අන්තවාදය භයානකයි, අපි එය හඹා යා යුතුයි – ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න!

විජයග‍්‍රහණය සමරනවා සේම ලබා ගත් ජයග‍්‍රහණය ආපසු හැරවීමේ සියලූ වෑයම් ද දේශයක් ලෙස පරාද කරගත යුතු මොහොත එළඹ තිබේ. එදා 53 වැනි සේනාංකාධිපති ලෙස ත‍්‍රස්ත නායකයා සිය බල ප‍්‍රදේශයේ දීම මරා දැමීම සඳහා නායකත්වය සපයන ලද මේජර් ජනරාල් කමල් ගුණරත්න, අද, ජනරාල් කමල් ගුණරත්න ලෙස ආරක්ෂක ලේකම්ධුරය හොබවමින් සිටියි. විජයග‍්‍රහණයේ මතක සේම, එය තවත් සියවසක් පවත්වා ගැනීම පිළිබඳව ඔහු හමුවේ ඇති භාරධූර වගකීම හේතුවෙන්, දිවයින ඉරිදා සංග‍්‍රහය විජයග‍්‍රහණය පිළිබඳව ඉදිරි කතාවට දායකකර ගන්නා ලද්දේ, ඔහුය.

ප‍්‍රශ්නය – රටේ ඉරණම පිළිබඳව තීරණාත්මක වූ වසර දොළහක මතකයේදී, සේනාංකාධිපතිවරයකු ලෙස එදා කටයුතු කළ ඔබ, අද ආරක්ෂක ලේකම්වරයා. වසර දොළහකට පෙර ඒ මතකයෙන් අපේ කතාව ආරම්භ කළහොත්…

පිළිතුර – මට මතකයට නැගෙන්නේ, ඒ කාලයේ අපේ නිලධාරීන්, අපේ සෙබළු මොනතරම් දුකක් ඒ කාලයේ වින්දා ද කියලා. අපි විතරක් නෙවෙයි, අපේ පවුල්වල මවුවරු, පියවරු, දූ දරුවන්, බිරින්දෑවරුන් මොනතරම් දුකක් ඒ කාලය පුරා වින්දා ද කියන එක මගේ සිහියට නැෙඟනවා. ඒ මොනතරම් ගින්නක් ද…? දවසක් දෙකක්ද… නැහැ අවුරුදු ගාණක් ඒ පවුල්වල සාමාජිකයෝ ඒ දුක වින්දා. සීල් කරපු මිනී පෙට්ටියක කොයි වේලේ, තමන්ගේ ඥාතියා ගෙදර එයිද කියලා, ඒ මිනිස්සු හූල්ල හූල්ලා ගෙවල්වලට වෙලා හිටියා. හමුදා වාහනයක් ගෙවල් පැත්තට හරවනවා දැක්කම, මිනිස්සු අඬන්න පටන් ගන්නවා.

අතපය කෑලි ගැලවිලා, කොටන් වගේ තමන්ගේ පුතා ඉන්නවා දැක්කහම, ඒ අම්මලට තාත්තාලාට, තමන්ගේ ස්වාමියා ඉන්නවා දැක්කම ඒ බිරින්දෑවරුන්ට තමන්ගේ තාත්තා ඉන්නවා දැක්කහම ඒ දරුවන්ට, මොනවා හිතෙනවා ඇද්ද…? ඒ සෙබළා වසර හැත්තෑවක් ජීවත් වෙනවා නම්, වයස විස්සේදී තුවාල වුණා නම්, ඒ සෙබළා කොටයක් වගේ තව අවුරුදු පනහක් ඇඳක් උඩ එහෙම ඉන්න ඕනේ. ඒ සෙබළාගේ මානසිකත්වය කොහොම ඇද්ද…? ඒ සෙබළාගේ පවුලේ ඥාතීන් මොනවා හිතනවා ඇද්ද…? එකවරක්, දසවරක් නෙමෙයි, දස දහස් වරක් නෙමෙයි, දකින දකින හැම වාරයකම ඒ අය මැරී මැරී උපදිනවා. ඒවගේම තමයි මේ රටේ ජනතාව… දෙහිවල බෝම්බය, මරදානේ බෝම්බය, හොරව්පොතානේ බෝම්බය මේවා නිසා මුළුරටම හිටියේ කොයි තරම් බයෙන්ද…? මුළුරට ම කීපාරක් මේ වගේ ඛේදවාචක නිසා වැළපුනා ද…?

ප‍්‍රශ්නය – ඔබ මේ වගේ සඳහන් කළත්, සමහරුන් තවමත් කියන්නේ, ඒ රස්සාව කියලා…

පිළිතුර – අපි අපේ ජීවිත, අපේ තරුණ කාලය මේ රට ජාතිය වෙනුවෙන් කැපකරලා, කෙනෙක් කිව්වේ, මේක රස්සාව කියලා. මට අහන්න තියෙන්නේ, රස්සාවට බෝම්බ පාගන මිනිස්සු ඉන්නවා ද කියන එකයි. හසලක කුලරත්න වීරයාගේ ස්මාරකය ගාව, ඒ බුල්ඩෝසරය එක්ක, කුලරත්න වීරයාගේ පඩිපත තියෙනවා. ඔහුගේ මාසික පඩිය රුපියල් තුන්දාස් ගාණයි. ඒ වගේ වැඩක් රුපියල් තුන්දාස් ගාණකට මිනිහෙක් කරයිද…? ඒ තමයි වීරත්වය… තමන්ගේ රට ජාතිය වෙනුවෙන් තියෙන කැක්කුම… ඒක රස්සාවක් කියන අයගේ මානසිකත්වය මට නම් හිතා ගන්න බැහැ.

ප‍්‍රශ්නය – යහපාලන ආණ්ඩු සමයේදී ජාතික ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම රණවිරුවන්ට නොසැලකීම පිළිබඳව ඔබ ප‍්‍රසිද්ධියේ කථා කළා. දැන් ඔබ ආරක්ෂක ලේකම්වරයා. දැන් ඒ රණවිරුවන්ට සලකනවාද…?

පිළිතුර – කෘතගුණ සැලකීම කියන එක සිංහල ජාතියේ විශේෂයෙන්ම බෞද්ධයන් අතර බොහොම වැදගත් දෙයක්. මේ සෙබළුන් කරපු දේ සම්බන්ධයෙන් කෘතගුණ සැලකීම ඒ කාලයේදී සිදුවුණාද කියන එක සම්බන්ධයෙන් අපිට ප‍්‍රශ්නයක් මතුවුණා. ඒ ගැන අපි එදා කථා කළා. අද මම ආරක්ෂක ලේකම් ලෙස මේ විජයග‍්‍රහණය සම්බන්ධයෙන් විශාල කර්තව්‍යයක් ඉටු කරනවා. ඉතිහාසයේ අපි විජයග‍්‍රහණ කරපුවිට රුවන්වැලි මහා සෑය වගේ යෝධ දාගැබ් ඇති කළා. ඒ වගේම මේ විජයග‍්‍රහණයෙන් පසු, අපේ පස්වැනි විධායක ජනාධිපතිතුමා සඳහිරු සෑය කියන චෛත්‍යය ගොඩනංවන්න පටන් ගත්තා. ගොඩනැඟුවාට පසු එය ලංකාවේ දෙවැනි විශාල ම චෛත්‍ය වෙනවා. සඳහිරු සෑය හදන්නේ, මේ මතකය ජාතියේ තැන්පත් කරන්න. එදා දුටුගැමුණු රජතුමා කරපු දේ තමයි, අද අපිට මහා සෑය දකිනකොට සිහිපත් වෙන්නේ. ඒ වගේම අනික් රජවරු කරපු දේ නිසා තමයි අපි ජාතියක් විදිහට ආඩම්බර වෙන්නේ. ඒ වගේම අපේ අනාගත පරපුරටත්, ඒ අයගේ මුතුන් මිත්තන් කරපු දේවල් අපි ඉතුරු කරන්න ඕනේ. එතකොට තමයි, ඒ අයට තමන්ගේ පරපුර ගැන ආඩම්බරයක් ඇති වෙන්නේ. ඔය සඳහිරුසෑයට මම කියන අනිත් නම තමයි, කළගුණ සෑය… අපේ යුද්ධයේදී ජීවිතය පූජා කරමින්, අබාධිත වෙමින් අපේ සෙබළු කරපු සේවය මේ මවුබිමටත්, ජනතාවටත්, ඉර හඳ තියෙනකන් සිහිපත් වෙන්න තමයි, අපි මේ සඳහිරු සෑය හදන්නේ. ඒ තමයි අපේ ප‍්‍රධාන කෘතගුණ සැලකීම.

ප‍්‍රශ්නය – ඒ වගේම දිවිපිදූ සිය සැමියා නිසා අසරණ වූ භාර්යාවන් රාශියක් මෙරටේ සිටිනවා. දැන් ඔවුන් සිටින්නේ අන්ත අසරණව. ඔවුන් වෙනුවෙන් සුසුම් පමණද තවම ඉතිරිවී පවතින්නේ…

පිළිතුර – ආබාධිත සෙබළුන්ට වයස පනස් පහක් වෙනකන් පමණයි වැටුප ලැබුණේ. පනස් පහෙන් පස්සේ, වැටුප නතර වුණා. විශ‍්‍රාම වැටුප පමණක් හිමිවුණා. මේ ගැන මමත් විශ‍්‍රාම ගියාට පසුව, ලොකුවට කථා කළා. හිටපු ආණ්ඩුව මේකට කොහෙත්ම කැමැති වුණේ නැහැ. ඒ සෙබළුන් ඇවිල්ලා, ගිය ආණ්ඩුව කාලේ පිටකොටුවේ උද්ඝෝෂණයක් කරනකොට රටම, ඔවුන් වෙනුවෙන් නැඟී සිටියා. මේ නැඟී සිටීම නිසා,

පසුගිය රජයට වෙන කරන්න දෙයක් නැති වුණා. මේ නිසා ඒ අයට මිය යනතෙක් වැටුප් ගෙවන්න ඒ ආණ්ඩුවට සිද්ධ වුණා. පසුගිය රජය ඒ කරපු දේ මම අගය කරනවා. නමුත් ඒක තීරණය කළේ, මේ ලොකු බලවේගය වෙන ක‍්‍රමයකින් නතර කරන්න බැරි වුණු නිසා. ඊට පසු ඒ අයගේ ඉල්ලීම වුණේ, මේ වගේ සමහර ආබාධිත සෙබළුන්ගේ බෙහෙත් හේත් සඳහා විශාල මුදලක් වැය වෙනවා. බෙහෙත් ගන්න, කොළඹ හමුදා රෝහලට එන්නත් විශාල මුදලක් වියදම් වෙනවා.

මිය ගිය සෙබළුන්ගේ භාර්යාවන් බොහෝදෙනෙක් අවුරුදු විසි ගණන්වල තරුණියන්… සමහරුන්ගේ මහත්මයා මැරෙනකොට දරුවෝ බඬේ… ළමයි ඉපදිලාවත් නැහැ… එහෙම තාත්තා දැකපු නැති දරුවෝ සමග තනිවුණු බිරින්දෑවරු සිය ගණනක් මේ රටේ ඉන්නවා. මේ අය බොහෝ දෙනෙක් දරුවොත් ලොකු මහත් කරගෙන, තමන්ගේ දෙමවුපියනුත් බලාගෙන, තමන්ගේ ස්වාමිපුරුෂයාගේ දෙමවුපියනුත් බලාගෙන ජීවත් වුණා. ඒ අයට රජයෙන්, මිය ගිය ස්වාමිපුරුෂයාට වයස පනස් පහ පිරෙනකන්, වැටුප ගෙව්වා. ඒකත් අපි ලොකු සටනක් විදිහට ඉදිරියට ගෙනාවා. මේ ගැන ඉල්ලීම් කරද්දී, ඒ කාලයේ හිටපු මුදල් අමාත්‍යවරයා ඇහැව්වේ ” සල්ලි ගස්වලින් කඩන්නද… මේක අපි කවදාවත් දෙන්නේ නැහැ…” කියලා. ගෝඨාභය ජනාධිපතිතුමා, පත්වෙන්න ඉසෙල්ලාම පොරොන්දුවක් දුන්නා, මේ වැන්දඹු බිරින්දෑවරුන්ගේ ප‍්‍රශ්නය විසඳනවා කියලා. මම ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වුණහම, මේ ගැන විශාල කාර්යභාරයක් ඉටු කළා. අපි මේ ගැන පරිපාලන ප‍්‍රශ්න සියල්ල, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු මට්ටමෙන් කටයුතු කළා. ඒ අනුව කැබිනට් පත‍්‍රිකා හදලා, ප‍්‍රශ්න සියල්ලම විසඳුවා.

ප‍්‍රශ්නය – ඔබ පවා ඒ තත්ත්වය සඳහා යොමු වුණේ, ඒ සෙබළ බිරින්දෑවරුන් උද්ඝෝෂණය කළාට පස්සේ…

kamal2පිළිතුර – මේක විශාල ක‍්‍රියාදාමයක්… ඒ අතරේ නව කැබිනට් මණ්ඩලයක් පත්වුණා. ආයෙත් අපි අලූතන් කැබිනට් පත‍්‍රිකා හැදුවා. එහෙම යන අතරේ තමයි, හාමුදුරුවෝ නමක් එක්ක, මේ වැන්දඹු බිරින්දෑවරු කිහිපදෙනෙකු උද්ඝෝෂණය කරන්න පටන් ගත්තේ. මම ඒ බිරින්දෑවරුන්ට කථා කළා. ” දරුවනේ ඔයගොල්ලන්ගේ මහත්වරු මේ රටේ හිටපු රත්තරන් කොල්ලෝ… ඒ කොල්ලෝ මේ රට බේරාගත්ත, පිනෙන් ඉන්නවා ඇත්තේ, දිව්‍ය ලෝකේ… ඔයගොල්ලො පාරට බැහැල උද්ඝෝෂණ කරනකොට, ඒ අය අඬනවා ඇති. ඔයගොල්ලොන්ගේ මහත්වරු යුද්ධයට අරගෙන ගිය අපි නම්, ඔයගොල්ලන්ගේ මහත්වරු එක්ක යුද්ධය කළේ අපි නම්, ඒ අය ගැන අපිට විතර කැක්කුමක් වෙන කාටවත් තියෙන්න විදිහක් නැහැ. ජනාධිපතිතුමා මේක කරනවා කියලා, පොරොන්දුවක් දුන්නා… මේක කරනවා කියලා මම භාර ගත්තා. මේක රාජකාරියක් විදිහට සලකළා විතරක් නෙමෙයි අපි කරන්නේ… මේක අපේ යුතුකමක්… කළගුණ සැලකීමක්…” කියලා මම කිව්වා. හුඟක් අය ඒක අහලා ගෙදර ගියා. සමහරු අර හාමුදුරුවන්ගේ මෙහය වීමෙන්, අපේ‍්‍රල් මුල හෝ මාර්තු අන්තිම, උද්ඝෝෂණයට ආවා. අපේ අමාත්‍යාංශයේ ගේට්ටුව ඉස්සරහා ලොකු උද්ඝෝෂණයක් කළා. මටත් ජනාධිපතිතුමාටත් ගොඩක් අපහාස කළා. පොලිස් නිලධාරීන්ටත් තර්ජනය කළා. විශේෂයෙන්ම මට තර්ජනය කළා. ”අපි තවත් දවස් අටයි දෙන්නේ… දවස් අටෙන් පස්සේ, අපි මෙතැන වාඩි වෙනවා. අපි අවුරුදු කන්නේ මෙතැන…” කියලා, ඔය හාමුදුරුවෝ කිව්වා. හාමුදුරුවෝ අවුරුදු කන්න මෙතැන වාඩි වෙනවා කිව්වහම, හාමුදුරුවෝ අවුරුදු කන විදිහ බලලා තමයි මම මේකේ ඉතිරි වැඩ කොටස කරන්නේ කියලා, මම මේක එතකං නතර කළා. මමවත් ජනාධිපතිතුමාවත්, තර්ජනවලට බයේ මේවා කරන්නේ නැහැ, ඒක අපි කරන්නේ අපේ යුතුකමක් විදිහට. අපි මේක කළාට පස්සේ, හාමුදුරුවෝ කියයි ”මම තර්ජනය කරපු නිසා, ආරක්ෂක ලේකම් ඒකට බයේ මේ කළේ…” කියලා. අපි කාටවත් බය නැහැ. අපිට බයවෙන්න හේතුවකුත් නැහැ. හාමුදුරුවෝ අවුරුදු කන්න එන නිසා, මම කැබිනට් කාර්යාලයට කියලා, ඒක නතර කළා. අවුරුදු පහුවෙලා, මේක කරමු කියලා.

ඒ සැරේ මට විශාල කලකිරීමක් ආවා. මේ කැබිනට් පත‍්‍රිකාවට මම අත්සන් කරලා, ජනාධිපතිතුමා, ආරක්ෂක ඇමැතිවරයා විදිහට අත්සන් කරලා, ඒක කැබිනට් එකට යවලා තිබ්බා. ඔය උද්ඝෝෂණයට ආපු කාන්තාවෝ ගෙන්වලා ”දරුවනේ… ඇයි මෙහෙම කරන්නේ… මෙන්න කැබිනට් පත‍්‍රිකාව…” කියලා මම ඒක පෙන්නුවා. මේක අපි යවලා තියෙන්නේ, උද්ඝෝෂණය කරන්න එපා කිව්වහම, ඒ ළමයි ගියා. ඒත් හාමුදුරුවෝ පහුවදා ආයෙත් කට්ටියක් අරගෙන ආවා. හාමුදුරුවන්ට නීතිය ක‍්‍රියාත්මක වුණා. මෙතැන නම් අවුරුදු කෑවේ නැහැ. මම දන්නේ නැහැ, හාමුදුරුවෝ කොහේද අවුරුදු කෑවේ කියලා. ඊට පස්සේ කිසිම කලබලයක් නැහැ. මේකේ තමයි ඒ සැලකීම. මෙතැනදී අපි පොලිසියත් මේකට දැම්මා.

මේ තමයි ඒ. මිය ගිය සාමාජිකයාගේ වයස අවුරුදු පනස් පහ සම්පූර්ණවන දිනට, ගෙවන වැටුප, වැටුප් සහ දීමනා නොවෙනස්ව වැන්දඹුවගේ ජීවිත කාලය පුරාවටම ලබා දෙනවා.

ඒ වගේම දෙමවුපියන් ගැන කවුරුවත් බැලූව් නැහැ. ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් විදිහට, ඉන්න කොට, 2007 නොවැම්බර් ඉඳලා මිය ගිය රණවිරුවන්ගේ මවුපියවරුන්ට, ඒ අයගේ වැටුපෙන් 25%ක් යන විදිහට හැදුවා. ඊට කලින් මිය ගිය අයට ඒක ලැබුණේ නැහැ. ඒ බිරින්දෑවරු ඒකට අකමැති වුණා. මේ දෙමවුපියෝ අන්ත අසරණ තත්ත්වයක හිටියේ. මේ අයට යැපෙන්නගේ දීමනාව කියලා, රුපියල් හයදාහක් ද කොහෙද ලැබුණා. ඒ අයට, ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් මිය ගිය විවාහක/ අවිවාහක ත‍්‍රිවිධ හමුදා/පොලිස් සාමාජිකයන්ගේ දෙමාපියන් වෙත සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දින සිට දෙමාපියන් ජීවත්ව සිටින තෙක් රුපියල් 25,000ක මාසික දීමනාවක් අපි ලබා දුන්නා. මේවා ඉල්ලපුවා නෙමෙයි. ජනාධිපතිතුමයි, මමයි කථා කරලා තමයි ඒවා ලබා දුන්නේ.

* ත‍්‍රස්ත ක‍්‍රියා නොවන වෙනත් මෙහෙයුම් රාජකාරීවල යෙදී සිටියදීත් ආබාධිත ත‍්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වෙත සහ මිය ගිය සාමාජිකයන්ගේ යැපෙන්නන් වෙත අදාළ සිදුවීම් පිළිබඳව කමිටුවක් මගින් පරීක්ෂාකර බලා එම අයවලූ සහ යැපෙන්නන් වෙතද වයස 55 සම්පූර්ණ වූ දිනට හිමි වූ වැටුප් හා දීමනා නොවෙනස්ව හිමි ගැන්වීම.

* පැවැති යුදමය වාතාවරණයේ ප‍්‍රතිඵලයක් ලෙස සිදු වූ පශ්චාත් යුද ක‍්‍රියාකාරකම් (පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීම වැනි ) කාර්යයක නිරත වීමේදී ආබාධිත වූ/ මිය ගිය ත‍්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වෙත අදාළ සිදුවීම පිළිබඳව කමිටුවක් මගින් පරීක්ෂා කර බලා එම අයවලූ හා යැපෙන්නන් වෙත ජීවිතාන්තය දක්වා වයස 55 සම්පූර්ණ වූ දිනට හිමි වූ වැටුප් හා දීමනා නොවෙනස්ව හිමි ගැන්වීම.

* ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත‍්‍රිවිධ හමුදා/ පොලිස් සාමාජිකයන් වයස අවුරුදු 55 සම්පූර්ණවීමට පෙර මිය ගියහොත් ඔවුන් අවුරුදු 55 තෙක් ජීවත්ව සිටින්නේ යැයි සලකමින් ඒ දක්වා වැටුප් හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත හිමි ගැන්වීම.

* ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් ආබාධිතව එම ආබාධිත බැවින් ඇති වූ මානසික ව්‍යාකූලතාවයක් නිසා සියදිව නසාගත් සාමාජිකයකුට (වයස 55 තෙක්) අයත් වැටුප් හා දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත හිමි ගැන්වීම කියන දේවල් අපි ලබා දුන්නා.

ජනාධිපතිතුමා විදිහට, අගමැතිතුමා අද මුදල් ඇමතිවරයා ලෙස, යුද්ධයට නායකත්වය ලබාදුන්න, සේනාධිනායකයා ලෙස, මම ආරක්ෂක ලේකම් ලෙස අපි කළගුණ සලකලා තියෙනවා.

ප‍්‍රශ්නය – කොහොමද රටේ ආරක්ෂක තත්ත්වය… ඒ සම්බන්ධයෙන් ඔබගේ වගකීම ඉටුවෙමින් තිබෙනවාද…? එල්ටීටීඊ ඩයස්පෝරාවේ කිහිපදෙනෙකු යළි ක‍්‍රියාත්මකවන බවට ආරංචි පැතිර යනවා…

පිළිතුර – ඔය විදිහේ, බොහොම සුළුකොටස් මේ ත‍්‍රස්තවාදය තවදුරටත් ගෙනි යන්න උත්සාහ කරනවා. අපි ඒ අය ගැන විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා, එවැනි සුළුදේකටවත් අපි ඉඩ දෙන්නේ නැහැ. උතුරේ සමහර දේශපාලන නායකයන් මේ සඳහා සහාය දෙනවා. අපි ඒවාට ඉඩ දෙන්නේ නැහැ, අපි මේකේ භයානකකම දන්නවා. යුද්ධය භයානකයි… අන්තවාදය භයානකයි. ඒ භයානකකම අපිව වෙලා ගන්න ඉස්සෙල්ලා, අපි එකේ සුවඳ දැනගෙන හඹා යන්න ඕනේ. හිටපු හමුදා නිලධාරියකු ලෙස අපි ඒවා හඳුනාගෙන තියෙන්නේ. ඈත තියාම හඳුනාගෙන, ඒවාට අවශ්‍ය ක‍්‍රියාමාර්ග අපි අර ගන්නවා. ත‍්‍රස්තවාදයට නැඹුරු වුණු කට්ටිය හිරේ දාලා විතරක් මේක හරියන්නේ නැහැ. ඒවගේ තත්ත්වයක් ඇති කරන්නේ දැඩි මතධාරීන්. මේ රටේ දැඩි මතධාරීන්ට අපි ඉඩ තියෙන්නේ නැහැ.

උපුටා ගැනීම : www.divaina.com

 829 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply