මතට හුරුවෙලානම් එන්නත් ගත්තත් කොරෝනා වලින් බේරෙන්න බෑ!

* මද්‍යසාර අලෙවිසල් විවෘත කර තබන වේලාව දීර්ඝ කළ යුතුයි කියා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වන යෝජනා ජාත්‍යන්තර ගුණ්ඩු…
* ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය අක‍්‍රීය කිරීමට ඇල්කොහොල්වලින් විශාල බලපෑමක් සිද්ධ කරන බව පර්යේෂණ මට්ටමින් ඔප්පු කර තිබෙනවා…
 
ඇඳිරි වැටෙනකොට මිනිසුන් පෝලිමේය. ඒ අනුකම්පාවකින් තොරව සමාජයේ අහුමුළු නෑර දිව යන කොවිඞ් මාරයාගෙන් ජනතාව බේරාගැනීමට රජය විසින් රට ලොක්ඩවුන් කරයි දෝ යන සැකයට හාල් තුනපහ අඩුම කුඩුම මිලට ගැනීමට වෙළෙඳසල් ඉදිරිපිටට නොවේ. නගරයේ, හන්දියේ බාර් වහන්නට පෙර අරක්කු මිලට ගැනීමට ය.

‘‘ෂොට් එකක්, දෙකක් දාලා ඉන්නකොට කොරෝනා ළඟින්වත් යන්නෙ නෑ…’’ මේ දිනවල මත්පැන් ලෝලීන් නිතර මතුරන මන්තරය එය වේ. එමෙන්ම ඉඳහිට මත්පැන් උගුරක් දෙකක් පානය කළ ඇතැම්හු කොරෝනා වසංගතයට බියේ ඇල්කොහොල් දිනපතා රාත‍්‍රියට බොන බෙහෙතක් බවට පත් කරගෙන සිටින්නාහ. නිතර දෑත් පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක ස්පේ‍්‍ර, ජෙල් වර්ග ඇල්කොහොල්වලින් නිෂ්පාදනය කරන බව දැන සිටින මත්ලෝලීන් උගුර, පෙණහලූ, උදරය පිරිසිදු කරන විෂ බීජ නාශකයක් බවට අරක්කු පත් කරගෙන සිටින බව ද රහසක් නොවේ. එවැනි බොරු බේගල් ඇදබාමින් ගෙදර උන්දෑවත් රවට්ට ගන්නා මත්ලොලීහු, හිත මිතුරන් එකතු කරගෙන ? තිස්සේ හොඳ හැටි සූර් වෙන්නාහ. අරක්කු බෝතල්, බයිට් වර්ග ඕතාගෙන පැමිණෙන කොළවල, හිත මිතුරන් සමඟ පැමිණෙන කොරෝනා නිවෙස්වලට රිංගා පුංචි දරුවන්ට, වැඩිහිටියන්ට තුරුළු වූ බව දැන ගන්නේ පවුලේ කෙනකුට හුස්ම ගන්න අපහසු වෙනකොටය. එවිට කොරෝනා එම
රෝගියාගේ පෙණහලූවලට රිංගා මරණීය තත්ත්වයක් ඇති කර අවසානය.

‘මේ වසංගතය අපේ ගෙදරට ආවේ එදා ? යාළුවොත් එක්ක අරක්කු බොන්න ගත්ත නිසා තමයි… මහ අපරාධයක් කර ගත්තේ…’ දෙයක් සිදු වූ පසු පසුතැවී ඵලක් නැත. එම පසුතැවීම මරණ මංචකයට යන මොහොත දක්වා හිතට වද දෙන බව ද නොකියමනාය.

එමෙන්ම කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත කිරීමට දුම්වැටි විශාල වශයෙන් උදව් උපකාර වන බව විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවමින් සිටිති. දුම්පානය කරන අයට කොරෝනා වෛරසය ආසාදනයවීමේ ප‍්‍රවණතාවය සිය ගුණයකින් වැඩි බව ද ඔවුහු පවසති. වෛද්‍යවරු එම අනතුරු ඇඟවීම සිදුකර තිබුණේ දුම්පානය කරන පුද්ගලයන්ට සහ ‘මරණය විකුණන’ වෙළෙඳුන් ඉලක්ක කරගෙනය. එහෙත් රට පුරා දුම්වැටි අලෙවිය ජයටම කෙරෙන බවත්, කඩපිල් ගානේ දුම්වැටි උරන අයගේ අඩුවක් නොමැති බවත් හද කම්පනයෙන් යුක්තව පැවසිය යුතුය. පැතිර යන මාරාන්තික කොවිඞ් වසංගතය හමුවේ මද්‍යසාර පරිභෝජනය සහ දුම් පානයෙන් සමාජයට සිදු විය හැකි භයානක තත්ත්වය ගැන වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා මත්ද්‍රව්‍ය සහ මද්‍යසාරවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, මනෝ උපදේශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ඇති එකම ශ‍්‍රී ලාංකිකයා ලෙස අභිමානයට පාත‍්‍ර වී සිටින ඇමෙරිකාවේ වෙස්ට් වර්ජනියා භාවනා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථානාධිපති වහන්සේ ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවන්ව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කර ගත්තෙමු. මේ පෙළගැසෙන්නේ ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ දැක්වූ අදහස් ය.

‘‘මුළු මහත් ලෝකයේම මේ ගෙවී යන්නේ කොවිඞ් 19 කාලපරිච්ෙඡ්දයක්. ලෝකයේ දියුණු රටවල ජනගහනයෙන් සීයට හැත්තෑ පහකට වැඩි පිරිසකට ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබාදෙමින් තම රටවැසියන් සුරක්‍ෂිත කරගෙන සිටින පසුබිමක අපේ රට වගේ දිළිඳු රටවල් එන්නත් ලබාගැනීමට මුදල් නැතිව ලත වෙනවා. රට තුළ එන්නත්කරණය සිදුවෙන්නේ අතිශය මන්දගාමී ආකාරයට. එවැනි තත්ත්වයක් මත අපේ රටේ ජනතාවට ලබාදෙන එන්නතෙන් නිසි ප‍්‍රයෝජන ලබා නොගන්නා අවස්ථා ද තියෙනවා. ඒකට බලපාන හේතු කාරණා ගණනාවක් තියෙනවා…’’

‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ විග‍්‍රහයන්ට අනුව මේ එන්නත්වලින් සිදු කෙරෙන්නෙ ශරීරය තුළ ප‍්‍රතිශක්තිකරණ හැකියාව වැඩිදියුණු කිරීම. ඒ වගේම මේ එන්නත් තවම ක‍්‍රියාත්මක වෙන්නේ පර්යේෂණ මට්ටමේ. පසුගිය 27 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවට ලිපියක් ඉදිරිපත් කරන ඈන් හෙට්කෝනර් පර්යේෂකයා විසින් මේ එන්නත්වලට ඇල්කොහොල්වල තියෙන බලපෑම කරුණු සහිතව විග‍්‍රහ කරලා තිබුණා. එම ලිපියට අනුව ඇල්කොහොල් භාවිතය තුළදී ප‍්‍රතිශක්තීකරණය මර්දනය කිරීමක් සිද්ධ වෙනවා. ප‍්‍රතිශක්තීකරණය මර්දනය වීම තුළ ආසාදනයන් ඇතිවීමේ ප‍්‍රවණතාවය වැඩි වෙනවා. ඒ නිසා කවර රටක නිෂ්පාදිත ප‍්‍රතිශක්තීකරණ එන්නතක් ලබාගත්තත් ඔහුගේ පැවැත්ම පිළිබඳ ගැටලූ ඇති නම් විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතය අවම කරගැනීම සහ වැළකී නොසිටින්නේ නම් එන්නත් ලබාගැනීමේ ප‍්‍රතිඵල සාර්ථක කරගන්න බෑ…’’

‘‘තවත් පර්යේෂකයන් පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය අධ්‍යයන කේන්ද්‍රයේ සඟරාවට ලිපියක් ඉදිරිපත් කරමින් කොවිඞ් 19 වසංගත තත්ත්වයේදී ප‍්‍රතිශක්තීකරණය හීන කිරීමට ඇල්කොහොල් විශාල බලපෑමක් සිදු කරන බව තහවුරු කරලා තියෙනවා. ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය අක‍්‍රීය කිරීමට ඇල්කොහොල්වලින් විශාල බලපෑමක් සිද්ධ කරන බව පර්යේෂණ මට්ටමින් ඔප්පු කර ඇති බවත් එම ලිපියේ සඳහන් කර තියෙනවා. ඒ වගේම මද්‍යසාර පරිභෝජනය තුළදී උග‍්‍ර ස්වසන අපහසුතා ඇති වන බවත් ඔවුන් තහවුරු කරනවා. අධික ලෙස ඇල්කොහොල් ශරීරිගතවීම තුළ බෝවන රෝගවලට ගොදුරුවීමේ ප‍්‍රවණතාවය වැඩි බවත් එම ලිපියෙහි අන්තර්ගත කර තියෙනවා. සහජතා අනුවර්තී ප‍්‍රතිශක්තිය දුර්වල කිරීම තුළින් එච්.අයි.වී. ආසාදනය වැනි තත්ත්වයන්වල වැඩි ප‍්‍රතිශතයක් පෙනුම් කරනවා මෙන්ම කොරෝනා තත්ත්වය තුළදීත් අතිශය අවදානම් බවත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා. ඒ නිසා ඇමෙරිකාවේ එන්නත්කරණයේදී මත්ද්‍රව්‍ය, මද්‍යසාර, භාවිතා කරන අයට ප‍්‍රමුඛතාවයක් ලබාදෙමින් කඩිනමින් එන්නත් ලබාගැනීමට ඔවුන්ට අවශ්‍යතාව සැලසුවා…’’

‘‘ඒ වගේම ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබාගෙනත් කොවිඞ් ආසාදනය වෙච්ච පුද්ගලයන් ලෝකයේ විවිධ රටවලින් බහුල වශයෙන් වාර්තා වෙනවා. ඔවුන් පිළිබඳ විශේෂඥයන් කළ පර්යේෂණවලින් තහවුරු වී තියෙන්නෙ ඒ පුද්ගලයන් ආරක්‍ෂක ක‍්‍රම උපායන් භාවිතා නොකර සිටීම තුළ කොවිඞ් 19 වෛරසය ශරීරගත වී ඇති බවයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර භාවිතය තුළින් ඔවුන්ගේ ප‍්‍රතිශක්තීකරණය දුර්වල වෙලා තියෙන බව සනාථ වෙලා තියෙනවා. ඒ සියලූ කරුණු කාරණාවලින් තහවුරු වෙලා තියෙන්නේ ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබාගත් පමණින් කොවිඞ් 19 වෛරසයෙන් බේරී සිටීමට නොහැකි බවයි. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතය කොරෝනාට අත වැනීමකි. දැඩි ලෙස මත්ද්‍රව්‍ය, මද්‍යසාරයට ඇබ්බැහි වූ පුද්ගලයන්ට මොන රටේ එන්නත ලබාදුන්නත් කොවිඞ් ආසාදනයවීමේ අවදානම වැඩියි. ඒ නිසා රජයක් හැටියට මේ මොහොතේ රට තුළ මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතය පාලනය කිරීමට කඩිනම් ක‍්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා…’’

‘‘ඒත් අපේ රටේ අවාසනාවකට මත්ද්‍රව්‍ය භාවිතය සඳහා වැඩි කාලයක් ලබාදීමටත්, මත්පැන් අලෙවිසැල් විවෘත කරන කාලය දීර්ඝ කරන ලෙසට නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව තුළත් යෝජනා ඉදිරිපත් වෙනවා. මෙරටට පැමිණෙන සංචාරකයන්ට පහසුකම් සැලසීම ප‍්‍රධාන කොටගෙන මද්‍යසාර භාවිතය ප‍්‍රචලිත කළ යුතු බවටත් අදහස් මතු වෙමින් තිබෙනවා. ඒ වගේම විවිධ අදහස් ඉදිරිපත් කරමින් ගංජා නීතිගත කරන ලෙසට දේශපාලනඥයෝ, නළු නිළියෝ, දේශීය වෛද්‍යවරු කියා ගන්නා උදවිය දිගින් දිගටම ඉල්ලීම් කරනවා. තමන්ගේ විෂය පථයෙන් බාහිර දේවල් ගැන අදහස් ඉදිරිපත් කිරීමට වඩා ප‍්‍රතිපත්ති සැලසුම් කිරීමට පෙර අදාළ විෂය ගැන අධ්‍යයනය කිරීම වගේම විශේෂඥ සහාය ලබාගැනීම අතිශය වැදගත්. එහෙම නැතිව කටයුතු කිරීම තුළ බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන්නේ අප ජීවත් වන සමාජයටය…’’

‘‘ඒ වගේම අපේ රටට පැමිණෙන සංචාරකයන්ට ඇවැසි ඔලූව විකාර වෙන්න මත්ද්‍රව්‍ය, මද්‍යසාර පාවිච්චි කර සමාජශාලාවල බාල් නැටීමට නෙමෙයි. එවැනි අවශ්‍යතා ඉටුකර ගැනීමට ලෝකයේ දියුණු රටවල සුපිරිම මට්ටමේ සමාජශාලා තියෙනවා. අපි ජීවත් වන ඇමෙරිකාවේ නයිට් ක්ලබ්වලට වෙන් කරපු ප‍්‍රධාන නගර තියෙනවා. සම්පූර්ණයෙන් මුළු පළාත්ම සමාජශාලාවලට වෙන් කරලා තියෙනවා. එවැනි සුවිශේෂී වරප‍්‍රසාද සහිත ස්ථාන තියෙන ලෝකයේ ආර්ථික වශයෙන් දියුණු රටවල මිනිස්සු සමාජශාලා සොයාගෙන ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටකට එන්නේ නෑ. අපේ රටට පැමිණෙන සංචාරකයන්ගේ මානසික මට්ටම වෙනස්. ඒ වගේම එම සංචාරකයන්ගේ ඇල්කොහොල් පරිභෝජනය ඉතාම අල්පයි. ඔවුන් පැමිණෙන්නේ මෙරට පරිසරයේ තියෙන අද්දෘතීය භාවය විඳින්න. ග‍්‍රාමීය පරිසරයේ සුන්දරත්වය විඳින්න. ගැමි පරිසරය අත්විඳින්න. වන උද්‍යානවල අලි ඇතුන් ඇතුළු විවිධ වන සතුන්, ගහ කොළ දැකබලා ගන්න. මෙරට ඓතිහාසික නටබුන් දැකබලා ගැනීමට. ඒ සංචාරකයන් කැමති අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය වගේ ප‍්‍රදේශවල සංචාරය කරන්න. අපේ රටේ පිරිසිදු බොදු දහම අධ්‍යයනය කරන්න, බෞද්ධ ඉතිහාසය දැකබලා ගැනීමට වසරකට විශාල සංචාරකයන් පිරිසක් පැමිණෙන බවත් සිහිපත් කළ යුතුයි…’’

‘‘එවැනි යහපත් සිතින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට මද්‍යාසර අවශ්‍යතාව පමණට වඩා සම්පූර්ණ කළ යුතු යැයි කියන වචන තුළම ගැබ් වී තියෙන්නේ මෙරට මානසික දිළිඳුකම. මුදල්මය වශයෙන් ඇති වන දිළිඳුකමට වඩා මානසික දිළිඳුකම භයානකයි. අපේ රටේ මේ වන විට කිසිදු මිත‍්‍ර සමාගමක්, එකතුවක් මද්‍යසාර පාවිච්චියකින් තොරව කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒකට තමයි මානසික දිළිඳු භාවය කියන්නේ. මේ තත්ත්වයට හේතුව සිතීමේ ශක්තිය සහ විඳීමේ ශක්තිය හීන වීම. ලෝකයේ දියුණු රටවල මිනිස්සු මානසික දිළිඳුභාවයට පත් වෙලා නෑ. ඒ මිනිස්සු සංචාරය කරන වෙලාවට බීගෙන ඇවිදින්නේ නෑ. ඔවුන්ගේ රාත‍්‍රී ආහාරය තුළ දී ඉතාම අඩු ප‍්‍රතිශතයකින් ඇල්කොහොල් පාවිච්චි කරන්න පුරුද්දක් කරගෙන තියෙනවා. ඒ වගේම දියුණු රටවල මත්ද්‍රව්‍ය අලෙවිසල් සුලබයි. සෑම ඉන්ධනහලකම මද්‍යසාර අලෙවිසල් විවෘතව තිබෙනවා. ඒත් තෙල් ගහන්න යන හැම මිනිහෙක්ම අරක්කු මිලට ගන්න යන්නෙ නෑ. ඒ මිනිස්සු අරක්කු බෝතලයක් කියන දේ වතුර බෝතලයක් තරම්වත් ගණන් ගන්නෙ නෑ. අපේ රටේ දේශපාලනඥයන්ට, නිලධාරීන්ට මේ තත්ත්වය තේරුම් ගැනීමට බුද්ධියක් නෑ. මද්‍යසාරවලින් තොරව රසවින්දනයක් ලබන ආකාරය ගැන ඔවුන්ට අවබෝධයක් නෑ. මත්පැන් අලෙවිසල් විවෘත කර තැබිය යුතු කාලය දීර්ඝ කළ යුතුයි කියා පාර්ලිමේන්තුව තුළ විකාර යෝජනා ඉදිරිපත් කරන දේශපාලනඥයන් මානසික වශයෙන් දිළිඳුකමේ බින්දුවටම වැටිලා. ඔවුන්ගේ විදෙස් සංචාරයන් තුළ වින්දනය වෙලා තියෙන්නේ මද්‍යසාර, මත්ද්‍රව්‍ය විතරයි…’’

‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කර තිබෙන මිණුම් දඬුවලට අනුව මුදල් ඉපැයීම පමණක් නොවේ තිරසර සංවර්ධනය කියන්නේ. තිරසර සංවර්ධනය තුළ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙනවා වගේම රටවැසියන් කායිකව සහ මානසිකව නීරෝගිමත් පිරිසක් බවට පත්විය යුතුයි. මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතය වැඩි කිරීමට කතා කරන රටක නිරෝගිමත් සමාජයක් නිර්මාණය කිරීම විහිළුවක්. ඒ වගේම මිනිසුන්ගේ කායික, මානසික සෞඛ්‍ය මනාව පවත්වාගෙන යෑමට මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතා කළ යුතු බවට ලෝකයේ කිසිදු පර්යේෂණයකින් සනාථ වෙලා නෑ. මත්ද්‍රව්‍ය, මද්‍යසාර පරිභෝජනය තුළ අක්මාවේ පිළිකා තත්ත්වයන්, අධික දුම්පානය නිසා පෙනහළු අක‍්‍රියවීම්, පිළිකා තත්ත්වයන් ඇති වන බව නම් ලෝකයේ විශේෂඥයන් පර්යේෂණ මට්ටමින් තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම ලෝකයේ ප‍්‍රචලිත කිසිදු මත්ද්‍රව්‍යයක් මිනිස් ශරීරයට හිතකර යැයි කිසිදු පර්යේෂණයකින් මේ වන තෙක් තහවුරු කර නෑ. දුම්වැටියක ශරීරයට අහිතකර කෙමිකල් හාරදාහක් තිබෙන බවත් එයින් හැත්තෑ දෙකක් කෙළින්ම පිළිකා ඇති කරන බවත් ජාතික ඇමෙරිකන් සෞඛ්‍ය සඟරාව ප‍්‍රසිද්ධ කර තියෙනවා. සිගරට් එකයි, ගංජාවලයි ලොකු වෙනසක් නෑ. මේ කෙමිකල් ගංජාවලත් තියෙනවා. ගංජාවල බලපෑම් බහුලව තියෙන්නෙ ස්නායු පද්ධතියට බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තියෙනවා. එවැනි පසුබිමක මෙරට උත්තරීතර පාර්ලිමේන්තුව තුළින් හරසුන් කතා ඇසෙන කොට අපේ රටේ බලධාරීන් සහ නිලධාරීන් තිරසර සංවර්ධනය කියන ප‍්‍රතිපත්තිමය මිණුම් දඬු හඳුනාගෙන තිබේද යන්න ගැටලූ මතු වෙනවා. වසර හැත්තෑ දෙකක් තුළ සංවර්ධනය වෙමින් පවතින රටක් බවට අපේ රට පත් වී තිබෙන්නේ, සංවර්ධනය අරමුණු කරගෙන ප‍්‍රතිපත්ති සකස් කරන ආයතනය තුළ තීන්දු තීරණ ගැනීමට බුද්ධියක් ඇති ජනතා නියෝජිතයන් නැතිකම නිසයි. ඒ වගේම මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතයෙන් සමාජයට සිදුවන හානිය, මිනිසුන්ට වන හානිය විද්වත් මට්ටමින් කතා කරන්න ඇවැසි නෑ. බුද්ධියක් තියෙන මිනිසුන්ට එදිනෙදා සමාජයෙන් ලැබෙන අත්දැකීම්වලින් මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර සිදු කරන හානිය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මද්‍යසාර අලෙවිසල් විවෘත කර තබන වේලාව දීර්ඝ කළ යුතු යැයි යෝජනා ඉදිරිපත් කිරීම, බුද්ධි හීනයන්ගේ තකතීරු කතා නොවෙන්න පුළුවන්. උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම ලෝකයේ රටවල කොන්ත‍්‍රාත් ඉටු කිරීමක් විය හැකියි. අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරය තව අය මත යැපෙන රූකඩ බ`දුයි. ඒ රූකඩවලින් ඉදිරිපත් වෙන්නෙ වෙනත් අයගේ අදහස්. ඒ නිසා ඒ රූකඩ නැටවීම් ඉවතලා මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට උපරිම වින්දනයක් ලබාදෙමින් සංචාරක කර්මාන්තය දියුණු කරන්න සැලසුම් සකස් කිරීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතුයි…’’

math2

තරංග රත්නවීර / www.divaina.com

 940 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply