චීන දරුවන් වැඩි කිරීමට එරට රජයෙන් පෙළඹවීමක්!

චීනය එරට පවුලක සිටිය හැකි අවම දරුවන් සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සංගණන දත්ත මගින් උපත් අනුපාතයේ ශීඝ්‍ර පහත වැටීමක් පෙන්නුම් කිරීම හේතුවෙන් එරට බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවය.

මෙම නවතම පියවර ජනාධිපති ෂී ජින්පිං විසින් දේශපාලන මණ්ඩල රැස්වීමකදී අනුමත කළ බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.

චීනය, සිය දශක ගණනක් පැරණි එක් දරු ප්‍රතිපත්තියක් 2016 වසරේ දී අවලංගු කළ අතර එය දරුවන් දෙදෙනෙකු දක්වා ප්‍රතිස්ථාපනය කරනු ලැබූව ද ඉන් එරට උපත් අනුපාතය ඉහළ ගොස් නොතිබිණි.

එරට නගරවල දරුවන් හදා වඩා ගැනීමට යන අධික පිරිවැය, චීන යුවළ ඒ සඳහා අධෛර්යමත් කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

චීන මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙම පියවර චීන ජනගහන ව්‍යුහය වැඩි දියුණු කිරීමටත්, වයස්ගත ජනගහනය සමග ක්‍රියාශීලීව කටයුතු කිරීමේ රටේ උපායමාර්ගය සපුරාලීමටත් සහ මානව සම්පත වැඩිකිරීම සඳහාත් දායක වනු ඇති බවය.

කෙසේ වෙතත්, ඇතැම් විශේෂඥයින් මේ පිළිබඳව සැක පළ කර තිබේ.

“උපත් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම ඵලදායී නම්, වර්තමාන දරුවන් දෙදෙනාගේ ප්‍රතිපත්තිය ද ඵලදායී බව ඔප්පු විය යුතුව තිබුණා,” කොමර්ස්බෑන්ක්හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ හාවෝ ෂෝ පවසා ඇත.

“නමුත් දරුවන් තිදෙනෙකු ලබන්න කැමති කවු ද? තරුණ අයට උපරිම වශයෙන් දරුවන් දෙදෙනෙකු සිටිය හැකියි. මූලික ගැටලුව තමයි ජීවන වියදම සහ ජීවන පීඩනය අති විශාල වීම,” හාවෝ ෂෝ වැඩිදුරටත් පැවසීය.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙම මස මුලදී නිකුත් කරන ලද එරට සංගණ වාර්තා අනුව, පසුගිය වසරේ දරුවන් මිලියන 12ක් පමණ උපත ලබා ඇති බවත් එය 2016 වසරේදී උපත ලැබූ දරුවන් මිලියන 18ට වඩා සැලකිය යුතු අඩුවීමක් වන බවත් 1960 ගණන්වල සිට වාර්තා වූ අඩුම උපත් සංඛ්‍යාව මෙය වන බවත් ය.

 530 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply