සංචරණ තහනමේ 90%ක ප්‍රතිඵල ලබන්න GMOA එකෙන් තුන් වැදෑරුම් වැඩපිළිවෙළක්!

රජය පනවා ඇති සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම තුළින් අපේක්‍ෂිත ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ ලබා ගැනීමට නම් අනිවාර්යයෙන් ම ක්‍රියාවට නැංවිය යුතු තුන්වැදෑරුම් වැඩසටහනක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරයි.

නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම, ජනතාව රජය විසින් ලබාදී ඇති උපදෙස් අකුරට පිළිපැදීම සහ ජනතාව අනවශ්‍ය අන්දමට පාරට යෑම වැළැක්වීම සඳහා සියලු ම මාර්ගවල, අත්‍යවශ්‍ය ආහාර ජංගම වෙළෙඳ රථ මගින් නිවෙස් කරා රැගෙන යෑමේ සංවිධානාත්මක වැඩසටහනක් දිනපතා ක්‍රියාත්මක කිරීමට අනිවාර්යයෙන් ම සිදුවිය යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අවධාරණය කරයි.

ආණ්ඩුව ආර්ථිකය පැත්තෙන් කැපකිරීමක් කර අමාරු තීරණයක් ගෙන සංචරණ සීමා පනවා ජනතාව නිවෙස් තුළ රැඳවීමට අනුගමනය කරන ක්‍රියාමාර්ග මගින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නම්, නීතිය අකුරටම ක්‍රියාත්මක කළයුතුව ඇතැයි ද බොහෝ ස්ථානවල ඊයේ දවස පුරා වාහනවලින් ගොස් භාණ්ඩ මිලදී ගැනීම කිසිම බාධාවකින් තොරව සිදුකෙරුණු බවත්, ජනතාව ද විශාල වශයෙන් වෙළෙඳ සල් අසල රොක්වෙමින් සිටි බවටත් තොරතුරු වාර්තාවී ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ ය.

රජය ලබාදී ඇති උපදෙස්වලට අනුගතවීමට ජනතාව තුළ විනයක් තිබිය යුතු බව අවධාරණය කරන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු, රජය පනවා ඇති නීති අකුරට ම ක්‍රියාත්මක කරනවා නම් ජනතාවට නීතියට අනුගතවීමට අනිවාර්යයෙන් ම සිදුවන බවත් පවසයි.

එක් නිවසකින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට එක් අයෙකු නිවසින් බැහැරට යන ලෙසත් එසේ බැහැරව යන පුද්ගලයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් යුත් අයෙකු නම් වඩා වැදගත් බව ද තම සංගමය විසින් උපදෙස් ලබාදී ඇතැයි ද ජනතාව ගැන සිතා රජය ලබාදී ඇති සහනය අනිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට ජනතාව පෙලඹීම හරහා සිදුවන්නේ කොවිඩ් වසංගතය තමන් විසින් තමන්ගේ නිවෙස් තුළට රැගෙන යෑම බව වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසීය.

රජය, සෞඛ්‍ය හා ජනතාව යන පාර්ශ්ව තුන ම එක හා සමානව වගකීම් ඉටුකළ යුතු බවත් එම අංශ තුනෙන් ම එක හා සමානව වගකීම ඉටුවුවහොත් ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමාවලින් අපේක්‍ෂිත ප්‍රතිඵලය සියයට 90ක් පමණ ලබාගත හැකිවනු ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු විශ්වාසය පළ කරයි.

 840 total views,  15 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply