ළමයි 20,000ක් අනතුරේ දමා ‘ප්ලෑන් ඉන්ටර්නැෂල් රටින් පනින්න යයි

ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ලොව විශාලතම පුණ්‍යායතනයක් වන ‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’ (Plan International) ශ්‍රී ලංකාවේ ළමයින් 20,000ක් අවදානමට ලක් කර, පරිත්‍යාගශීලීන් නොමඟ යවා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තා කරයි.

ගාඩියන් පුවත්පතට අදහස් පළකර ඇති ප්ලෑන් ඉන්ටර්නැෂනල්හි හිටපු සේවකයින් සහ ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරු, මෙම ආයතනය මෙරටින් පිටවීම ‘වගකීම් විරහිත’, ‘නරුම සහ අවිනිශ්චිත’ ක්‍රියාවක් ලෙස විස්තර කර ඇත.

මේ පිළිබඳව ජාතික රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ රාජා ගුණරත්නගෙන් ‘අරුණ’ කළ විමසීමකදී හෙතෙම සඳහන් කරන ලද්දේ අදාළ සංවිධානය මෙහෙයුම් අවසන් කර රටින් පිටව යෑමට අවසර ඉල්ලා ඇති නමුත් ඊට අවශ්‍ය කොන්දේසි සපුරා නොමැති බැවින් එම අවසරය ලබාදී නැති බවයි. වත්කම් හා වගකීම් නිරවුල් කිරීම,දැනට සේවකයන් 13 දෙනකු ආයතනයට එරෙහිව ගොනු කර ඇති නඩු පිළිබඳව වගකිවයුතු පාර්ශ්වයක් නම් කිරීම ඇතුළු කොන්දේසි 10ක් ඉටුකරනතුරු එම ආයතනයට මෙරටින් නිල වශයෙන් පිටවිය නොහැකි බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.කෙසේවෙතත් මෙරට දේශපාලනයට සම්බන්ධවීම,මුදල් අයුතු ලෙස භාවිත කිරීම සහ සේවක ගැටලු ඇතුළු චෝදනා රැසක්ම ‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’ ආයතනයට එරෙහිව පවතින බව පැවසේ.

ශ්‍රී ලංකාවේ දශක හතරක් පමණ ක්‍රියාත්මක වී ඇති ප්ලෑන් ඉන්ටර්නැෂනල් ආයතනය 2019 දෙසැම්බරයේ දී ප්‍රකාශ කරන ලද්දේ රටේ ආර්ථිකයේ “සැලකිය යුතු වර්ධනය” සහ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශක ශ්‍රේණිගත කිරීම්වල “කැපී පෙනෙන දියුණුවක්” හේතුවෙන් තමන් ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යන බවයි. එහෙත් මෙරට දුගී දරුවන් වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා පමණක් 2020 වර්ෂයේදී බ්‍රිතාන්‍ය පවුම් මිලියන 310ක (රුපියල් කෝටි 8649ක්) මුදලක් ප්ලෑන් ඉන්ටර්නැෂනල් වෙත ලැබී ඇති අතර එම මුදල් වැයකර ඇති ආකාරය පිළිබඳව විනිවිදභාවයක් නැති බව සේවකයන් පවසා ඇත.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඌව පළාතේ දරුවන් වෙනුවෙන් යෝජනා වී තිබුණු ව්‍යාපෘති කිසිවක් ආයතනය විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නොමැති බවත් ඒ හේතුවෙන් ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වූ දරුවන් සහිත පවුල් රැසක් අසරණ වී ඇති බවත් ගාර්ඩියන් වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 965 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply