කැබිනට්ටුව හා ශ්‍රීලංකා පොදුජන පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීමේදී ගත් තීරණ ගැන ශ්‍රීලනිපය සිටියේ නොසතුටින් බව රහසක් නොවේ. ඒ අතරේ ශ්‍රීලනිප මහ ලේකම් පදවි දරන දයාසිරි ජයසේකරට ලැබුණේ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති ධුරය ය. මේ සිය ඇමැති ධුරය හා ශ්‍රීලනිපයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ‘සති අග අරුණ’ ඔහු සමග කළ සාකච්ඡාවකි.

අමාත්‍යාංශ බෙදලා දීලා මාසෙකට ආසන්න කාලයක් ගෙවිලා. මේ වෙනකොට ගොඩක් ඇමැතිවරු තමන්ගේ වැඩ ගැන පුරෝකතනයන් කරලා, ශක්‍යතා වාර්තා හදලා, ඇස්තමේන්තු පවා සකස් කරලා ඉවරයි කියලා තමයි කියන්නේ. නමුත් ඔබේ කිසිම සද්දයක් නෑනේ.

බතික් කියන්නේ කාලයක් තිස්සේ මේ රටේ තිබුණු කර්මාන්තයක්. ඒක යල් පැන ගිය ආචීර්ණකල්පික විදිහට තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒවාට පාවිච්චි කරන වර්ණ ගත්තත් පච්ච පාටවල් තමයි තියෙන්නේ. ඒ වගේ ඩිසයින් වුණත් හරිම ඒකාකාරියි. මේ හැම දෙයක්ම වෙනස් කරන්න ඕන. ඒ වගේම මේ කර්මාන්තේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ පාවිච්චි කරන ඩයි හෝදලා යවන්න ප්ලාන්ට් නැතිකම. ඒ අවශ්‍ය කරන ප්ලාන්ට් එකක් හදන්න සැලසුම් කරලා තියෙනවා. ඒකට අමතරව දේශීය වශයෙන් ඇඟලුම් නිෂ්පාදනය කිරීමත් මගේ විෂයට අයිතියි. ඇත්තටම මේවා හෑන්ඩ්ලූම් නෙවෙයි මේවා පවර් ලූම් කියලා තමයි අපි ගණන් ගන්නේ. යන්ත්‍රවලින් නිෂ්පාදනය කරන ඒවා. දැන් මේ වෙනකොට පවර් ලූම් කම්හල් ගොඩාක් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතිං ඒක යළි පණගන්න නම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ගේන්න ඕන. ඒකට දේශීය වෙළෙඳපොළට වගේම විදේශීය වෙළෙඳපොළටත් අලෙවි කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න ඕන. ඉතිං බලන්න ඕන ඒ වගේ ඒවයින් පටන්න ගන්න පුළුවන් ඒවා තියෙනවා නම් පටන් ගන්න. පෞද්ගලික අංශයත් එකතු කරගෙන ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙනවා.

දැන් දේශීය රෙදිපිලි කර්මාන්තය කිව්වාම මීට කාලෙකට කලින් අපේ රටේ බොහෝම ජයට කෙරුණු වේයන්ගොඩ ටෙක්ස්ටයිල්, පූගොඩ ටෙක්ස් ටයිල්, තුල්හිරිය වගේම වැල්ලවත්තේ සුප්‍රකට රෙදි මෝල වගේ කම්හල් ගත්තාම සමහර ඒවා විකුණලා තවත් ඒවා වැහිලා. මෙවැනි පසුබිමක මේ වැඩේ ලේසි වෙන එකක් නෑ නේද?

ඔව් ඉතිං, දැන් මට භාර දීලා තියෙන ආයතනවලින් ලක්සල ඉතාම දරුණු ලෙස පාඩු ලබන ආයතනයක්. මිලියන ගාණක් නිෂ්පාදකයින්ට ගෙවන්න තියෙනවා. සළුසල වහලා දාලා තියෙන ආයතනයක්. මට තියෙන්නේ පේෂකර්ම දෙපාර්තමේන්තුව විතරයි ඉදිරියට ගෙන යන්න. ඒ වගේම අත්යන්ත්‍ර රෙදිපිලි නිෂ්පාදනයත් විශේෂයෙන්ම හෑන්ඩ්ලූම් නිෂ්පාදනයත් සම්පූර්ණයෙන්ම ග්‍රාමීය මට්ටමින් තිබුණාට මේ කර්මාන්තයට තරුණයින් යොමු වීම ඉතාම අඩුයි. අර අපි ඉස්සර කිව්වේ රෙදි ඉස්කෝල කියලා ඒ ඉස්කෝලවල ඉන්නේ වයසට ගිය අය. තරුණයින් අතරින් සුළු ප්‍රමාණයක් තමයි මේ ක්ෂේත්‍රයට උනන්දු. ඒ වගේම මේකට අවශ්‍ය කරන මැෂින්වලට විශාල මුදලක් වැයවෙනවා. ඉදිරි මාස තුනට මට වෙන්කරලා තියෙන ප්‍රාග්ධනයත් තියෙන්නේ බොහෝම සොච්චම් ප්‍රමාණයක්. ඉතිං ඒකෙන් අලුත් යන්ත්‍රසූත්‍ර අරගෙන මේවා පටන් ගන්න පුළුවන් වාතාවරණයක් නෑ, ඒ නිසා ඊළඟ බජට් එකට තමයි අපි බලා පොරොත්තුවෙන්නේ අපේ වැඩවලට අවශ්‍ය කරන මුදල් වෙන් කරගෙන වැඩ කටයුතු ටික පටන් ගන්න. දැනට අධ්‍යයනය කරනවා මේ ක්ෂේත්‍ර​ෙය් තියෙන අඩුපාඩු ඉක්මනින් දුරු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්න.

ජනාධිපතිතුමා කියලා තියෙනවා තමන්ට භාර දුන්න වැඩේ ප්‍රතිඵල පෙන්නන්න බැරි නම් ඒ අමාත්‍යාංශය නැවත ගන්නවා කියලා. ඔය කියන විදිහට ඔච්චර කඩාගෙන වැටිච්ච ක්ෂේත්‍රයක් ගොඩ ගන්න අමාත්‍යාංශයක් හදලා දයාසිරි ජයසේකරට භාර දීලා තියෙන්නේ අන්නන්න හරි කියලා හිතෙන්නේ නැද්ද?

ඒක ඉතිං ජනාධිපතිතුමා නෙවෙයිනේ කරන්නේ. ඒක දීපු කට්ටියගෙන් තමයි ඒක අහන්න ඕන.

ඔබ අන්තිමට දැරුවේ ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ධුරය. ඔය වගේ ජනප්‍රිය අමාත්‍යාංශ ටිකක් තියෙනවා කාට දුන්නත් කරගෙන යන්න පුළුවන්. මම දන්නා තරමට ඔබ බතික් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. කිසිම අත්දැකීමක් නෑ. එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ බතික් ඉස්සරාහට දාලා ඔබට මේ අමාත්‍යාංශය භාර දුන්න වෙලාවේ මොකද ඇත්තටම හිතුණේ?

අර ඔබතුමා කිව්වා වගේ පොල්ලෙන් දමලා ගැහුවා වගේ තමයි. එච්චරයි කියන්න තියෙන්නේ.

නමුත් මේ ගැන ඔබ පාර්ලිමේන්තුවේදී බොහෝම ධනාත්මකවනේ කතා කළේ. අපි දැක්කා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මේ අමාත්‍යංශය හෑල්ලු කරමින් කතා කරනකොට ඔබ ඊට පිළිතුරු දුන්නේ බොහෝම ධනාත්මකව. ඇත්තටම ඒ දයාසිරි ජයසේකරගේ හිතේ තියෙන ඇත්ත අදහසද, නැත්නම් ඔබට මේක දුන්න අය ඉල්ලන්නේ ගේමනං ගේමට ගේම කියන අදහසින්ද ඒ වචන පිට වුණේ?

නෑ, ඉතිං දේවල්වලට උත්තර දෙනකොටත් ඒ වගේ කතා කරන්න ඕන. නමුත් දුන්න දේවල් ගැනත් අපිට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. නමුත් මේවට ඉතිං අනාගතේ ගැන බලාගෙන වැඩ කරන්න තමයි තියෙන්නේ. ඒක තමයි අර මම කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයාට චන්ද්‍රිකා මැතිනිය සැලකුවා වගේ තමයි මේ ආණ්ඩුව මට සලකලා තියෙන්නේ කියලා.

මම ඒ කතාවට එන්න තමයි හිටියේ. චන්ද්‍රිකා මැතිනිය මහින්ද මහත්තයාට සලකනකොට කම්කරු අමාත්‍යාංශය දුන්නා. එතකොට මේ පාර කම්කරු අමාත්‍යාංශය භාර ගත්ත ඇමැතිතුමා කිව්වා මීට කලින් මේ අමාත්‍යාංශය දරපු දෙන්නාම ජනාධිපති වෙලා තමයි නතර වුණේ කියලා. එත්කොට දායාසිරි ජයසේකර ඇමැතිතුමාත් කියන්නේ කවදා හරි ජනාධිපති වෙලා තමයි මේ ගමන ඉවර කරන්නේ කියලාද?

නෑ… නෑ…. ඒක නෙවෙයි මම කිව්වේ. මම කිව්වේ මේ ජයග්‍රහණය ගන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල බෙදීමක් ඇතිවෙලා තියෙන වෙලාවේ, ගෝඨාභය මැතිතුමා ජනාධිපති කරන්න අපි එක පයින් වැඩ කළා. නමුත් එතැනදී අපිට කරපු සැලකීම ගැන තමයි මම මේ කිව්වේ. අපිට පක්ෂයක් විදිහට ප්‍රශ්නයක් තියෙනවා අපිට ලබා දුන් දේවල් ගැන. බලමු ඉතිං අනාගතේ මේ හැම අභියෝගයකටම මූණ දීලා වැඩ කරන එක තමයි බලාපොරොත්තුව.

ඇයි දයාසිරි ජයසේකරට කවදා හරි මේ රටේ නායකයා වෙන්න බැරිද?

නෑ… නෑ…. ඒක ඉතිං තීරණේ වෙන්නේ අනාගතේනේ. ඒක දැන් කියන්න බෑනේ.

ඒ කොහොම නමුත් ඔබට අමාත්‍යාංශය ලැබුණා විතරයි ඊළඟ දවසේ අපි දැක්කේ ඔබ බතික් ඇඳුමක් ඇඳගෙන පාර්ලිමේන්තු එනවා. හරියට ඔබ මේ අමාත්‍යාංශය බලාපොරොත්තුවෙන් හිටියා වගේ?

නෑ… නෑ… එහෙම බලාපොරොත්තුවෙන් හිටපු එකක් නෙමෙයි. හැබැයි මම හිතුවා මට තියෙන පළමු අභියෝගය තමයි එහෙම ඇඳුමක් ඇඳලා යන එක. මට දීපු අමාත්‍යාංශය යම් විදිහකට නියෝජනය කරන්න තමයි මම ඒ විදිහට ඇන්දේ. ඒක හදිස්සියෙන් තමයි මම නිර්මාණය කරගත්තේ.

කවුද එච්චර ඉක්මනට ඔබට ඒ ඇඳුම හදලා දුන්නේ?

බුද්ධි බතික් ආයතනයේ දර්ශී තමයි මට මේක හදලා දුන්නේ. බුද්ධි කීර්තිසේන මහත්තයාගේ දියණිය. මම හිතන්නේ මම ඒ තුළින් මගේ පළමු අභියෝගය ජයගත්තා. මොකද පාර්ලිමේන්තුවට බතික් ඇඳලා යන්නේ නෑ කවුරුවත්. නමුත් කථානායකතුමාටවත් එළියට දාන්න බැරි විදිහට ඒක හදලා තිබුණා.

ඔබේ මිත්‍රයා හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කිව්වා ඔවුන්ටත් බතික් දුන්නොත් ඇඳන් එනවා කියලා. ඉතිං අදහසක් නැද්ද යාළුවටත් බතික් අන්දන්න?

බලාපොරොත්තුවක් තියෙනවා. යාළුවාට විතරක් නෙවෙයි ඔක්කොටම බතික් අන්දන්න තමයි මගේ බලාපොරොත්තුව.

බතික් ප්‍රවර්ධනය කරන්න රාජ්‍ය සේවකයන්ට සතියට දවස් දෙකක් බතික් අන්දන්න ඕන කියලා ඔබ කිව්වා නේද? ඕව ප්‍රායෝගික වැඩද ඇමැතිතුමා?

මම කිවේවේ බතික් විතරක් නෙවෙයි අත්යන්ත්‍ර රෙදිපිලි නිර්මාණ සතියකට එක දවසක් අඳින්න කියලා අපි ඉල්ලීමක් කරනවා කියලා. ඒක නීතියක් නෙවෙයි. නමුත් ඒක ප්‍රචාරය කරලා තිබුණේ නීතියක් කියලා.

දැන් ඕවා ගන්න රාජ්‍ය සේවකයින්ට වෙනම දීමනාවකුත් දෙන්න වෙයි නේද?

ඒක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. මොකද සමහර වෙලාවට මේවායේ මිල ගණන් ඉතාම අධිකයි. ඊට වඩා අඩුයි සමරහ වෙලාවට ඉන්දියානු සාරියක්. ඒ නිසා අපි රාජ්‍ය ස්වකයින්ට අධික වියදමක් දරලා ඇඳුම් හදාගන්න කියන එකත් අසාධාරණයි. අපි ලෑස්ති වෙන්න ඕන ඔවුන්ට දරන්න පුළුවන් මිලකට මේවා හදලා දෙන්න.

දැන් ඔබ කිව්වා ‘‘අපිට පැහැදිලි කලකිරීමක් තියෙනවා’’ කියලා. කලකිරීමක් තියෙනවා නම් ඇයි ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ. අපි දැක්කා පොහොට්ටුවේම සාමාජිකයෝ තමන්ගේ විරෝධය ආණ්ඩුවට ප්‍රසිද්ධියේ පෙන්නපු හැටි. එක ඇමැතිවරයෙක් සමූහ ඡායාරූපයටත් නොසිටම යන්න ගියා. තව ඇමැතිවරයෙක් තමන්ට දුන්න අමාත්‍යාංශය භාරගන්නේ කැමැත්තෙන් නෙවෙයි කියලා අගමැතිවරයාගේ මූණටම වැඩ භාරගන්න වෙලාවේ කිව්වා. ඇයි ශ්‍රීලනිපේ මෙච්චර බයාදු?

නෑ.. ඒක ඉතිං ආණ්ඩුවක ඉන්නකොට කළ හැකි කාර්යයක් නෙවෙයිනේ. අපි එකට එකතු වෙලා ආණ්ඩුවක් හැදුවාම ඒ ආණ්ඩුවේ සියලු දෙනාම සංතෝස කරන්න අමාරුයි. නමුත් පක්ෂයක් විදිහට අපිත් එකක් තීන්දු තීරණ ගන්නකොට මීට වැඩිය විනිවිද භාවයක් තිබුණොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා.

ශ්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති සිරිසේනට ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දෙන්න එකඟතාවක් තිබුණා කියන කතාවක් තිබුණා ඔබ ඒ කතාවත් ප්‍රතික්ෂේප කරලා තිබුණා.

නෑ, එහෙම සාකච්ඡාවක් වුණේ නෑ. එදා මන්ත්‍රීවරු දිවුරුම් දීපු වෙලාවේ ජනාධිපතිතුමා සියලුම මන්ත්‍රීවරු අරලියගහ මන්දිරයට කැඳවපු වෙලේ. අපි එළියට එනකොට මටත්, දුමින්ද දිසානායක මැතිතුමාටත් ඒ වගේම ලසන්ත අලගියවන්න මැතිතුමා, මහින්ද අමරවීර මැතිතුමා ඇතුළු පිරිසට පිටට තට්ටු කරලා කතා කරලා ගියා. යන ගමන් කියාගෙන ගියා අපි ව්‍යවස්ථාව සංශෝධනය කරලා එතුමාට තැනක් හදමු. කැබිනට් මණ්ඩලේට එන එක ඒතරම් හොඳ නෑනේ කියලා. ඒ කාරණේ තමයි එතැන තිබුණේ වෙන එකක් නෙවෙයි. ඉතිං ඒක උප අගමැති තනතුර දක්වා කට්ටිය හදලා තිබුණා ඒකට කතාවක්.

ඒ කිව්ව විදිහටම ඔබ හිතනවාද ඔබේ සභාපතිතුමාට ආණ්ඩුවේ ඉහළ තනතුරක් ලැබෙයි කියලා?

දන්නෑ ඉතිං. ඔය කියන ඒවා ඒ විදහටම කෙරෙයිද දන්නේ නෑනේ. දැන් වෙලා තියෙන දේවල් වල හැටියට විශ්වාස කරන්න පුළුවන් දේවල් ගොඩක් අඩුයි. බලමු අපි ඉතිං අනාගතේ මොනවද වෙන්නේ කියලා.

ශ්‍රීලනිපෙට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් දෙන්න පොරොන්දුවක් තිබුණා නේද?

ඔව් ඉතිං, අපේ දෙන්නෙක්ගේ නම් ඉල්ල ගත්තා. මොකද අපි බලාපොරොත්තු වුණේ 14 දෙනෙක් පාර්ලිමේන්තුවට එනකොට අපිට දෙන්නෙක්වත් ලැබුණොත් හොඳයි කියලා. නමුත් අපිට ඒහෙම ලැබුණේ නෑ,

පුදුම ඉවසීමක්නේ ඔබතුමාලා ඉවසන්නේ?

මේ වගේ දේවල් නිසා ආණ්ඩුව ඇතුළේ අභ්‍යන්තර අර්බුද ඇති කරන්න කිසිම වෙලාවක ශ්‍රීලනිපය කටයුතු කරන්නේ නෑ. නමුත් අපේ පක්ෂය වෙනුවෙන් කතා කරන්න වෙන වෙලාවල් එනවා. එතැනදී නිහඬ පිළිවෙතක ඉන්නත් බෑ, මොකද අපිත් එක්කත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 1064 දෙනෙක් ඉන්නවා. ආසන සංවිධායකවරු 160කට වැඩිය ඉන්නවා. මේ අය ගැනත් අපි බලන්න ඕන. එහෙම නැතිනම් ඔවුන් හිතනවා අපි විතරක් ගොඩ ගියා ඒගොල්ලන්ට සලකන්නේ නැද්ද කියලා. විශේෂයෙන්ම සංවාර්ධන ආධාර බෙදීමේදී අසාධාරණයන් සිද්ධ වුණා. සපිරිගමක් වැඩ සටහනට අපේ කිසිම මන්ත්‍රීවරුයකුට ශත පහක්වත් දුන්නේ නෑ. නමුත් මීට පස්සේ එන සංවර්ධන වැඩවලදී, මහාමාර්ග හදනකොට ශ්‍රීලනිපෙත් ආණ්ඩුවේ කොටස්කාරයෝ නම් අපේ කට්ටියත් ඒ වැඩවලට එකතු කරගන්න ඕන. එහෙම එකතු කර නොගන්න කොට තමයි මහ ලේකම්වරයා විදිහට මම ඒවාට විරුද්ධව කතා කරන්නේ. මට මොන ප්‍රශ්න ආවත් මොන අඩුපාඩු කළත් පක්ෂය වෙනුවෙන් වෙන්න ඕන ඒ යුතුකම මම පැහැර අරින්නේ නෑ. ඔය කෑගිහිල්ල නිසාම තමයි සමහර වෙලාවට මට කැපිලිවලට ලක්වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මමත් හැම දේටම සද්ද නැතුව ‘හරි සර්. හොඳයි සර්’ කියාගෙන හිටියා නම් ඕවා වෙන්නේ නෑ. අපේ ආණ්ඩුව වගේම පක්ෂයත් තියෙන්න ඕන.

ඒ කියන්නේ ඔබ පිළිගන්නවා ඔබට ආණ්ඩුවෙන් කැපිල්ලක් තියෙනවා කියලා?

නෑ.. ඒක ඉතිං…. මේ පක්ෂය රකින හින්දනේ මේ ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැතුව තමන්ගේ ජාම බේරගන්න වැඩේ කළානම් මටත් කිසි ප්‍රශ්නයක් නැතුව හොඳ ඇමැතිකමකුත් අරගෙන පාඩුවේ ඉන්න තිබුණා. නමුත් මම එහෙම කරන්නේ නෑ, මොකද මට කොයි තරම් කැපිලි ආවත් මම වැඩ කරන්නේ ශ්‍රීලනිපෙට. මම වෙන කාටවත් වැඩ කරන්නේ නෑ, ඒක තමයි මගේ ප්‍රතිපත්තිය.

හොඳ ඇමැතිකම් කියන්නේ මොනවද ඇමැතිතුමා?

නෑ… ඉතිං…. ඔය හොඳ ඇමැතිකම් කියන ඒවා දන්නවා නේ කවුරුත්… මම අලුතින් කියන්න ඕන නෑනේ දෙනවා කිව්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් ලැබුණෙත් එකයි.

ඒකටත් ඔබ පත් කරන්නේ සූරේන් රාඝවන්…..

මම පත් කළේ නෑ. ඒක පත් කළේ ඇත්තටම පොදුජන පෙරමුණෙන් අපි නෙවෙයි ඒක කළේ. ඇත්තටම වැරදියි ඒ කරපු වැඩේ. ඒ නම් දෙක අපි දුන්නාම අපිට මේ නම් දෙකෙන් එකක් එවන්න කියලා කිව්ව නම් අපි නම් කරලා යවනවා.

ඔබට අවස්ථාව ලැබුණා නම් කාවද නම් කරන්නේ?

අකාරාදීය පිළිවෙළට අපි පළවැනියට දාලා තිබුණේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමා. දෙවැනියට දාලා තිබුණේ ෆයිසර් මුස්තාපා මැතිතුමා. තුන්වැනියට දාලා තිබුණේ සුරේන් රාඝවන් මැතිතුමා, හතරවැනියාට නීතිඥ බන්දුල වෙල්ලාල මැතිතුමා. මම කියන්නේ නෑ සුරේන් රාඝවන් මැතිතුමා සුදුසු නෑ කියලා. නමුත් ඒකෙන් පක්ෂ අභ්‍යන්තරයේ විශාල අර්බුදයක් ඇති වුණා. මොකද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් කියන්නේ අපේ පක්ෂයේ විශාල කාලයක් හිටපු කෙනෙක්. ඒ වගේම අපේ වැඩ බලන සභාපති විදිහට හිටියා. අපේ ලේකම් විදිහට වැඩ කළා. දැන් වර්තමානයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති විදිහට වැඩ කරනවා. ඉතිං එතුමාටත් යම් අයිතියක් තියෙනවා මේ පක්ෂයේ ඒ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්න. ඒ නිසා මේ පත් කිරීම නිසා විශාල අර්බුදයක් පක්ෂ අභ්‍යන්තරයේ සිද්ධ වුණා.

ඉතිං ඒ වරද හදාගන්න උත්සාහ කළේ නැත්තේ ඇයි?

නෑ, එතකොට තවත් අර්බුදයක්නේ ඉතිං.

දැන් 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට එනවා. ශ්‍රීලනිපයේ ස්ථාවරය මොකද්ද, 19 අහෝසි වෙන්න ඕනද? 20 ස්ථාපිත වෙන්න ඕනද?

19 අහෝසි වෙන්න ඕන. 19 තියෙනවා විශාල අර්බුදයක්. 19 අහෝසි වෙනවා කියලා සමස්ත අහෝසියක් ගැන නෙවෙයි මම කතා කරන්නේ. මේ කොමිසම් සභාවල ප්‍රශ්න ගණනාවක් තියෙනවා.

ඔබ කියන්නේ කොමිෂන් සභා අහෝසි වෙන්න ඕන?

කොමිෂන් සභා සම්පූර්ණයෙන්ම අහෝසි වෙන්න කියන මතයේ මම නම් නෑ පෞද්ගලිකව. නමුත් ඒ කොමිෂන් සභා නිසා රට ඇතුළේ තියෙන අස්ථාවරත්වය නැති කරන්න කටයුතු කරන්න ඕන. ඒ වගේම තොරතුරු දැන ගැනීමේ පනත වගේ වැදගත් කාරණා රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ස්ථාපිතව තියෙන්න ඕන. ඉතිං මම දන්නේ නෑ කොයි විදිහටද මේක අහෝසි කරලා අනාගතේ ගේන යෝජනාව ගේන්නේ කියලා. ඉතිං මේවා ගැන කතා කරන්න වෙන්නේ කෙටුම්පත අපි දැක්කාම තමයි.

මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලය තියෙන්නේ ශ්‍රී ලනිපේ ආසන 14ත් නිසා. ඒ කියන්නේ මේ ආසන 14 හරිම තීරණාත්මකයි. අපි අහලා තියෙනවා අසීමිත බලය අසීමිත දූෂණය කරයි කියලා. යම් විදිහකින් ආණ්ඩුව රටට අහිතවත්ව යනවා නම් පරිවාස ආණ්ඩුවේ ජවිපේ ක්‍රියා කළා වගේ ශ්‍රීලනිපෙටත් පුළුවන් නේද ආණ්ඩුවේ රිමෝට් කොන්ට්‍රෝල් එක වෙන්න?

නෑ. රිමෝට් කොන්ට්‍රෝල් එක විදිහට ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් සාධනීය විදිහට මේ ආණ්ඩුව ඉස්සරහාට ගෙනියන්න අවශ්‍ය කරන කටයුතු ටික කරනවා. මොකද අපි දැක්කා 2010 ආණ්ඩුවටත් මේ වගේම දැවැන්ත බලයක් තිබුණා. අවුරුදු 5ක් යනකොට ඒ ආණ්ඩුව විනාශ වුණා ඒ බලය නිසාම. ඉතිං මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජයට පත් වුණාම පැරුදුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා නෙවෙයි. පැරදුණේ රට. පැරදුණේ මේ රටේ ජනතාව ඒ නිසා ගෝඨාභය ජනාධිපතිතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන බලවේග ගෝඨාභය මහත්තයා පරාජය කරන්න හැදුවොත් පරාද වෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නෙවෙයි රට. ඒ නිසා අපි ඒ මතයේ ඉඳගෙන ගෝඨාභය මැතිතුමා රැකගන්න කටයුතු කරනවා.

මම අහන්නේත් ඒකම තමයි. 2010 හැමෝම නැති වුණත් 2010 සෙට් එකේ බහුතරයක් මේ ආණ්ඩුවේත් ඉන්නවා. මම අහන්නේ 2010 පුරුදු සෙල්ලමම ආයිත් කරන්න ලැස්ති වුණොත් ශ්‍රීලනිපේ කොතැනද ඉන්නේ?

පටන් ගත්තොත් අපි ඉතිං ඒක ඒ වෙලාවට බලමු. ගෝඨාභය ජනාධිපතිතුමා විසින් ඉතාම ක්‍රමානුකූලව මේ පාලනය අරගෙන යනවානේ. එතුමාවත් රැකගෙන එතුමා ගේන්න වැඩ කරපු බලවේගත් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නයි අපිට තියෙන්නේ.

ශ්‍රීලනිපේ මහ ලේකම්තුමා කාටත් වඩා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන තමයි විශ්වාසය තියලා තියෙන්නේ මේ වෙලාවේ?

අනිවාර්යයෙන්ම. මේ වෙලාවේ විතරක් නෙවෙයි කලින් ඉඳන්ම ඒ විශ්වාසය එතුමා ගැන තිබුණා. ඉතිං ඒ විශ්වාසය එතුමා මේ වනතුරුත් රැකලා තියෙනවා. ඉදිරියටත් එතුමා ඒ විශ්වාස රැක ගෙන ඉදිරියට යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ මත තමයි ශ්‍රීලනිපය ඉදිරි තීන්දු තීරණ ගන්නේ.

සමන් සමරක්කොඩි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here