන්න මෙහෙම තමයි මගේ ස්වාමිපුරුෂයා මාව සතුටු කරන්න කටයුතු කළේ.”

මේ ශල්‍යකර්මය සිදුකරන්න කලින් ඔවුන්ගේ පවුලේ හිතවතෙකු වූ වෛද්‍ය ප්‍රභාත් යාපාත් ඉතා හොඳ උපදෙසක් මධුකා උෂානිට ලබාදී තිබිණි.

“පියයුරුවක් ඉවත් කරනවා කියන්නේ ශරීරයේ නියපොත්තක් ඉවත් කරනවා වගේ සාමාන්‍ය දෙයක්. අන්න ඒක හැම වෙලාවෙ ම හිතන්න.” මධුකා මේ උපදෙස් ගැනත් නිතර ම හිතුවා.

සාමාන්‍යයෙන් පිළිකා ආශ්‍රිත ප්‍රතිකාරවලදී කීමෝ ප්‍රතිකාර අත්‍යවශ්‍යය. මධුකාටත් එවැනි ප්‍රතිකාර අටකට මුහුණ දීමට සිදුව තිබුණාය. ඇය මේ ප්‍රතිකාර සඳහා යොමුවෙද්දී දැනගත් ප්‍රධානතම කාරණාව දිනෙන් දින හැලී ගැලවී යන හිසකෙස් හා අවසානයේදී ඉතිරි වන අවලස්සන පෙනුම පිළිබඳවය. 

ඇත්තට ම අපි බොහෝ විට හිතන්නේ පිළිකාව නිසා කොණ්ඩය යනවා කියලනේ. නමුත් ඇත්ත ඒක නෙවෙයිනේ. කිමෝ ප්‍රතිකාර පටන් ගත්තට පසුව තමයි එහෙම වෙන්නේ.

ඉතින් මමත් ඊට මුහුණ දෙන්න සිතුවා. ඒත් මගේ ස්වාමිපුරුෂයා ඉන්ටර්නෙට් තුළ ඇති තොරතුරු සොයා බලලා මගෙන් ඇහුවා ඔයාට මේ ප්‍රතිකාරය අවශ්‍ය ම ද කියලා. මොක ද ඔහු යමක් දැන සිටියා. මාව අවලස්සන වන විදිහට වඩා ඒ ප්‍රතිකාරවල තිබෙන වේදනාකාරී පසුබිම ඔහු දැනගෙන සිටියා.”

කෙසේ හෝ අවසානයේදී මධුකා උෂානි ඊට මුහුණ දුන්නා ය. දිනෙන් දින මාසෙන් මාසය ඉදිරියට ඇදී යද්දී ඇයගේ පෙනුම සම්පූර්ණයෙන් වෙනස් වීමට පටන් ගත්තා ය.

“හැබැයි මම මේ ප්‍රතිකාරයට කලින් අඳුනන මල්ලි කෙනෙක් ඉන්න සැලොන් එකකට ගිහින් දිගට තිබුණු මගේ කොණ්ඩය කොටට කපාගෙන ගෙදර ආවා. හැමෝ ම මට කිව්වේ කොණ්ඩය ගියාම ‘විග්’ එකක් පාවිච්චි කරන්න කියලයි. ඒත් මම ඇත්තට මුහුණ දෙන්න හිත හදා ගත්තා. විග් පාවිච්චි කරන්නේ නැහැ කියලා හිතුවා.”

මේ ආකාරයට අනුන්ගේ වරදකින් පිළිකා රෝගී කාන්තාවක් වූ මධුකා උෂානි ආත්මාවබෝධයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙන දිරිය ගැහැනියක බවට පත්වූවා ය. 

කීමෝ ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඇතිවූ මානසික වේදනාව යටපත් කර ගනිමින් ඇය සිනාසී පවුලේ උදවිය සමඟ ගනුදෙනු කළාය. දරුවන් තුරුලු කර ගත්තා ය.

“මම මේ වෙද්දී දැනගෙන හිටියා හිත අප්සට් කරගෙන කෑම නොගෙන නොකා නොබී සිටීමත් හොඳ නෑ කියලා. මොකද එහෙම වුණොත් මගේ රුධිර වාර්තා දුර්වල වෙනවා. එහෙ ම වුණොත් ලේ ලබා ගන්නත් සිදුවෙනවා. ඇත්තට ම මේ හින්දම මගේ ස්වාමිපුරුෂයා යම් යම් තැන්වලට එක්කර ගෙන ගිහින් පවා කෑම කන්න කටයුතු කළා.

මේ ආකාරයට තවත් දින සති ගණන් ගතවෙද්දී මධුකා උෂානිගේ හිසකෙස් ගැලවී මුඩුකළ හිසක් ඇති තැනැත්තියකගේ ස්වරූපය මතුවන්නට පටන් ගැනිණි. වෙන දා දකින පෙනුමට වඩා බෝල මුහුණක් සහිත වෙනස් ම චරිතයක් මතුවී පෙනෙන්නට විය.

මේ වෙනස දෙස බලා සිටි තරංග ඇතුළු දරු තිදෙනා කවදාවත් ඇත්තක් කියා හිතන්නට බැරි අමුතුම විධියේ තීරණයට එළැඹ සිටියේය. ඒ තම ආදරණීය මව සතුටු කිරීමට නොව ඇගේ මානසික තත්ත්වය උසස් කිරීමේ ක්‍රියාමාර්ගයකටය.

“මගේ මහත්තයා තරංග වගේම දරු තුන්දෙනා ම මම වෙනුවෙන් හිස මුඩු කළා. අපි හැමෝ ම එක හා සමාන බව අවංකව පෙන්වන්නයි. ඔවුන් ඒ විදිහේ තීරණයට එළැඹ සිටියේ. ඇත්තට ම මට ඒක හිතාගන්නත් බැරි වුණා. මගේ පුංචි දුවගේ කොණ්ඩය හරි ම දිගයි. ඇයත් ඒක කපලා දමලා තිබුණා. අනේ මට එදා අපේ පවුලේ බැඳීම කොයි තරම් ලොකු ද කියලා හිතුණා.”

“ඇත්තට ම මේ හැමෝට ම වුවමනා වුණේ මාව මානසිකව වට්ටන්නේ නැතිව සතුටින් තියන්න. මම ඒ නිසා ම දවසින් දවස පන්නරයට පත්වුණා. කීමෝ ප්‍රතිකාර කරද්දී අවලස්සන වෙනවා. එන්නත් කරද්දී ශරීරය පවා විවිධ කැළලි මතුවෙනවා. ඒත් ඒ හැම දෙයක් ම මට අමතක වුණේ මගේ පවුලේ අයගේ ආදරය නිසා.”

කෙසේ හෝ අද වන විට මධුකා උෂානි සිටින්නේ ඒ සියලු කඩඉම් පසුකොට යහපත් ඉසව්වකය. දැන් ඇය සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වී අවසන් ය. එහෙත් ඇය නිරන්තරයෙන් ම කල්පනා කරන්නේ තමන් වගේ ම මෙවැනි පියයුරු පිළිකා තත්ත්වයට පත්වන කාන්තාවන් ගැනය. ඇය අප සමග අවසන් වශයෙන් පවසා සිටියේ ද ඒ කාරණාව ගැන ම ය.

ගැටිති මතු වුණා ම ඒවා හොඳ වෛද්‍යවරයෙකුට පෙන්වන්න. ඒ වගේ ම තවත් වෛද්‍යවරයෙකු හමුවී ඒ වෛද්‍ය වාර්තා පෙන්වා උපදෙස් ලබා ගන්න. මම එහෙම කියන්නේ ඕනෑ ම දක්‍ෂ වෛද්‍යවරයෙකුට වුණත් වරදින්න පුළුවන් කියලා හිතන හින්දා.

ඊළඟට ඔබ හැමවිට ම පියයුරු පිළිකා රෝගියෙකු වී ඇත්නම් ඒ තත්ත්වයට හොඳ මානසික තත්ත්වයකින් මුහුණ දෙන්න. පියයුරු ඉවත් කළා කියලා ජීවිතේ නැති වෙන්නේ නැහැ. අපේ ආදරණීය පවුලේ සාමාජිකයන් සමග අපට තවත් කාලයක් ජීවත් වෙන්න ලැබෙන්නේ එහෙ ම හරි ජීවිතය බේරුණොත් පමණයි.

“මොන ම වෙලාවකවත් පියයුරුවල ගැටිති ඒ කියන්නේ සැක සහිත ගැටිති තිබුණොත් ඒවා පෙන්නලා වෛද්‍ය උපදෙස් ගන්න. ඒකත් ප්‍රමාද කරන්න එපා. මම මේ හැම දෙයක් ම ඔබට කියන්නේ මගේ අත්දැකීමෙන්.

ඒ වගේ ම මෙහෙම රෝගියෙකු ඔබේ පවුලේ ඉන්නවා නම් ඒ අයට මගේ ආදරණීය ස්වාමිපුරුෂයා මට ලබා දුන්න ආදරය, කරුණාව, දයාව හා රැකවරණය ලබා දීමට කටයුතු කරන්න. දරුවෝ ඉන්නවා නම් ඒ දරුවොත් ඒ විධියටම ආදරය කරුණාව ලබාදෙන්න. මේ රෝගය ඉදිරියේ ලැජ්ජා වෙන්න එපා. එහෙ ම වුණොත් ඔබ පරාදයි.”

උපුටා ගැනීම : www.mawbima.lk / සමන් ප්‍රියංකර නම්මුනිගේ

 826 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply