ඉන්දියාවේ එන්නත් අපනයන තහනමෙන් රටවල් 91කට බලපෑම්!

ඉන්දියාවේ එන්නත් අපනයන තහනම හේතුවෙන් රටවල් 91 කට බලපෑම් එල්ලවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය සෞම්‍යා ස්වාමිනාදන් ප්‍රකාශ කළේ එන්නත් සංචිත ප්‍රමාණවත් නොවීමත් සමඟ අප්‍රිකානු රටවල් මෙන්ම ඉන්දීය නව ප්‍රභේදයට ගොදුරු වූ රටවල් රැසක් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි.

පසුගිය වසරේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම සමඟ ඇතිකරගත් නීත්‍යානුකූල ගිවිසුම අනුව කොවැක්ස් පහසුකම හරහා 2020 වසරේදී පමණක් එන්නත් මාත්‍රා මිලියන 400 ක් ලබාදීමට අපේක්ෂා කළ බවයි.

අප්‍රිකානු රටවල් රැසක් තම ජනගහණයෙන් සියයට බින්දුවයි දශම පහක ප්‍රතිශතයකටත් අඩුවෙන් එන්නත්කරණයට ලක් කර ඇති බව පෙන්වා දෙන සෞම්‍යා ස්වාමිනාදන් අඩුම තරමේ එම රටවල් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවා එන්නත්කරණයට ලක් කර නොමැති බවයි කියා සිටියේ.

පසුගිය අගෝස්තු මාසය වනවිට බ්‍රිතාන්‍ය එන්නත් මාත්‍රා මිලියන 150 ක් ඇණවුම් කර තිබූ අතර, ඊට ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මිලියන 99ක් ද ඇතුළත්.

එමෙන්ම ඇමරිකාව ද අගෝස්තු මාසය වනවිට එන්නත් මාත්‍රා මිලියන 400 ක් ඇණවුම් කර තිබෙනවා.

ඉන්දියාව මෙන් නොව ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව ඊශ්‍රායලය, සහ යුරෝපා සංගමය, එන්නත්කරණය ආරම්භ කිරීමටත් පෙර සමාගම් ගණනාවකින් එන්නත් ඇණවුම් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ විකල්පයක් නොමැති බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පළ කරන්නේ ඉන්දියාව මෙම වසර අගදී යළි එන්නත් අපනයනය ආරම්භ කරනු ඇති බවයි.

 662 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply