අත්‍යවශ්‍ය ආනයන සිදුකිරීමට දැනට තිබෙන විදේශ සංචිත ප්‍රමාණවත්!

මෙරට විදෙස් සංචිත ප්‍රමාණයේ අඩුවක් තිබුණද ඉන් රටේ ආර්ථිකයට සිදුවන හානිය රජය විසින් පාලනය කර ඇති බවත් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය ආනයන සිදුකිරීමට දැනට තිබෙන විදෙස් සංචිත ප්‍රමාණවත් වන බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් චීනයෙන් සහ බංග්ලාදේශයෙන් මෙරටට ණය පහසුකම් ලැබීමට නියමිත නිසා විදෙස් සංචිත හිඟය ඉක්මනින් පියවා ගත හැකි බවද කබ්රාල් මහතා කීය.

ඩොලර් හිඟයක් රටේ නොමැති අතර ඩොලර් රටට ලැබෙන ප්‍රමාණයේ අඩුවීමක් වත්මන් කොවිඩ් තත්ත්වය නිසා ඇති වී තිබෙන බවද මෙරටට ගෙන්වන යම් යම් ආනයනයන් සීමා කර ඇත්තේ ඒ නිසා බවද ඉතා ඉක්මනින් මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩිකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද කබ්රාල් අමාත්‍යවරයා පැවැසීය.

මෙරට ආර්ථිකයේ පසුබැසීමක් සිදු වී ඇත්ද යන්න පිළිබඳව කළ විමසීමකදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ 2006දී මෙරට විදෙස් සංචිත ප්‍රමාණය බිලියන දෙකේ මට්ටමේ තිබුණු බවත් 2014 වන විට එම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 8 දක්වා ගෙන ඒමට මහින්ද රාජපක්‍ෂ රජයට හැකිවූ බවත්ය.

එම සංචිත ප්‍රමාණය 2020 වන විට වැඩි කිරීමට කටයුතු කිරීම වෙනුවට පැවැති යහපාලන ආණ්ඩුව සිදුකර ඇත්තේ ඩොලර් බිලියන 8, බිලියන 7ක් දක්වා අඩු කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

රට වර්තමානයේ බොහෝ ආර්ථික ප්‍රශ්නවලට ලක්ව ඇත්තේ පැවැති යහපාලන ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය නිසා බවද පැවැසූ රාජ්‍ය අමාත්‍යවරයා මෙරට ආර්ථිකයට කිසිදු බලපෑමක් ඇති නොවීමටද වගබලා ගන්නා ලෙස වත්මන් මුදල් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇති බව පැවැසීය.

දැනට ඇති ඉන්ධන සංචිත ප්‍රමාණවත්ද? ඉන්ධන ගෙන්වීම සඳහා මුදල් ප්‍රමාණවත් පරිදි තිබේද? යන්න පිළිබඳ අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවැසුවේ රටෙහි කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් ඉන්ධන ගෙන්වීම සඳහා ප්‍රමාණවත් පරිදි මුදල් මහා භාණ්ඩාගාරයේ ඇති බවත්ය.

 560 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply