ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත “පාතාලයෝ” නවකතාව සහ “ගෝඨාභය” ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවර්තනය ඊයේ(6) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොටගෙන “පාතාලයෝ” නවකතාව රචනා කර තිබේ. “ගෝඨාභය” සිංහල කෘතිය පසුගිය වසරේ එළිදුටු අතර මෙවර එහි ඉංග්‍රීසි අනුවර්තනය එළිදැක්විණ.
කෘති ද්විත්වය දොරට වැඩුම කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලවේ දී සිදු විය.
කමල් ගුණරත්න මහතා විසින් මීට පෙර “රණමග ඔස්සේ නන්දිකඩාල්” නමින් සිංහල භාෂාවෙන් ද එහි ඉංග්‍රීසි අනුවර්තනය “Road To Nandikadal” ඇතුළුව “කඩොල් ඇත්තු” “උත්තර දේවි” “ගෝඨාභය” යන කෘති 05 රචනා කර තිබිණ. “පාතාලයෝ” සහ “GOTABAYA” ඉංග්‍රීසි අනුවර්තනය ඔහු විසින් රචනා කරන ලද 06 වැනි සහ 07 වැනි ග්රන්ථ ද්විත්වයයි.
කෘති ද්විත්වයේ පළමු පිටපත් කමල් ගුණරත්න මහතා ශ්‍රී කල්යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය වෙත පිළිගැන්වීය.
අනතුරුව ජනපති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත කෘති පිළිගන්වන ලදි.
කමල් ගුණරත්න මහතා සිය හමුදා ජීවිතයේ ගුරුවරුන් ලෙස සලකන මව්බිම වෙනුවෙන් යුද බිමේදී සිය ජීවිත පූජා කළ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජනරාල් විජය විමලරත්න මහත්වරුන් වෙනුවෙන් එම මහත්මීන් වෙත ද කෘති පිටපත් පිළිගැන්විණි.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා උත්සවයේ ප්‍රධාන දේශනය කළේය.
කතුවරයා හඳුන්වාදීම ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු සහ සිංහල භාෂාව පිළිබඳ ආචාර්යවරයෙකු වන විශ්ව රාජපක්ෂ මහතා විසින් සිදු කෙරිණ.






