රටේ කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වතු සමාගම් 22 කට දෙනුන් 22,000ක් පිටරටින් ආනයනය කරන බවට නව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් තීන්දුවක් ගෙන ඇති බව වාර්තා විය.  ඊට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ඒ වන විට ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ කිරි දෙනුන් තොගයෙන් තවත් 2500 ක් ආනයනය කිරීමට තීන්දුවක් ගනු ලැබූ බව ප්‍රකාශයට පත් විය. නමුත් එම දෙනුන් ආනයනය කරනු ලබන්නේ මීට පෙර සිදු කළ ආකාරයට  කිරි නිෂ්පාදනය සඳහා නොව අභිජනන ව්‍යාපෘතියක් සඳහා බව ප්‍රකාශයට පත් විය.  මෙම කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014 දී වන අතර 2019 වන විට දෙනුන් 20,000 ක් ආනයනය කිරීමට නියමිත විය. ඔස්ට්‍රේලියානු අපනයන මූල්‍ය වැඩසටහන යටතේ ඩොලර් මිලියන 100 ක ණය මුදලක් යොදා ගනිමින් මෙම කිරි දෙනුන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය දියත් විය. කෙසේ වෙතත් 2019 වන විට ආනයනය කරනු ලැබුවේ දෙනුන් 5000 ක් පමණි. එම දෙනුන් අතුරින් 500ක් එනම් 10% විවිධ ලෙඩ රෝග නිසා මරණයට පත් වූ බව වාර්තා විය. 2015 සිට එම දෙනුන් සෘජුව ගොවීන්ට ලබාදීමට පටන් ගැනීමෙන් පසුව විවිධ පාර්ශව විසින් එම ව්‍යාපෘතියට එරෙහිව බරපතල විවේචන එල්ල කරන ලදී.

ශ්‍රී ලංකාවේ විඝණකාධිපතිතුමා විසින් 2018 දී නිකුත් කළ වාර්තාව මඟින් අදාළ ව්‍යාපෘතිය බරපතල විවේචනයට ලක්වුණු අතර ඔස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය වලින් ද ඊට අදාළ කරුණු ප්‍රසිද්ධියට පත් විය. එසේම ශ්‍රී ලංකාවේ රජය සහ කිරි දෙනුන් අපනයනය කළ ” වේලාර්ඩ් ” නම් සමාගම අතර අත්සන්කළ ගිවිසුම විධමත්ව අත්සන්කොට නැති බවට සහ එම ගිවිසුමේ පිටපතක් සොයා ගැනීමටවත් නොමැති බවට බරපතල දූෂණ වංචා විමර්ශණ කොමිසමේදී එළිදරව් විය. ඒ අතර අදාළ සමාගම විසින් ඩොලර් 3,698 කට ලබාදුන් එළදෙනෙක් ශ්‍රි ලංකාව දක්වා ආනයනය කිරීම සඳහා සැබවින්ම වැයවන්නේ ඩොලර් 2650 ක් පමණ බවට ඔස්ට්‍රේලියාවේ පවා වාර්තා පළ විය. එම සමාගම ගිවිසුමේ කොන්දේසි කඩකළ බවට සහ දෙනුන් පිළිබඳ නිසි තොරතුරු ලබානොදුන් බවටද චෝදනා එල්ල විය.

බැංකු වලට ණය වෙමින් රු. ලක්ෂ 02 ක් වැනි ඉහළ මිලක් ගෙවා එළදෙනුන් ලබා ගත්  ගොවින්ට මුහුණදීමට සිදු වූ ඛේදවාචකය ඔස්ට්‍රේලියානු මාධ්‍ය වල පළවූයේ ” ඔස්ට්‍රේලියානු දෙනුන් මිලදි ගත් ශ්‍රී ලංකාවේ ගොවින්ට සියදිවි නසා ගැනීමට සිදුවේ. සතුන් මිය යයි, ලෙඩ වෙයි, කිරි ලීටර් 20 වෙනුවට 10 යි ” ආදී වශයෙනි. නමුත් ආනයනය කළ කිරි දෙනුන් අතුරින් 10% මිය යාම පමණක් නොව පැටව් පිළිසිඳ නොගැනීමේ ප්‍රශ්ණය, පැටව් ගබ්සාවීම, ගැබ තුළදී මිය යාම, හඳුනාගත් රෝග සහ හඳුනා නොගත් රෝග නිසා අධික වියදම් සහිත ඖෂධ ලබා දීමට සිදුවීම සහ කිරි ලීටර් 20 ක් ලබාගත හැකි යැයි විකුණූ දෙනුන්ගෙන් ලීටර් 10 පමණක් ලබා ගැනීමට සිදුවීම ආදී වශයෙන් වූ බරපතල චෝදනා හා ගැටළු පිළිබඳ විධිමත් අධ්‍යනයක් අදාළ වගකිවයුත්තන් විසින් මේ වන තෙක් සිදුකොට නැත. මීට පෙර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට එවැනි අධ්‍යනයක වාර්තාවක් හෝ නිර්දේශ අමුණා නොතිබූ බව දැනගන්නට ඇත. එම ණය මුදලට අදාළව මේ දක්වා දෙනුන් ආනයනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විස්තරයක්ද ඉදිරිපත් කොට නොතිබූ බව වාර්තා වේ. දැන් නව තීන්දුව ගනු ලබන්නේ ඒ සියලු අධ්‍යයනයන් සිදු කිරීමෙන් පසුවද යන කරුණ පැහැදිලි නැත. ඒ අනුව සිදුවූ වරද පිළිබඳව සමාලෝචනයකින් තොරව ණයට ලැබුණු පමණින් තවදුරටත් එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සුදුසුද යන ප්‍රශ්ණය මතුවේ.

මීට පෙර අබිජනනය සඳහා යැයි සතුන් 2500ක් ආනයනය කිරීමට තීරනය කළ අවස්ථාවේදී මෙම ලියුම්කරු ඔස්ට්‍රේලියාවේ වෙසෙන විද්වතකුගෙන් මේ ගැටළුව පිළිබඳව විමසීමේදී ඔහු විසින් අසන ලද පළමු ප්‍රශ්ණය වූයේ සිනහ විය යුත්තේ කොතැනින් ද යන්නයි. කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා හෙවත් කිරි දොවා ගැනීම සඳහා එසේ ගවයින් ආනයනය කරන රටක් නම් කරන ලෙසද ඔහු විසින් ඉල්ලා සිටින ලදී. විශේෂයෙන්ම දේශගුණික වශයෙන් බරපතල වෙනස්කම් සහිත රටකට ඉතා ඉහළ මිලකට සහ ප්‍රවාහනයේදී සතුන් දීර්ඝ කාලයක් ආතතියට පත් කරන ආකාරයට දෙනුන් ආනයනය කොට කිරි නිෂ්පාදනය වැඩි කළ හැකි යැයි උපදෙස් දුන් පුද්ගලයා කවුදැයි සොයාගන්නා ලෙසද ඔහු විසින් උපහාසාත්මකව ඉල්ලා සිටින ලදී. කෙසේ වෙතත් සිදුවූ වැරදි නිවැරදි කොට අභිජනනය සඳහා පමණක් කිරි ගවයින් ආනයනය කිරීම යහපත් ප්‍රවේශයක් ලෙස ඔහු විසින් අර්ථ දැක්වීය.

එහෙත් ජාතික මට්ටමින් එවැනි අභිජනන ව්‍යාපෘතියක් අප රටේ ක්‍රියාත්මක වන්නේ නැත. නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගත් බවක් වාර්තා වූයේ නැත. ඇත්ත වශයෙන්ම 70 දශකයේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පිහිටවනු ලැබුවේ එම කාර්ය්‍ය සඳහාය. ඒ බව අදාළ පනතේ ද පැහැදිළිව සඳහන් වේ. ආදායම් ලබා ගත හැකි ඉතා වටිනා පොල් ඉඩම් අක්කර 30,000 කට වැඩි ප්‍රමාණයක් එම ආයතනයට ලබාදෙන්නේ එම ආදායම් යොදවා ජාතික කිරිගව අභිජනන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට ගොවීන්ට අඩු මිලට වසු පැටව් ලබා දීම සඳහාය. එහෙත් එම ආයතනය විසින් තමා සතු ඉඩම් පුද්ගලිකව ආයතනවලට විකුණා දැමීමට අමතරව පොල් ටික කඩාගෙන කන අතර පාරේ යන මිනිසුන්ට ” කිරි තේ ” විකුණන ව්‍යාපෘති වලට ප්‍රමුඛතාවය දුන් බව රහසක් නොවේ. මස් පිණිස ගවයින් වෙළඳපළට ලබාදීම යනු කිරි නිෂ්පාදන සහ අභිජනන ව්‍යාපෘතියක අතුරු ඵලයකි. එහෙත් එම ආයතනය තම මූලික වගකීම පසෙක තිබියදී මසට බ්‍රෙයිලර් කුකුලන් ඇති කිරීම වැනි ‘සිල්ලර වැඩ’ වලටද යොමුවෙමින් කිරිගව අභිජනන වගකීම අත්හරිනු ලැබීය.

ඒ ආකාරයට අත්හරින ලද වගකීමක් නැවත එම ආයතනයට නිසි ලෙස පැවරීමෙන් තෙරව සහ ඊට අදාළ ක්‍රමවේද සහ ආයතන සංස්කෘතිය ගොඩනැගීමෙන් තොරව එක් වරම දෙනුන් 2500 ක් ආනයනය කොට එම ආයතනයට පැවරීම ප්‍රඥාගෝචරද යන ප්‍රශ්ණය බොහෝ ජ්‍යේෂ්ඨ පශුවෛද්‍යවරුන් විසින් ද මතුකොට ඇත. විශේෂයෙන්ම විද්වතුන් අතර සංවාදයට ලක්වූ සහ පාර්ලිමේන්තුව විසින් අනුමත කළ අභිජනන ප්‍රතිපත්තියක් නොමැති තත්වයක් යටතේ එම තීන්දුව මඟින් වරදක් නිවැරදි කිරීම වෙනුවට නව වරදක් සිදුවන බවට ද තර්ක කළ හැක. අනුර කුමාර දිසානයක මහතා කෘෂිකර්ම සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ එවැනි ප්‍රතිපත්තියක් සකස් කරන්නට යෙදුණු බව රහසක් නොවේ. එම ප්‍රතිපත්තියට අනුව අභිජනනය සඳහා වන න්‍යෂ්ඨික රංචුව සඳහා විනා වෙනත් කටයුත්තකට සතුන් ආනයනය කළ නොහැකි බවද සඳහන් විය. නමුත් එම ප්‍රතිපත්තිය පුළුල් සංවාදයකට ලක් කොට පාර්ලිමේන්තුව මඟින් සම්මත කළා නම් ඔස්ට්‍රේලියාවේදී මසට ගන්නා සතුන් ලංකාවේදී කිරි දෙවීම සඳහා ආනයනය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. එසේ වූවානම් දැන් නැවත වටයකින් දෙනුන් 22,000ක් කිරි නිශ්පාදනය සඳහා ආනයනය කිරීමේ තීන්දුව සාධාරණීයකරනය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.

කෙසේ වෙතත් අභිජනන ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ අප රටට සුදුසු කිරි ගවයාගේ ජාන සංයුතිය කුමක් විය යුතු දැයි එකඟතාවයක් අවශ්‍ය වන බැවිනි. අප රටේ දේශගුණයට සුුදුසු සහ සාන්ද්‍ර ආහාර අවම වශයෙන් යොදා ගනිමින් ප්‍රශස්ථ කිරි අස්වැන්නක් ලබාගත හැකි දෙනුන් විශේෂය කුමක්දැයි පශු වෛද්‍ය විද්‍යාඥයින් විසින් තීරණය කළ යුතුය. විශේෂයෙන්ම යුරෝපීය සම්භවය සහිත ජාන ඇති සතුන් විසින් නිපදවන කිරිවල අඩංගු ” A1 ” කාණ්ඩයේ ප්‍රෝටීන මඟින් යම් සෞඛ්‍ය ගැටළු ඇතිකරන බැවින් ” A2 ” ප්‍රෝටීන නිපදවන ජාන සහිත සතුන් අභිජනනය කළ යුතු බවට ප්‍රභල විද්වත් මතයක් පවතින තත්වයක් යටතේ දෙනුන් ආනයනය කිරීමට පෙර ප්‍රතිපත්තියක් අවශ්‍ය බව පැහැදිළි වේ. මේ වන විට යුරෝපයේ පවා කිරි අලෙවිකරණයේදී ” A2 ” ප්‍රෝටීනය මුල්කර ගෙන කිරි නිෂ්පාදන උපායමාර්ග තෝරන තත්වයක් යටතේ ශ්‍රී ලංකාව ඊට සංවේදී වීම ඉතා වැදගත් වේ.

අප රටේ කිරි ආර්ථිකය දියුණු කිරීමට අදාළ උපාය මාර්ගික තීන්දු තීරණ ගැනීමේදී විවිධ පටලවා ගැනීම් සිදු කෙරෙන බව පසුගිය වසර 20 කට අධික කාලය තුල විවිධ ආණ්ඩු විසින් ගනු ලැබූ තීරණ විශ්ලේෂණය කිරීමේදී පෙනී යයි. කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කිරි ලීටර් 20 – 30 ක් දොවා ගත හැකි කිරි දෙනුන් පිට රටින් ආනයනය කළ යුතු බවට වැරදි තීන්දු ගැනීමට පෙර ” කිරි ඉතුරුම් මංගල්ලය ” නමින් උපාය මාර්ගික යෝජනා මාලාවක් රජයට ඉදිරිපත් කිරීමට මුල්වූයේ රටට කිරිපිටි ආනයනය කරන විදේශීය කිරිපිටි සමාගමක් විසිනි. පිටිකිරි වෙනුවට දියර කිරි ප්‍රචලිත කිරීම සඳහා එම සමාගම විසින් ලබාදුන් උපදෙස් අනුව දියත් වූ ප්‍රචාරක ව්‍යාපෘති සඳහා පිරිවැය දරණු ලැබුවේද එම සමාගම විසිනි. ඔවුන්ගේ උපදෙස් අකුරටම පිළිපැදීමෙන් අනතුරුවද රටට ආනයනය කරන කිරිපිටි ප්‍රමාණය අඩු නොවන බව එම සමාගම ඉතා හොඳින් දන්නා බව ආනයන දත්ත විමසීමේදී පෙනී යයි. දැන් නැවත වටයකින් කිරි පිටි ආනයන කරුවන්ගේ පදයට නටමින් දේශීය  කිරි ආර්ථිකය දියුණු කිරීමට වැඩසටහන් සකස් කරන බවක් කියවේ. ඒ් තුල පිටරටින් හරක් ආනයනය කිරීම සාධාරණියකරනය කිරීමට අමතරව මහාපරිමාණ කිරි ගොවිලවල් ආරම්භ කිරීමේ නාමයෙන් තවත් භයානක දෙයක්ද සිදු විය හැක. ඒනම් මේ දින වල පරිසර වේදීන් අතර කතා බහට ලක්ව ඇති 5/2001 චක්‍රලේකය අහෝසි කරමින් අවශේෂ වනාන්තර ලෙසට නම්කර ඇති අක්කර ලක්ෂ 7ක් රජයට නාමිකව අයත් වන වතු සමාගම් වලට සහ වෙනත් පුද්ගලික සමාගම් වලට පැවරීමේ අනතුරක්ද මතුවේ.ඊට අමතරව මහා පරිමාණ ගොවිපල සඳහා විශේෂයෙන්ම ආනයනය කරනු ලබන සතුන් සඳහා අවශ්‍ය සාන්ද්‍ර ආහාර සඳහා බඩඉරිඟු වගා කිරීමට සෙසු ගොවිබිම් යොදා ගැනීමේ ඉඩ කඩද වැඩි වේ.

ඒ ආකාරයට ආණ්ඩුව විසින් වවිධ වකවානු වලදී කිරි ආර්ථිකය දියුණු කිරීම සඳහා යැයි ගනු ලැබූ විවිධ පියවර වලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ බව සත්‍යයකි. එසේ සංයුක්ත උපාය මාර්ගික සැලසුමකින් තොරව කිරි ගොවියාට වැඩි මිලක් ගෙවීම සඳහා රජය විසින් ගනු ලැබූ තින්දුව ක්‍රියාත්මක කිරීම නිසා රජයේ මිල්කෝ ආයතනයට රුපියල් මිලියන 5000 ක් පාඩු වූ බැවින් අඩුතරමින් රු. මිලියන 1500 ක් හෝ එම ආයතනයට ගෙවන ලෙස ඉල්ලා සිටීම තුළින් පවා පැහැදිළි වන්නේ රජය විසින් ගනු ලැබූ තීන්දු වාණිජ වශයෙන් ප්‍රතිඵලදායක නොවූ බව නොවේද? එසේ එම රාජ්‍ය ආයතනයට පාඩු වූ බව කියන මුදලින් රටට අවශ්‍ය බවට ගණන් බලා ඇති කිරි පිටි කර්මාන්තශාලා 05 අතුරින් මෙතෙක් ඉදි කොට නැති ඉතිරි කර්මාන්තශාලා 03 ම ඉදිකළ හැකි වීම තුලින් පෙන්වන සත්‍යය දැන්වත් තේරුම් ගත යුතු නැත්ද? අඩු තරමින් ලෝකයේ විශාලතම කිරි නිෂ්පාදකයා බවට පත් වී ඇති ඉන්දියාවෙන්වත් ඉගෙන ගැනීමට නිහතමානි කමක් ඇති කර ගත යුතු නැද්ද? ඉන්දියාව එසේ ලෝකයේ ප්‍රමුඛයා බවට පත් වී ඇත්තේ කිරි ලීටර් 4 ක් දොවා ගත හැකි දෙනුන්ගෙන් මිස ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කළ කිරි ලීටර් 20 ක් දොවා ගත හැකි යැයි කියන දෙනුන්ගෙන් නෙවේ. ඉන්දියාවේ ග්‍රාමීය ජනතාවගෙන් 70% භෝග වගාව සමඟ කිරි ගොවිතැන ඒකාබද්ධ කොට ගන ඇති අතර එක් පවුලක් විසින් රැකබලාගනු ලබන්නේ කිරි දෙනුන් දෙතුන් දෙනෙකි. ඉන්දියාවේ සාර්ථකත්වයේ මූලික රහස ඔවුන් විසින් පූර්ව කොන්දේසියක් ලෙස ආනයනික කිරි පිටි සඳහා ඉතා ඉහළ බදු පනවා ඒවා ආනයනය අධෛර්යමත් කිරීමය.

ඒ අනුව ඉන්දියාවේ දේශපාඥයින් විසින් පිළිගන්නා එහෙත් ලංකාවේ අය තවමත් හැරී නොබලන අටවැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශයක් මෙසේ ඉදිරිපත් කළ හැක. ඒවා කිරි ආර්ථිකයේ සැපයුම් සහ ඉල්ලුම යන පැතිකඩ දෙකට අනුව විශේෂිතව ඉදිරිපත් කළ හැක. ඒ අනුව ඉල්ලුම පැත්තේ පළමු වැන්න වෙළඳපළ මිල විකෘතිය වැළැක්වීම සඳහා කිරිපිටි වලට දේශීය නිෂ්පාදන වියදම මත පදනම්ව මිල සූත්‍රයක් හඳුන්වා දීමය, දෙවැන්න දේශීය කිරි පිටි මිලට වඩා ආනයනික කිරිපිටි මිල 10% කින් ඉහළ මට්ටමක පවතින ලෙස එම මිල සූත්‍රය යටතේ ආනයනික කිරිපිටි වලට විශේෂ පරිභෝජන බද්දක් පැනවීමය. තෙවැන්න ෆාම් තෙල් මිශ්‍ර කිරිපිටි ආනයනය හෙවත් කිරි මේදය ඉවත් කොට ගෙන ෆාම්තෙල් එකතු කිරීම මඟින් මිල අඩුකොට විකුණන කිරිපිටි ආනයනය තහනම් කිරීමය. එය මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අනුවද වැදගත් වේ. හතර වැන්න නීතිවිරෝධි සහ ආචාර ධර්ම විරෝධී වෙළඳ දැන්වීම මඟින් කිරිපිටි අයුතු ලෙස ප්‍රචලිත කිරීම වැළැක්වීමය. මේ වන සෞඛ්‍ය බලධාරීන් නිදා සිටියදී ප්‍රදර්ශණය කෙරෙන දැන්වීම් සියල්ල ආහාර පනත උල්ලංඝනය කරන බව රහසක් නොවේ.

මෙම ක්‍රියාමාර්ග සඳහා මහජන කැමැත්ත ලබාගැනීම සඳහා පුළුල් මහජන සංවාදයක් දිරිමත් කිරීමද වැදගත් වේ. විශේෂයෙන්ම ආනයනික බාල කිරි පිටි අඩු මිලට පරිභෝජනය කිරීම ජනතා කැමැත්තනම් කිසි දිනෙක කිරි ගොවියාට සාධාරණ මිලක් ගෙවීමට හෝ රට කිරි වලින් ස්වයංපෝශිත කොට අවසානයේදී සැබෑ ලෙසම මිල අඩු කිරීමට හැකියාවක් නොලැබෙන බව ආණ්ඩුව විසින් ජනතාවට පැහැදිළි කළ යුුතුය.

කිරි ආර්ථිකයට අදාළව සැපයුම් පැත්තෙන් ඉටුකළ යුතු උපාය මාර්ගික අවශ්‍යතාවය මෙසේය. පළමුවැන්න කිරි ලීටරයක් සඳහා අවම වශයෙන් රු. 65 ක සහතික මිලක් නියම කිරීමය. දෙවැන්න කිරි ගොවි සමූපකාර ජාලයක් පිහිටුවීම මඟින් ඔවුන්ට පුහුණුව සහ අනෙකුත් දිරි ගැන්වීම් ලබා දීමය. සහන පොලී ණය ක්‍රමයක් ආරම්භ කිරීම මඟින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ගොවියා ගසාකැම වැළැක්වීමද ඊට අයත් වේ. තුන්වැන්න පශ්‍ර වෛද්‍ය සේවය සහ සත්ව නිෂ්පාදන ව්‍යාප්ති අංශ විසින් සිදුකරන රාජ්‍ය මැදිහත්වීම වඩා කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වාදිමය. පශු ව්‍යාප්තිසේවය පුළුල් කිරීම සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා ජාතික අභිජනන ව්‍යාපෘතියක් ආරම්භ කොට සහන මිලට මහජනයාට වසු පැටව් ලබා දීමද ඊට අයත් වේ. පලදායී කිරිදෙනුන් මසට විකිණීම වැලැක්වීම සඳහා ජාතික මට්ටමින් සැල්වේජ් මුදා ගැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමද ඊට අයත් වේ.  ඒහිදී රාජ්‍ය ආයතන වලට සහ යුද හමුදාවට අයත් සියලුම ගොවිපලවල බෝග වගාව සහ කිරි ගොවිතැන ඒ්කාබද්ධ කිරීමද අත්‍යවශ්‍ය වේ.  හතර වැන්න රාජ්‍ය සහ පුද්ගලික මැදිහත් වීම යටතේ රට පුරා කිරි පිටි කර්මාන්තශාලා 05 ක් ස්ථාපිත කිරීමය.

දැනට පවතින පෞද්ගලික කිරි සමාගම සහ රජයේ මිල්කෝ සමාගම විසින් පවත්වාගෙන යන කර්මාන්තශාලා දෙකට අමතරව කිලනොච්චිය, කුරුණෑගල සහ කන්තලේ වැනි ප්‍රදේශ 03 ක කර්මාන්තශාලා අවශ්‍ය බව විවිධ අධ්‍යන වලින් පැහැදිළි වේ. එවැනි එක් කර්මාන්තශාලාවක් සඳහා වැය වන්නේ රු. මිලියන 1500 ක් වැනි මුදලකි. ඉහත සඳහන් කළ ආකාරයට වෙළඳපළ මිල විකෘතීන් නිවැරදි නොකර ගොවියා රු. 60 සහතික මිලක් ගෙවීමට මිල්කෝ සමාගම යොදා ගැනීම නිසා අලාභ වූ බව කියන මුදල්වලින් එම කර්මාන්තශාලා ත්‍රිත්වයම ආරම්භ කළ හැකිව තිබුණි. ආනයනික කිරි පිටි සඳහා පනවනු ලබන බදු මුදල් සුවිශේෂි අරමුදලකට යොමු කළහොත් ඒ සියල්ල එක් වසරකදී අවසන් කළ හැක. පසුගිය රජය විසින් ඉවත් කළ බදු නැවත පැනවුවහොත් ලැබෙන රුපියල් මිලියන 10,000ක බදු ආදායම මඟින් ඒ සදහා පමණක් නොව කිරිගව අභිජනන ව්‍යාපෘතියට සහ ගොවියාට සහන පොලියට ණය ලබාදීමේ ව්‍යාපෘති වලටද අවශ්‍ය මුදල් සපයාගත හැක.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here