දේශීය ක්‍රිකට් සමාජ ක්‍රීඩකයකුට තරගාවලියකදී මිලියන 2ක ආදායමක් ලැබෙන ක්‍රමයක් ගේනවා!

දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට නව පණක් දීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් වත්මන් ක්‍රිකට් පරිපාලනය නව ක්‍රිකට් තරග කමිටු සභාපති ලෙස සමන්ත දොඩන්වෙල මහතා පත් කර තිබේ. ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාගේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි මහතාගේ සහාය ඇතිව නව තරගාවලි ව්‍යූහයක් හඳුන්වා දීමට නව ක්‍රිකට් තරග කමිටුව සූදානමින් සිටින අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ගත යුතු වේ.

සැඟවුණු කුසලතා ඇති යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් ඉදිරියට ගැනීමට සමත් ක්‍රිකට් ව්‍යූහයක් ශ්‍රී ලංකාවේ සකස් විය යුතු බවට බොහෝ පාර්ශ්වයන් නිරන්තර අදහස් ඉදිරිපත් කරමින් සිටින කාලයක එය යථාර්ථයක් කිරීම නව ක්‍රිකට් කමිටුවේ වගකීම වේ. නව ක්‍රිකට් තරග කමිටු සභාපති ලෙස පත් වූ සමන්ත දොඩන්වෙල මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රායෝගීක අත්දැකීම් ඇති අයකු වන බැවින් මේ වගකීම ඉතා සාර්ථකව ඉටු කරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරති.

සමන්ත දොඩන්වෙල මහතා 1988 සිට 1990 කාලයේ මහනුවර ත්‍රිත්ව විදුහලේ උප නායකයා ලෙස කටයුතු කළ අතර, 1991 සිට 1997 කාලයේදී කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ පළමු පෙළ ක්‍රීඩා කළේය. මඳ වේග පන්දු යවන්නකු ලෙස දක්ෂතා දැක්වූ ඔහු ශ්‍රී ලංකා සංචිතයට එක්ව 1996දී සංචාරක ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා පාලක මණ්ඩල පිල නියෝජනය කළේය.

1999 සිට අද දක්වා එස්එස්සී ක්‍රිකට් කමිටුවේ ක්‍රියාකාරීව කටයුතු කරන ඔහු වසර 2010 සිට 2021 දක්වා එස්එස්සී ක්‍රිකට් කමිටු සභාපති ලෙස සිය මෙහෙවර ඉටු කළේය. අනතුරුව මේ වසරේ එම තනතුර මහේල ජයවර්ධන මහතා වෙත භාර දී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එක් විය.

ඒ මහතා එස්එස්සී ක්‍රිකට් කමිටු සභාපති ලෙස කටයුතු කළ 2012 හා 2013 තරග වාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ සියලු අංශයේ ක්‍රිකට් ශූරතා තුනම එස්එස්සී පිල දිනා ගැනීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ පළමු වතාවට අංශ තුනෙන්ම ක්‍රීඩා සමාජයක් ශූරතා දිනාගත් පළමු අවස්ථාව ලෙස එය වාර්තා පොතට එක්ව තිබේ.

සමන්ත දොඩන්වෙල මහතා පවසන්නේ ක්‍රිකට් තරග කමිටු සභාපති ලෙස ලැබුණු අභියෝග ජය ගැනීම තම එකම සැලසුම බවයි. දේශීය තරඟාවලි සම්බන්ධ විවිධ ගැටලු හොඳින් හඳුනාගෙන සිටින බැවින් එම ගැටලු විසඳා ගැනීමට සියලු පාර්ශ්වවල අදහස් විමසා ක්‍රමවත් සැලසුමක් සකස් කරන බව ඒ මහතා පැවසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා අප ගන්නා තීරණ සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වකරුවන්ගේ සහාය මට සහ මගේ කමිටුවට අවශ්‍යයි. අරවින්ද, මූඩි සහ ඔවුන්ගේ කමිටු විසින් සකස් කරන ලද ව්‍යූහයන් මා හා මගේ කණ්ඩායම ඉදිරිපත් කරන යෝජනාවලට තරමක් සමානයි. ඒ දෙකේ විශාල වෙනසක් මා දකින්නේ නෑ. කෙසේ වෙතත්, සමහර යෝජනා පිළිබඳ දීර්ඝව සාකච්ඡා කර හොඳම විසඳුමට යා යුතු වෙනවා. මේ හැම දෙයක්ම ක්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ගත යුතු වෙනවා” දොඩන්වෙල මහතා ප්‍රකාශ කළේය.

“එස්එස්සී ක්‍රිකට් කමිටු සභාපතිවරයා වශයෙන් මගේ කාර්ය වුණේ ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කටයුතු විධිමත්ව පවත්වාගෙන යෑමයි. ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග කමිටු සභාපති වශයෙන් මගේ උරහිස මත විශාල වගකීමක් පැවරී තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට්වලට ගැළපෙන ක්‍රීඩකයන් බිහි කිරීම සඳහා දේශීය තරග රටාව වැඩි වැඩිදියුණු කිරීම කළ යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සමස්ත සාමාජිකත්වය සඳහා මම වගකිව යුතුයි. අපගේ කෙටි කාලීන සැලසුම් වන්නේ නව තරගාවලි ව්‍යුහය සකස් කිරීමයි. ඉදිරි වසර කිහිපය තුළ පළමු පන්තියේ කණ්ඩායම් සංඛ්‍යාව උපරිම වශයෙන් 18 – 20 දක්වා අඩු කිරීමත්, පාසල් හැරගිය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සඳහා නව තරගාවලි හඳුන්වා දීමත් කළ යුතු වෙනවා”

“දැන් තියෙන ක්‍රීඩා සමාජ තරග රටාව ඒ ආකාරයෙන්ම යනවා. අපේ වගකීම තියෙන්නේ ක්‍රීඩා සමාජවල ක්‍රිකට් ක්‍රීඩකයන් රැක ගැනීමයි. සියලු පාර්ශ්ව එකතු වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමට යෝජනා ඉදිරිපත් කළ යුතුයි. අපි ක්‍රිකට් ගහන කාලේ ක්‍රීඩා සමාජ 14ක් 16ක් වගේ ප්‍රමාණයක් පළමු පෙළ ක්‍රීඩා කළේ. පළමු පෙළ ක්‍රීඩා තත්ත්වය ගන්න ක්‍රීඩා සමාජයකට විශාල පහසුකම් පෙන්විය යුතුයි. එවැනි පහසුකම් නැති අයට ශ්‍රී ලංකා ක්‍රිකට් උදව් කොට උඩට ගත යුතුයි”

“දේශීය ක්‍රීඩාවේ ගුණාත්මකභාවය උසස් කිරීම අපේ තවත් වගකීමක්. අපේ ක්‍රීඩා සමාජවලට විදෙස් ක්‍රිකට් පුහුණුකරුවන් අවශ්‍ය නෑ. ක්‍රීඩා සමාජවල හොඳ පුහුණුකරුවන් ඉන්නවා. ඔවුන් ක්‍රීඩා සමාජය සමග හොඳ බැදීමක් තියෙනවා. අපේ සංස්කෘතියට ගැළපෙන පුහුණුකරුවන්ගේ දැනුම යාවත්කාලීන කොට ඔවුන්ට හොඳ ගෙවීමක් කළ යුතු වෙනවා”

“ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයකුට අවම වශයෙන් රුපියල් මිලියන 2ක ආදායමක් එක් තරගාවලියකදී ලබාදෙන වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. ක්‍රීඩකයන්ට ඉදිරිය ගැන බලාපොරොත්තුවක් ඇති කිරීම වැදගත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජවලට දෙන මුදල් නිවැරදිව ක්‍රීඩකයන්ට ලැබෙන ක්‍රමවේදය වැදගත් වෙනවා. කොරෝනා හේතුවෙන් ක්‍රීඩාව කඩා වැටෙන්න දෙන්නේ නෑ. ජෛව බුබුළු ක්‍රමවේදය අනුව ඉදිරියේදී තරගාවලි සංවිධාන කිරීමට අපේක්ෂා කරනවා” ක්‍රිකට් තරග කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

 432 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply