‘‘හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි, කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලි’’

‘ප්‍රෙඩි සිල්වා විසින් ‘දැන් මතකද?’ චිත්‍රපටයට ගායනා කරන ලද එම ගී ඛණ්ඩය මා හට සිහිපත් වූයේ හිස් ටින් දැක දැක හිස් අතින් බලා සිටිනවාට වඩා ඒ හිස් ටින් යොදාගෙන අතමිට සරුකරගත හැකි ක්‍රමයක් ගැන දැනගන්නට ලැබුණු බැවිනි.

මේ දිනවල වැඩිපුරම කතා බහ කරන්නේ කාලේ බෝතලයත් මේ කියන ආකාරයේ හිස් ටින් එකත් ගැන බැවින් ඒ පිළිබඳ කාර්යයකට අතගසා සිටින පිරිසක් පිළිබඳ සොයා යන්නට අවස්ථාව ලැබුණි. පී.ඒ.සෝමසිරි ඉන් එක් අයෙකි. කලින් කතිකා කරගත් පරිදි අපට ඔහු හමුවුණේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ආපනශාලාවක් තුළදීය. තේ කෝප්පයක් තොලගාමින්ම ඔහු කතාවට අවතීර්ණ විය.

‘මේ ගෝනි දේකේම තියෙන්නේ හිස් බියර් ටින්. පැයක් දෙකක් පාරේ ඇවිද්දොත් මේ තරමට හිස් බියර් ටින් හොයාගන්න එක මහලොකු දෙයක් නොවෙයි. පාර දෙපැත්තේ, ගස් යට, ​බෝක්කු යට කානුවල වගේම කඩමණ්​ඩියේ පාසල් පිට්ටනියේ දාලා ගිය හිස් ​බියර් කෑන් ඕනතරම් හොයාගන්න පුළුවන්. මිනිස්සු කරන්නේ ගත්තා, බිව්වා, විසිකරා. ඒවා තමයි අපි මේ විදිහට එකතු කරන්නේ.’’

මෙසේ එකතු කළ හැකි හිස් බියර් ටින් ගණන ගණනය කළහොත් එය ටොන් ගණනකි. අප එසේ කියන්නේ ඉකුත් 2019 වසරේ මත්පැන් වීදුරු බෝතල් අලෙවිය මිලියන තුන් සියයක් වූ බැවිනි. එම වසරේ අලෙවි වී ඇති බියර් කෑන් ගණන මිලියන එකසිය හැටකි. මෙහිදී බියර් කෑන් වැඩි හරියක් මෙන්ම මත්පැන් බෝතලද නැවත භාවිතයකින් හෝ ප්‍රතිචක්‍රීකරණයකින් තොරව පරිසරයට මුදාහැර තිබීම පාරිසරික වශයෙන් මෙන්ම සෞඛ්‍ය අතින්ද ගැටලු ඇතිකරන්නක් බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ කලක පටන්ය.

‘දවසකට මේ වගේ හිස් බියර් ටින් ගෝනි තුනක් හතරක් වුණත් හොයා ගන්න පුළුවන්. අපි කරන්නේ මේ ටින් එකතු කරන මධ්‍යස්ථානයකට මේවා ලබාදෙන එකයි. කිලෝ ගාණට අපි මේවා විකුණන්නේ. මෙයින් අපේ අතට ගාණක් එනවා වගේම ඔවුන් මෙම හිස් ටින් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත යොමු කරනවා.’
සිරිසෝම කීවේය. සිරිසෝම මෙන් තවත් බොහෝ දෙනෙකු දැන් මෙම කාර්යට අතගසා තිබේ. කාලයකට කලින්ද බියර් ටින් ප්‍රතිචක්‍රීකරණය ගැන කතා වුවත්, ඒවා සාර්ථකව ක්‍රියාවට නැන්වුණේ නැත.

මධ්‍යම පරිසර අධිකාරිය‘Melting Point’ නම් ඇලුමිනියම් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන හඳුන්වාදීමට කටයුතු කළේ මේ අතරය. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන ආකාරයට ඇලුමිනියම් කෑන් වර්ග පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. ඒවා ප්‍රතිචක්‍රීකරණය කර ලබාගන්නා ඇලුමිනියම් මගින් එදිනෙදා අවශ්‍යතා සඳහා භාවිත කරන උපකරණ නිර්මාණය කළ හැකිය. එසේ නිර්මාණය කරන භාණ්ඩ සංචාරක ආකර්ෂණය දිනාගත හැකි පරිදි නිර්මාණය කරන්නට හැකිවීම බොහෝ දෙනෙකුගේ අතමිට සරුකරන කාර්යයක්ද වන්නේය. දැනටමත් 85%ක පමණ බියර් කෑන් ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණයට ලක්කෙරෙන බව සඳහන් වුවත් එය සියයට සියයක් වර්ධනය කිරීම මෙම ක්‍රියාවලිය හරහා අපේක්ෂිතය.

වි​ශේෂයෙන්ම මෙම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය හරහා නිර්මාණය කළ හැකි භාණ්ඩ නිෂ්පාදනයට දැනටමත් පිරිසක් යොමුව ඇත. ඒ අතර එක්දහස් තුන්සියයක පමණ පිරිසක් හිදී. ඔවුන්ගේ වැඩිදෙනෙකු ඇලුමිනියම් ආශ්‍රිත කර්මාන්තයේ කලක සිට නියැළෙන්නන්ය. ඔවුන් කරන්නේ ඇලුමිනියම් උණුකර, ඉන් කුට්ටි සාදා ගේට්ටු සෑදීම වැනි කාර්ය වුවත්, දැන් බියර් කෑන් උණුකර මේ අලුත් කාර්යය කරගෙනයාමට ඔවුන් කැමතිය. එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියද එම පිරිසට මග පෙන්වීම සිදුකරයි. ඒ පිළිබඳව පිළිමතලාවේ කේ. රත්නායක දැක්වූයේ මෙවන් අදහසකි.

‘‘ඇලුමිනියම් කුට්ටි නිපදවනවට වඩා ඇලුමිනියම් දියරයෙන් විසිතුරු භාණ්ඩ නිර්මාණය කරන එක හිතන තරම් පහසු දෙයක් නොවෙයි. ඒ සඳහා බියර් කෑන් අධික උෂ්ණත්වයෙන් උණුකරගන්න ඕන. ඒ විදහට උණුකර ගන්න ඇලුමිනියම් දියරය කලින් සූදානම් කරගත් ලී අච්චුවට දාලා පැය කිහිපයක් තියන්න ඕන. ඉන් පස්සේ හිමින් සීරුවේ එය අච්චුවෙන් ගලවාගෙන ලී කැටයම් කරන අයුරින් එහි සියුම් කඩතොලු ඉවත් කර මුවහත් කිරීම කළ යුතුයි.’’

ඔහු කියන පරිදි මෙම නිර්මාණයන් වර්ණ ගන්වා වෙළෙඳපොළට නිකුත් කිරීම දක්වා ඇති කාර්යය ලෙහෙසි පහසු වූවක් නොවේ. එහිදී මෙම නිර්මාණයක අගයද ටිකක් වැඩිය. විශේෂයෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත හැකි පරිදි කරන ලද මෙම නිර්මාණ දැනටමත් කොළඹ සුපිරි වෙළෙඳසල් කිහිපයක අලෙවියට තබා තිබේ.

වෙස් මුහුණු කුඩා ප්‍රමාණයේ විවිධ භාජන මෙන්ම විසිතුරුවට තැබිය හැකි කඩු කිණිසි මෙන්ම පිඟන් කෝප්ප ආදි වූ විවිධ බඳුන් මෙම නිර්මාණ අතරට ඇතුළත්ය.

මේ කාර්යය පිළිබඳව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ කීවේ මෙවැන්නෙකි.

‘‘හිස් බියර් කෑන් ගැටලුව විසඳන්න මේ කියන නිෂ්පාදන කාර්ය දිරිමත් කළ යුතුයි. ඒ වගේම බියර් ටින් උණුකරලා කරන විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයෙන් විදේශ විනිමය උපයා ගැනීමට හැකියාවක් තියෙනවා. මේ දිනවල කොරෝනා උවදුර නිසා සංචාරක කර්මාන්තය අඩාළව තිබුණත්, ඉදිරියේදී මෙම භාණ්ඩ සංචාරක ආකර්ෂණය දිනාගන්නා ඒවා බවට පත්කළ හැකියි.’’

මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහගෙන් අප විමසීමක් කළෙමු. එහිදී, ඔහු කීවේ මෙම වැඩපිළිවෙළ තවමත් ප්‍රාථමික මට්ටමේ තිබෙන බවයි.

“මේ වැඩපිළිවෙළ තාම පටන් ගත්තා විතරයි. අපි තවමත් නිර්මාණය කරන්නේ පාරිභෝගිකයන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ සහ තෑගි භාණ්ඩ කිහිපයක් පමණයි. මධ්‍යම පරිසර අධිකාරිය යටතේ පිළිමතලාව ප්‍රදේශයේ කණ්ඩායම් හතරක් විතර දැනට ‌​ෙමහි ලියාපදිංචි වෙලා තියනවා. ලක්සල, ඔඩෙල් වැනි ප්‍රදර්ශනාගාර කිහිපයක ඉතාමත් සුළු මට්ටමකින් මෙය දැනට මේවා අලෙවි කරමින් පවතිනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ වැඩපිළිවෙළ ජාතික මට්ටමින් ඉදිරියට ගෙන යාමටයි.”

එපමණක් නොව, මෙම ඇලුමිනියම් ප්‍රතිචක්‍රිකරන වැඩසටහනට සම්බන්ධ වීමට කැමැති ව්‍යාපාරික ප්‍රජාව සිටින්නේ නම් ඔවුන්ට අවශ්‍ය උපදෙස් සහ වෙ​ෙළඳපොළ සොයා දීමටත් මධ්‍යම පරිසර අධිකාරිය සූදානමින් සිටින බව සභාපතිවරයා කීවේය. ගුවන් තොටුපළ පරිශ්‍රයට සහ සංචාරක ක්ෂේත්‍රයට මෙම අලුත් නිර්මාණය හඳුන්වා දීමටත් කටයුතු සූදානම් කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම කර්මාන්තකරුවන් මෙහිදී මුහුණ දෙන ගැටලුද නැතුවා නොවේ. තවමත් ඔවුන් සතුව ඇත්තේ පාරම්පරික ශිල්ප ක්‍රමය.‘‘මේ වගේ නිර්මාණ කිරීමේදී අවශ්‍ය තාක්ෂණය නැතිකම අපට ලොකු අඩුවක්. ලංකාවේ බියර් කෑන් තිබුණත් අපට අවශ්‍ය සැපයුම ලබාගැනීම අසීරුයි. ඒ වගේ ගැටලුවලට විසඳුම් ලැබෙනවනම් මේ ආශ්‍රිත නිෂ්පාදන කටයුත්ත සාර්ථකව කරගෙන යාමට බාධාවක් නෑ.

එසේ කීවේ මෙම කර්මාන්තයේ නියැළෙන තවත් අයෙකි.

කෙසේ නමුත් හිස් බියර් ටින් එකතු කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේදී වඩාත් විධිමත් කරමින් ඒවා ප්‍රතිචක්‍රීකරණයට අවශ්‍ය යන්ත්‍ර සහ බහාලුම් සුරාසල් වෙත ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට නියමිතය. ඇතැම් සුරාසල් ආශ්‍රිතව දැනටමත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව දැනගන්නට ලැබුණි.

මෙම ක්‍රියාවලිය සාර්ථක කරගතහොත් එය විදේශ විනිමය උපයාගත හැකි කර්මාන්තයක් වනවා මෙන්ම ​දේශීය නිෂ්පාදකයන් අතළොස්සක් හෝ දිරිගන්වන කාර්යයක් වනු ඇති බවට සැක නැත.

හර්ෂණි දිසානායක / www.aruna.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here