නිශ්ශංක සේනාධිපති නිදොස් කොට නිදහස් කළ නඩු තීන්දුව මෙන්න!

ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවස්ථාවේදී එම නඩුවේ චූදිතයන් අත්අඩංගුවට ගැනීම සඳහා බැලූ බැල්මට පිළිගත හැකි සාක්ෂි තිබුණේ ද යන්න පිළිබඳ බරපතළ ගැටලුවක් මතුවන බව පවසමින් ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (මැයි 21) නියෝග කළේ ය.

ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න හා මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, පාවෙන අවි ගබඩාවේ අවි භාරකරු විජේතුංග තිලකරත්න හා පාවෙන අවි ගබඩාවේ මෙහෙයුම් කළමනාකරු සුමුදු නිලුපුල් කොස්තා, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සභාපති ලෙස කටයුතු කළ වික්ටර් සමරවීර, MV Avant Garde නෞකාවේ කපිතාන් ගෙනඩ් ග්‍රැව්‍රිලෝව්, ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් සමාගමේ වාණිජ නෞකා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී විශ්වජිත් නන්දන දියබලනගේ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වන සමන් දිසානායක යන මහත්වරු මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කෙරිණි.

එම නඩුවේ පස් වන විත්තිකරු ලෙස නම් කර සිටි පී.බී. ප්‍රේමචන්ද්‍රන් නමැති අය නඩු විභාගය අතරවාරයේ මිය ගොස් තිබුණු බව අධිකරණය හමුවේ කරුණු වාර්තා වී තිබිණි.

ඒ අනුව අධිකරණය තීන්දුව මෙසේ සඳහන් කරන ලදී.

“2015 වසරේ ඔක්තෝබර් 5 වන දින මෙම නැව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරයට ගෙන ඇත. එසේ ගන්නා අවස්ථාවේදී නැව තුළ තිබුණු ගිනි අවි හා ජීව උණ්ඩ සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇති අතර මේ වන විට මෙම නඩුව පවත්වාගෙන යන්නේ ජීව උණ්ඩ හා එකී ජීව උණ්ඩවලට අදාළව ව්‍යාජ අවසර පත්‍ර සැදීම සඳහා ය.

ඇවන්ට් ගාඩ් සමාගම සතු ගිනි අවි රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ගිනි අවි වන අතර එම සමාගම රජයේ ආරක්ෂක සමාගමක් වන බැවින් සහ පුපුරණ ද්‍රව්‍ය පනතේ ප්‍රතිපාදන අනුව 30 (1) වගන්තිය අනුව අවසර පත්‍රය අවශ්‍ය නොවන බව අප තීරණය කරමු.

රතු මුහුදේ සිට ගාලු වරාය දක්ව ගිනි අවි 813 සඳහා ජීව උණ්ඩ දෙලක්ෂ නවසිය තිස් පනක් සඳහා අවසර ඉල්ලමින් රක්නා ලංකා සමාගම හා ඇවන්ට් ගාඩ් සමාගම 2015 සැප්තැම්බර් 28 වන දින ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලුම් පත්‍රයක් ගොනු කල් බවට බොරු සාක්ෂි ගෙතූ බවට ඇති චෝදනා සඳහා පැමිණිල්ල ඉදිරිපත් කළ ලේඛනය සලකා බලන ලදී.

රක්නා ලංකා සමාගම වෙනුවෙන් අත්සන් කර ඇත්තේ මියගොස් සිටින පළමු වන චූදිතයා වේ. ඇවන්ගාඩ් සමාගම විසින් අත්සන් කර ඇතතේ මෙහි සිටින හත් වන චූදිත වේ. ඊට අමතරව, ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස එකොළොස් වන චූදිතයා අත්සන් කර ඇත. ඉහත කී අත්සන් හා සටහන් නිර්ව්‍යාජ බවට කිසිදු විවාදයක් නැත. තව ද එම ලේඛනය 5 හා 7 විත්තිකරුවන් අත්සන් කර ඇත්තේ 2015 සැප්තැම්බර් 24 දින පසුව බව පැහැදිලිය. තව ද මෙම ලේඛනය 2015 සැප්තැම්බර් 28 දින නොවන වෙනත් දිනක‍ ආරක්ෂක අමාත්‍යංශය වෙත ඉදිරිපත් වූ බවට කිසිදු සාක්ෂියක් පැමිණිල්ලෙන් ඉදිරිපත්වී නැත. 

මෙම පසුබිම තුළ කරුණු විශ්ලේෂණය කිරිමේ දි පෙනී යන්නේ, මෙම ලේඛනය මගින් බොරු සාක්ෂි ගෙතීමක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවූ බවය. ඇත්තෙන් ම එම ලේඛනය ව්‍යාජ ලේඛනයක් ලෙසට කිසිදු සාක්ෂියක් ඉදිරිපත්වී නැත.

මෙම ප්‍රශ්න ගත ඉල්ලුම් පත්‍රය 2015 සැප්තැම්බර් 28 වන දින ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වූ බව එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන අයගේ සාක්ෂිය මගින් පැහැදිලි ව අනාවරණයවී ඇත. ඉහත කරුණු අනුව පැහැදිලිව පෙනී යන්නේ, ව්‍යාජ ලේඛන සැකසූ බව කියන චෝදනාව ඔප්පු කිරීමට පැමිණිලිකරු අපොහොසත් වි ඇති බවය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහත කී වරදට අනුබල දීම මත ගොනු කර ඇති අධි චෝදනා දෙක ද පවත්වාගෙන යාමේ නීතිමය හැකියාවක් නොමැති බව අපි තිරණය කරමු.

ජාත්‍යන්තර මුහුදේ වෙළෙඳ නැව් වලට ආරක්ෂාව දීම සඳහා පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාමට නීති තත්ත්වය අප රට තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද සලකා බලන ලෙස වියවුල් සහගත තත්ත්වයක් ඇති බව පෙනී යයි. මේ අනුව, ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය හා රජය අයත් සමාගමක් වන රක්නා ලංකා ආරක්ෂක සමාගම හා ඇවන්ගාඩ් සමාගම අතර වූ නීත්‍යනුකූල ගිවිසුමක් මත සිදුවී ඇති අවස්ථාවක මෙන් ම අන්තර්ජාතික වශයෙන් ද නීතියෙහි හිඩැස පවතින විට යම් කිසි අයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරිමේ දී ඉතා සුපරික්ෂාකාරී ලෙස කටයුතු කල යුතු බව අපගේ හැඟීම වේ.

මෙම නඩුවේ 13 වන විත්තිකරු වන වික්ටර් සමරවිර යන චූදිතයාට එරෙහිව නඩුව පවත්වාගෙන ගියේ කෙසේ ද යන්න ගැටලුවකි. ඔහු හුදෙක් අත්අඩංගුවට ගෙන ඇතතේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සභාපතිවරයා වීම නිසා ම පමණි. වසර 34 රාජ්‍ය සේවයේ පරිපාලනය නිලධාරියෙකු වශයෙන් විශ්‍රාම ගිය පුද්ගලයෙකු මේ ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.

එසේ ම 6,7 හා 9 යන විත්තිකරුවන් අත්අඩංගුවට පත් වන්නේ ද ඉහත කී සමාගම් වල රැකියාව කිරීම හේතුවෙනි. ශ්‍රී ලංකා රජයේ අනුමැතිය මත නීත්‍යනුකූල ලෙස පවත්වාගෙන ගිය ආයතනයක රැකියාව කිරීම හේතුව මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. කිසිදු අවස්ථාවක පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාම නීති විරෝධී ක්‍රියා ලෙස සාක්ෂි ඉදිරිපත්වී නැත. දීර්ඝ කාළයක් ඔවුන් ත්‍රිවිධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා හෝ ආබාධ වීම මත නීත්‍යනුකූලව රැකියාව කරන අවස්ථාවක දී ඔවුන් අත්අඩංගුවට පත්වීම ඔවුන්ට වූ බලවත් අයුක්තිය බව සඳහන් කරමි.

එසේ ම 11 වන විත්තිකරු සම්බන්ධයෙන් නීති විරෝධී ක්‍රියා පිළිබඳ කිසිදු පැමිණිල්ලක් නොමැති අවස්ථාවක ඔහුට විරුද්ධ ව ද අපරාධ චෝදනා ගොනු කළේ, කෙසේ ද යන්න ගැටලුවකි. 10 වන විත්තිකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු නැවේ කපිතාන්වරයා වේ. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දුන් ලුතිනන් කමාන්ඩර් වීරසිංහ 2015 ඔක්තෝබර් 5 වන දින නැවට ගොඩවී එකී නැව තම භාරයට ගන්නා අවස්ථාවේ දී අවි සහ උණ්ඩ කන්ටේනර් පෙට්ටියක බහා හය වන විත්තිකරු භාරයේ තිබී ඇත. එවකට රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයාගේ සාක්ෂිය අනුව මෙම ක්‍රියාන්විතය සදහා ගිනි අවි භාවිත කිරීම හා ළඟ තබා ගැනීම සඳහා වගකීම තිබී ඇත්තේ රක්නා ලංකා ආරක්ෂක සමාගම සතුව වේ. එය සම්පූර්ණයෙන් ම ආරක්ෂක අමාත්‍යංශය යටතේ වූ ආයතනයකි.

එසේ ම, 10 විත්තිකරු යුක්‍රේන ජාතිකයෙක් ලෙස ප්‍රශ්න ගත නැවේ කපිතාන්වරයා ලෙස සේවය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමත් තම රටට යාමට නොහැකි වීමටත් අප රටේ අපරාධ යුක්ති ක්‍රියා පිළිබඳව තවදුරටත් සිතා බැලිය යුතුයි.

ඒ අනුව, ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලීමේ දී විමර්ශන අවස්ථාවේ දී මෙම නඩුවේ විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම සදඳ බැලූ බැල්මට පිළිගත හැකි සාක්ෂි තිබුණේ ද යන්න බරපතළ ගැටලුවකි. යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශකයෙක් වෙත ලද අවස්ථාවක දී එම තොරතුරු පිළිගත හැකි කරුණු මත පමණක් පදනම්ව තිබේ නම්, ප්‍රමාණයක් විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීම සඳහා පියවර ගත යුතු බව අපරාධ නඩු විධාන සංග්‍රහය 116 වගන්තිය යටතේ සදහන් කර ඇත.

ඒ අනුව, ඉහත සඳහන් සියලු කරුණු සලකා බලා ඉදිරිපත් කර ඇති සියලු ම චෝදනා වලින් සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමි.”

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර, අධිනීතිඥ ශක්ති ජාගොඩ ආරච්චි හා අධිනීතිඥ අකිලා දල්පදාදු යන මහත්ම මහත්මීන් හා විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා, ජනාධිපති නීතිඥ අජිත් පතිරණ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි අල්විස්, නීතිඥ සංජය ආරියදාස, නීතිඥ අසේල සේරසිංහ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ හරිත් හෙට්ටිආරච්චි යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 914 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply