ගිනි ගත් නැවෙන් වෙරළට ගොඩ ගැසූ සුන්බුන්වල විකිරණශීලි ද්‍රව්‍ය කිසිවක් නෑ!

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ සුන්බුන්වල විකිරණශීලි ද්‍රව්‍ය නැති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා ඊයේ (31) පැවසීය.

නැවෙන් විසිරි ගිය සුන්බුන් ස්ථාන කිහිපයකින් ලබා ගෙන විකිරණ මට්ටම පිළිබඳ ව පරීක්ෂණ කළ බවත් ඒ අතර ප්ලාස්ටික් කැටිති, වැලි සහ අපවිත්‍ර මුහුදු ජල සාම්පල එක්රැස් කර ගත් බවත් හෙතෙම කීවේය.

අප මෙතෙක් කළ පරීක්ෂවලින් පැහැදිලිව කිය හැකි කරුණක් වන්නේ නැවෙන් පිට වූ ද්‍රව්‍යවලින් පරිසරයට හෝ ජීවීන්ට විකිරණ හානියක් සිදු වී නොමැති බව ද පැවැසීය.

මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, වරාය අධිකාරිය සහ ගුවන් හමුදාව එක්ව ගින්න නිවීමේ මෙහෙයුම සිදු කරන බවත් මේ වන විට බොහෝ දුරට එය පාලනය වී තිබෙන බවත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මහතා පැවැසීය.

මේ අතර නාරා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් මීගමුව කලපුවේ ඇතැම් ප්‍රදේශවල ජලය ගෙන පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ කලපු ආශ්‍රිතව නැවේ සුන්බුන්වලින් සිදුව ඇති තත්ත්වය පරීක්ෂා කිරීම සඳහාය.

නෞකාවෙන් මුහුදු ජලයට එක් වූ අපද්‍රව්‍ය කොටස් මේ වන විට ගාල්ල මාතර මුහුදු කලාපය දක්වා පාවී ගොස් ඇති අතර එම ප්‍රදේශවල මුහුදු වෙරළේ තිබී මෙම කොටස් හමු වූ බවද වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට නැවෙන් පිට වූ අපද්‍රව්‍ය වැඩිම වශයෙන් ගොඩ ගසා ඇත්තේ වත්තල සිට මීගමුව දක්වා වූ වෙරළ කලාපයට බවද පැවැසේ.

මෙම නෞකාව තුළ නයිට්‍රික් අම්ලය ටොන් 25 ක් ඇති බවට අනාවරණය වී ඇති බවත් මෙය දැවී ගොස් වායු ගෝලයට එක් වී ඇති බවත් මේ නිසා දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට අම්ල වැසි වැටීමේ අවදානමක් ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා පැවැසීය.

අම්ල සහිත වැසි වැටුණොත් වැව්වල ජලාශවලට බලපාන බවත් ඒවායේ ජීවින් විනාශ විය හැකි බවත් හෙතෙම අවධාරණය කෙළේය. නෞකාවේ කපිතාන්වරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කපිතාන්වරයා රැඳී සිටින වැල්ලවත්ත හෝටලකට ගොස් ඇති අතර එහිදී කපිතාන්වරයා පවසා ඇත්තේ නෞකාවේ ලොග් සටහන් පොත අස්ථානගත වී ඇති බවයි.

 321 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply