කාබනික පොහොර භාවිතයට ජනපති කටයුතු කළේ මතු පරපුරේ ආරක්‍ෂාවටයි!

කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපතිවරයා කටයුතු කළේ ක්‍ෂණිකව හෝ කාගේවත් කීමකට නොව, රටේ මතු පරපුරේ ආරක්‍ෂාව සඳහා බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියයි.

රසායනික පොහොර භාවිතය නිසා විශාල ව්‍යසනයක් වන බවත් වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් සංඛ්‍යාවද මේ පොහොර භාවිතය නිසා වැඩි වී ඇති බවද ඒ නිසා මෙම තීරණය මතු පරපුර වෙනුවෙන් ගත් තීරණයක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා මෙම තීරණය ගත්තේ ඊළඟ මැතිවරණය බලාගෙන නොවන බවත් එතුමා රටට ආදරය කරන නායකයෙක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කාබනික පොහොර වගාව සඳහා යොදා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මීට සම්බන්ධ නිලධාරීන් හා ගොවීන් දැනුවත් කරමින් අමාත්‍යවරයා ඒ බව අවධාරණය කළේය.

“අපේ රටේ පස කොච්චර නිසරු වෙලාද? එදා අපේ පස සරු කළේ පණුවා. අද සොයා ගන්නත් නැහැ. ඇළවේලිවල මාළු දකින්නත් නැහැ. පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලයේ මේ රට පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වුණා. ඒ කාලේ රසායනික පොහොර තිබුණේ නෑ. ඒ ආශ්චර්ය ඉටු කළේ හෙළ කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට අනුව. අපි පිටරටවලටත් හාල් යැව්වා. එහෙම කළේ රසායනික පොහොර තිබිලා නෙමේ” යනුවෙන්ද අමාත්‍යවරයා කීවේය.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති මෙම රැස්වීමට කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ප්‍රදීප් උඳුගොඩ, කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න හා අජිත් සුබසිංහ යන මහත්වරුද එක්ව සිටියහ.

 596 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply