අන්තර්ජාලය ඔස්සේ නොමිලේ අධ්‍යාපනය දීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්න !

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරත වන සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව ඊ-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් දීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊ-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කරගනිමින් වඩාත් සුදුසු ක්‍රමවේදයක් හඳුන්වාදීමට අරලියගහ මන්දිරයේ දී පසුගියදා (11) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

‘ජුලි මස 21 වැනි දින වන විට මුල් අදියර ලෙස පාසල් 200ක සිසුන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව මාර්ගගත (Online) පන්ති ඊ-තක්සලාව හරහා ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්න.

රජය විසින් දැනටමත් විධිමත්ව ස්ථාපිත කර ඇති ඊ-තක්සලාව අදාළ ගැටලුවලට පිළියමක් ලෙස යොදා ගත හැකියි. ඒ අනුව මේ පද්ධතිය ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) ප්‍රමාණවත් තාක්ෂණික යටිතල පහසුකම් පුළුල් කර දෙමින් දැනට වඩා විශාල සිසුන් පිරිසකට එකවර ඊට ප්‍රවේශ විය හැකි අවස්ථාව සලසන්න.

අධ්‍යාපනයටම වෙන් වූ රූපවාහිනී නාලිකාවක් සහ ගුවන්විදුලි සේවාවක් පවත්වාගෙන යෑමට ද මෙහිදී සාකච්ඡා කළා. එවැනි රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය දැනටමත් සංඛ්‍යාත ගෙන ඇති බව මෙහි දී හෙළි වුණා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය සහ ගුවන්විදුලි සංස්ථාව ආදී ආයතනවල දැනටමත් පවතින යටිතල පහසුකම් භාවිත කර අදාළ සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්න.

සන්නිවේදන කුලුනු අලුතින් ඉදිකිරීම ද ඇතුළු මෙවැනි දිගු කාලීන පියවරවලට අමතරව මේ වන විටත් මාර්ගගත අධ්‍යාපනයේ දී අන්තර්ජාල ආවරණ බාධා, ආර්ථික දුෂ්කරතා සහ අවශ්‍ය මෙවලම් නොමැතිව අසරණව සිටින දරුවන්ට කෙටි කාලීන විසඳුම් අවශ්‍යයි. ඒ අනුව ආර්ථීක දුෂ්කරතා මැද මාර්ගගත ඉගෙනීම් කටයුතුවල නිරත දරුවන්ගේ අධ්‍යාපනයට සුදුසු ජංගම දුරකතන මෙවලමක් දීමේ වැඩපිළිවෙළක් සකස් කරන්න.

අන්තර්ජාල ආවරණය පිළිබඳ දැනට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් ඊ – තක්සලාවෙන් ඉගැන්වීම තහවුරු කිරීමට ග්‍රාමීය වශයෙන් හඳුනාගත් මධ්‍යස්ථාන ඊ-තක්සලාව ඉගෙනුම් මධ්‍යස්ථාන ලෙස කුඩා සිසු කණ්ඩායම් සඳහා ඉගෙනුම් අවස්ථා සලසන මධ්‍යස්ථාන බවට පත් කරන්න. අදාළ කටයුත්තේ දී ඉගෙනුම් අවස්ථා දීමට අවශ්‍ය මධ්‍යස්ථාන හඳුනාගැනීමේ කාර්යය සහ පරිගණක උපාංග දීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ මත ක්‍රියාත්මක විය යුතුයි.’

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පිරිස්, අධ්‍යපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්, කාන්තා සහ ළමා සංවර්ධන, පෙරපාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහත්වරුන්, අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 694 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply