කෝටි 60,000ක වියදමින් නව තෙල් පිරිපහදුවක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස රුපියල් කෝටි 60,000ක මුදලක් ආයෝජනය කරමින් නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට ආණ්ඩුව තීරණය කරයි.

ඒ අනුව මේ වර්ෂය අවසන් වනවිට අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් ජාත්‍යන්තර ලංසු කැඳවීමකින් නව තෙල් පිරිපහදුව ඉදිකිරීමේ ආයෝජකයා තෝරා ගැනීමට අපේක්ෂා කරන බවද බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

දැනට ශ්‍රී ලංකාවේ තිබෙන තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බැරල් 38,000ක් පමණ වන අතර එම ධාරිතාව බැරල් 45,000 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙන බවද බැරල් 100,000ක ධාරිතාවක් සහිත නව පිරිපහදුවක් ඉදිකිරීමට ද රජය තීරණය කර තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (25) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පෙන්වා දුන්නේ බිල්ඩ් ඕන් ඇන්ඩ් බිල්ඩ් ඔපරේටර් ඇන්ඩ් ට්‍රාන්ෂ පදනමින් ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සක්‍යතා අධ්‍යයන කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වන බවත් එය එළඹෙන ඔක්තෝබර් මාසයේ දී අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්ය.

මේ නව පිරිපහදුව වෙනුවෙන් දළ වශයෙන් රුපියල් බිලියන 600ක මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබෙන බවද මෙය ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය බවට පත්වන බවද සඳහන් කළ ඇමැතිවරයා ජාත්‍යන්තර ලංසු කැඳවීමකින් සිදුකරන ප්‍රථම ප්‍රධාන ව්‍යාපෘතිය බවට මෙය පත්වන බවද පෙන්වා දුන්නේය.

දැනට රටේ පවතින නීතිය අනුව තෙල් පිරිපහදුවක් පවත්වාගෙන යාමේ ඒකාධිකාරී බලය ඇත්තේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට බව පෙන්වාදුන් උදය ගම්මන්පිල මහතා ඒ හේතුවෙන් ඉදිකර මෙහෙයුම් කොට පැවරීම සිදුකිරීම සඳහා ආයෝජනය සිදුකරන සමාගමට අවශ්‍ය බලය නීතිමය ලබාදීම සඳහා 1961 අංක 28 දරන ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව ද සඳහන් කළේය.

වැවිලි ඇමැති රමේෂ් පතිරණ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 902 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply