“ආණ්ඩුවේ 20 වන සංශෝධනය දැන් ගැසට් කොට තිබෙනවා. අප රට මුහුණ දෙන මූලික ගැටලුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යැයි අප විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමෙන් හෝ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් රටේ ජනතාව මුහුණ දී තිබෙන ජීවත්වීමේ ගැටලුව, නීතියේ විධානය නොමැති වීමේ ගැටලුව, ඔවුන්ගේ දෛනික ජීවිතයේ ගැටලු ආදී මූලික ගැටලු විසඳිය හැකි යැයි අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතියයි. කැමති වුවත් අකමැති වුවත් අප පුරවැසියන් ලෙස යටත් නීතිය වන්නේ එයයි. ඒ නිසා මෙම මූලික නීතියේ සිදුකරනු ලබන වෙනස් කිරීමක්, එකතු කිරීමක්, ඉවත්කිරීමක් මගින් රටේ නීතියට විශාල ලෙස බලපානු ලබන වෙනස්කම්වලට හේතු වෙනවා,” නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා පළකළ අදහස් පහත දැක්වේ.

පවතින ව්‍යස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන්, නීතිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරී තිබූ බලය මෙම සංශෝධනය මගින් එම සමස්ත පත්කිරීමේ බලය ජනාධිපතිවරයා විසින් පවරා ගනු ලැබ තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර සෙසු සාමාජිකයින් පත්කිරීමේ බලය ද ඔහු විසින් පවරා ගනු ලැබ තිබෙනවා. සැබැවින්ම එහි නිල බලයෙන් සභාපති වන්නේ අගවිනිසුරුවරයායි. 19 වැනි සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට මේ බලය තිබුණා. සේලාන් බැංකුවේ වැඩකරමින් සිටි සභාපතිවරයා අගවිනිසුරුවරයා බවට පත් කරනු ලැබුවේ ඒ කාලයේයි. මෙය අධිකරණයේ බලය මුළුමනින්ම ජනාධිපතිවරයා අතට ගැනීමක්.

විධායකය ජනාධිපතිවරයා විසින් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙහෙයවනු ලබනවා. කැබිනට් මණ්ඩලය පත්කිරීමේ බලය, විෂය පැවරීම, ඉවත්කිරීම මුළුමනින්ම ජනාධිපතිවරයා අතට ගෙන තිබෙනවා. මෙය ගෝත්‍ර යුගයේ ගෝත්‍ර නායකයා අතට සියල්ල පවරා ගැනීමට සමාන තත්වයක්. මෙය අපේ රට ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වය කරා රැගෙන යාමක්.

19 යටතේ පිහිටවූ ස්වාධීන කොමිෂන් සභා ඒවායේ ස්වාධීනත්වය රැකගැනීමට අසමත්ව තිබුණා. ආණ්ඩුව රට ප්‍රජාතාන්ත්‍රිකකරණයේ දිශාවට රැගෙනයනවා නම් කළ යුතුව තිබුණේ ඒවායේ ස්වාධීන ක්‍රියාකාරිත්වයට බාධා කළ අඩුපාඩුකම් නිවැරදි කිරීමයි. අප විසින් පෙරදී ගෙන ආ 20වැනි සංශෝධනය මගින් යෝජනා කර තිබුණේ මෙයයි. නමුත් නව සංශෝධනය මගින් යෝජනා කරනු ලැබ ඇත්තේ සම්පූර්ණයෙන් ආපසු හැරීමක්. මෙම කොමිෂන් සභා ජනාධිපතිවරයා අතට කේන්ද්‍ර ගත කරගෙන තිබෙනවා. මේ නව කොමිෂන් සභාවල ස්වාධීනත්වය මුළුමනින්ම අහෝසි කර තිබෙනවා. ඒ කොමිෂන් සභාවල බෝඩ් එකත්, කාර්යාලයත්, පුද්ගලයනුත්, ඊට අදාළ වැයබරත් ඉතිරි වී තිබෙනවා. එහෙත් එය ජනාධිපතිවරයාගේ අණසකට යටත් කරන ලද කණ්ඩායමක්.

ජාතික විගණන කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම නමින් ස්වාධීන කොමිෂන් සභා දෙකක් පවතිනවා. මෙම සංශෝධන මගින් ඒවා අහෝසි කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය මුදල් වැයවූයේ කෙසේදැයි සොයාබැලීමේ වගකීම පවතින්නේ විගණකාධිපතිවරයා පුමුඛ ජාතික විගණන කොමිසමටයි. දැන් විගණකාධිපති පත්කිරීමත් ජනාධිපතිවරයා විසින් පවරා ගෙන තිබෙනවා. තමන්ගේ මුදල් පරීක්ෂා කිරීම තමන් විසින්ම පත්කරන පුද්ගලයෙකුට පැවරීම පිළිබඳ යෝජනාවක් කළ හැක්කේ වංක පුද්ගලයෙකුට පමණයි. එය කෙතරම් ශිෂ්ටසම්පන්න ක්‍රියාවක්දැයි ජනතාව විසින් සිතා බැලිය යුතුව තිබෙනවා.පාර්ලිමේන්තුවේ බලය, කැබිනට් මණ්ඩලයේ බලය පමණක් නොව අගමැතිවරයාගේ බලයද ජනාධිපතිවරයා විසින් අත්පත් කරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ නව තත්වය කෙසේ දරා ගනීවිදැයි, කවර තීන්දුවක් ගනීවිදැයි අපි දන්නේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ තමන්ට ඇත්තේ පියන් කෙනෙකුගේ බලයක් යැයි අගමැති ප්‍රේමදාස වරක් කියා තිබුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ ඩී.බී. විජේතුංගට, ජනාධිපති චන්ද්‍රිකා යටතේ රත්නසිරි වික්‍රමනායකට, ජනාධිපති මහින්ද යටතේ දි.මු. ජයරත්නට සිදුවූ දෙය ජනාධිපති ගෝඨාභය යටතේ මහින්ද රාජපක්ෂට අත්වීමට නියමිතයි.

මේ ආණ්ඩුව බලයට පත්වීමේදී ගෙන ආ මතවාදය අනුව නීති සම්පාදනය විය යුතුව තිබුණේ ද්විත්ව පුරවැසිභාවය දැරීම පාර්ලිමේන්තුවට පත්වීමට පමණක් නොව තානාපති, මහකොමසාරිස් වැනි ධුර දැරීමට පවා නොසුදුසුකමක් විය යුතුයැයි ආදේශ විය යුතුව තිබුණා. පසුගියදා ආණ්ඩුව නියෝජනය කරන පිරිසක්ම ඇමරිකානු හිතවාදී මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහකොමසාරිස් ධුරයට පත්කරනු ලැබීම ප්‍රශ්න කර තිබුණා. එහෙත් නව සංශෝධනය මගින් ද්විත්ව පුරවැසිභාවය දැරීම නිසා පාර්ලිමේන්තුවට පත්වීමට තිබූ බාධාව ඉවත් කරනු ලැබ තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කරගැනීමට වඩා ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගැනීම පහසුයැයි තීරණය කර තිබෙනවා. සැබැවින්ම එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීමේදී ලබාදෙන දිවුරුමේ එක්සත් ජනපදය වෙනුවෙන් අවි දැරීමට පවා තමන් සූදානම් යැයි පුරවැසියෙක් පොරොන්දු වෙනවා. ඒ අනුව ගත්තොත් මේ සංශෝධනය නියෝජනය කරන්නේ තනි පුද්ගලයෙකුගේ වුවමනාවක්. ජනතාව 2/3ක බලයක් දුන්නේ මෙවැනි සංශෝධන වෙනුවෙන් ද?

ජනාධිපතිවරයා අවංකනම් සිදු කළ යුතුව තිබුණේ තමන්ගේ ක්‍රියාවන්හි විනිවිදභාවය පවත්වාගැනීමයි. තමන්ව පරීක්ෂාවට භාජනය වීමට කැමැත්ත ප්‍රකාශ කිරීමයි. අධිකරණයට, පාර්ලිමේන්තුවට වගකීමට බැඳීමයි. එහෙත් ඔහු මේ සංශෝධන මගින් පාර්ලිමේන්තුවට වග නොකියන, අධිකරණයේ මුක්තිය හිමි අයෙක් බවට පත්වී තිබෙනවා. එසේම සාමාන්‍යයෙන් පනතක් ඉදිරිපත් කරද්දී මහජනතාවට ඊට එරෙහිව අධිකරණයට යාමට සාධාරණ කාලයක් ලැබෙනවා. එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල්වී සති දෙකක කාලයක් ලැබෙනවා. එහෙත් මේ සංශෝධනය තුළ ආණ්ඩුව හදිසි පනත් ගෙන ඒමේ බලය නැවතත් ලබාගෙන තිබෙනවා. ඒ අනුව කැබිනට් අනුමැතිය ලබාගෙන, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා පැය 24ක් තුළ එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගත හැකියි. මේ යටතේ ජනතා විරෝධයට හේතු විය හැකි, ඔවුන් පීඩාවට පත් කළ හැකි යෝජනා අඩංගු පනත් හා සංශෝධන පැය 24ක් තුළ ගෙන ඒමේ අවදානමක් තිබෙනවා. ඊට එරෙහිව අධිකරණයට යෑමේ අවස්ථාව ජනතාවට අහිමි කොට තිබෙනවා. මේ වන විට කම්කරු පනත් 05කට අදාළ සංශෝධන ආණ්ඩුව විසින් සාකච්ඡා කරමින් පවතිනවා. මෙය වැඩකරන ජනතාවට හා වෘත්තීය සමිතිවලට බරපතළ අවදානමක් මතු කරනවා.

පවතින ව්‍යවස්ථාව තුළ අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කට සීමා කොට තිබුණා. එය හුදු ඉලක්කමක් පමණක් නෙමෙයි. අප රට සංවර්ධනය කිරීම සඳහා මෙම අමාත්‍ය ධුර 30ක සංඛ්‍යාව හොඳින්ම ප්‍රමාණවත්. මෙය නියෝජ්‍ය අමාත්‍ය ධුර 30කට ද සීමා විය යුතුව තිබුණා. නිවැරදි ම ගැලපීම වූයේ එයයි. විවිධ වුවමනාකම් මත 19 වැනි සංශෝධනය තුළ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුර 40ක් ලෙස සටහන් වුණා. නමුත් මේ නව සංශෝධන තුළ අමාත්‍ය ධුර සංඛ්‍යාවට පවතින සීමාව අහෝසි කර තිබෙනවා. ජනාධිපතිවරයාට අසීමිත ලෙස අමාත්‍ය ධුර නිර්මාණය කරන්නත් විෂයන් වෙනස් කරන්නත්, පවරා ගන්නත් බලය ලබා ගෙන තිබෙනවා. 2/3ක් ලබා දුන් පුරවැසියා එය ලබා දුන්නේ අසීමිත ලෙස අමාත්‍ය ධුර නිර්මාණය කරගැනීම වෙනුවෙන් ද?

මෙම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී, විනාශකාරී වගේ ම ජනතාවට අහිතකර සංශෝධනයක්. ඒ නිසා ආණ්ඩුවේ මේ 20 වැනි සංශෝධනයට අපි අපේ විරෝධය පළ කර සිටිනවා.

මෙතන විහිළුජනක තත්ත්වය වන්නේ 1978දී ජේආර් ඒකාධිපති බලතල නිර්මාණය කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට ඊට විරුද්ධව සිටි කඳවුර තමයි දැන් නැවතත් එවැනි බලතල තමන් වෙත ලබා ගැනීමට කටයුතු කරමින් ඉන්නේ. ඒ වගේ ම තමයි 17 වැනි සංශෝධනය ගෙනත් ස්වාධීන කොමිසන් සභා ස්ථාපනය කරලා ප්‍රජාතාන්ත්‍රීකරණය කිරීමට යෝජනා කරන විට විරුද්ධ වුණේ එක් මන්ත්‍රීවරයෙක් පමණයි. අනෙක් මන්ත්‍රීවරු අත් ඉස්සුවා. ඉන්පසුව 17 තිබෙන දේ අහෝසි කරලා ඒකාධිපති 18 වැනි සංශෝධනය ගේනකොට 2/3ක අත් ඔසවලා සම්මත කර ගත්තා. ඉන්පසුව 18 තිබුණ ඒකාධිපති ස්වභාවය ඉවත් කරලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 19 ගේනකොට ඒකටත් මේ මන්ත්‍රීවරු අත් ඔසවනවා. 19 තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී කරුණු ඉවත් කරලා ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් හදන්න 20 ගේනකොට ඒකටත් අත් ඔසවනවා. ඉතිං අපිට හිතාගන්න බැහැ මේ අය කුමන වර්ගයේ මන්ත්‍රීවරු ද කියලා.

www.mawbima.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here