පළාත් අධ්‍යාපන සංවර්ධන අරමුදලක් පිහිටුවීම සඳහා යැයි කියමින් සිසුන්ට අලෙවි කීරීම සඳහා වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න පාසල්වලට බෙදාහරිනු ලැබූ රුපියල් කෝටි ගණනක් වටිනා අභ්‍යාස පොත් ලක්ෂ ගණනක් එම පළාතේ පාසල්වල විනාශ වෙමින් පවතී.

අරමුදල පිහිටුවීම සඳහා මෙම පොත් අලෙවියෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් අපේක්ෂා කළ නමුත් මුද්‍රණය කරන ලද පොත්වලින් සියයට දහයක හෝ ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකි වී තිබේ. මේ නිසා බෙදා හැරීම් මධ්‍යස්ථනා ලෙස යොදා ගත් පාසල්වල මෙන් ම අලෙවි කිරීම සඳහා පොත් භාර ගෙන සිටින පාසල්වල ද විශාල වශයෙන් පොත් ගොඩ ගසා තිබේ. ඇතැම් ස්ථානවල පොත් වේයන්ට ගොදුරුව ඇත. එසේ වුවද තමන්ට කළ හැකි දෙයක් නොමැති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුහල්පතිවරු පැවසූහ.

මෙම අභ්‍යාස පොත් මුද්‍රණය කිරීම සඳහා හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න පළාත් සභා අරමුදල් රුපියල් කෝටි ගණනක් වැය කර තිබෙන බව පැවසෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පේෂල ජයරත්නගෙන් පසු පත් වූ හිටපු ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට ඉකුත් ජනවාරි මාසයේ දී දැනුම්දී ඇත. එහෙත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව පැවසේ. ඇතැම් විදුහල්පතිවරු පොත් අලෙවියෙන් ලබා ගත් මුදල් අමාත්‍යාංශයට භාර දී ඇතත් එම මුදල්වලට කුමක් සිදුවූයේද යන්න පිළිබඳවද පරීක්ෂා කර නැත. මේ වන විට මුස්ම්මිල් මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර සිටින අතර වයඹ පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයා වන්නේ රාජා කොල්ලුරේය. නව ආණ්ඩුකාරවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුහලපති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු ‘අරුණ‘ට ඊයේ (06 වැනිදා) පැවසීය. එමෙන් ම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජාතික විගණන කාර්යාලයෙන් ද ලිඛිත ඉල්ලීමක් කරන බවත් ඒ මහතා කීවේය.

මෙම පොත් ලැබී නොමැත්තේ හලාවත අධ්‍යාපන කලාපයේ පාසල්වලට පමණි. සෙසු සියලුම කලාපවල පාසල් සඳහා පොත් ලබා දී තිබේ. හලාවත කලාපයට මෙම පොත් නොලැබීමට හේතු වූයේ විදුහල්පතිවරුන්ගෙන් එල්ල වූ විරෝධයය.

මෙම අභ්‍යාස පොත් ව්‍යාපෘතිය ආරම්භ කළේ පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසුවය. ඒ වන විටත් වසරේ අවශ්‍යතා සඳහා සිසුන් අභ්‍යාස පොත් මිල දී ගෙන සිටි හෙයින් ව්‍යාපෘතිය සාර්ථක නොවන බව සඳහන් කරමින් ඇතැම් විදුහල්පතිවරු විරෝධය පළ කළත් පේෂල ජයරත්න එම විරෝධයන් නොසලකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. කෙසේ වුවද එම පාඩුව කොපමණ ද යන්න මෙතෙක් විගණනය කර නැත.

මේ අතර ලබන වසර (2021) සඳහා අවශ්‍ය පෙළපොත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් බෙදා හැරී ම ආරම්භ කර ඇත. අභ්‍යාස පොත් ගබඩා කර ඇති හෙයින් පෙළපොත් ගබඩා කිරීම සඳහා ඉඩ පහසුකම් නොමැති වීමේ ගැටලුවකට මුහුණ දී සිටින බව කලාප අධ්‍යක්ෂවරු මෙන් ම විදුහල්පතිවරු ද පවසති.

නිලන්ත මදුරාවල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here