“කිසිම ගොවියකු බිය වෙන්න එපා” සංචරණ සීමා කාලයේ දඹුල්ල ඇතුළු මධ්‍යස්ථානවල වැඩපිළිවෙල ගැන විශේෂ දැනුම්දීමක්!

දිවයිනපුරා පිහිටි ආර්ථික මධ්‍යස්ථාන සංචරන සිමා යටතේ ඉදිරි දින කිපයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීම සදහා කෘෂිකර්ම ඇමතිතුමා වන ගරු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා සහ එම අමත්‍යන්ශයේ මහත්මීන්ගේ සහභාගීත්වයෙන් අද මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී පලවූ අදහස් කීපයක් පහතින්.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමා,

“අපි මේ මාධ්‍ය හමුව අද කැඳෙව්වේ විශේෂ කාරණයක් ගැන දැනුවත් කරන්න. ඒ තමයි මේ පවතින corona වසංගතයක් එක්ක අපේ ගොවීන්ගේ නිෂ්පාදන කොහොමද මේක වෙළඳපොලට ගේන්නේ, කොහොමද මේක පාරිභෝගිකයා අතරට ගෙනියන්නෙ කියන එක පැහැදිලි කර දීම සඳහා. ඔබ දැක්කා පසුගිය සති අන්තයේ අපි පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් යම් යම් නීති පැනෙව්වාට පස්සේ ඒ ගොවීන් තමන්ගේ නිෂ්පාදන ගෙනල්ලා ඒවා විකුණගන්න බැරුව යම් යම් චෝදනා එල්ල කළා. හැබැයි අපි පැහැදිලිව අපේ ආර්ථික මධ්‍යස්ථාන වලට දැනුවත් කරල තිබ්බා මේ වකවානුව තුළ අපේ ආර්ථික මධ්‍යස්ථාන වසා දමනවා කියලා. නමුත් ඒ පණිවිඩය ගොවීන්ට ගිහිල්ලා තිබුණෙ නෑ. ඒ නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු මැනින් වෙළඳපොළ ආර්ථික මධ්‍යස්ථානය වැනි ආර්ථික මධ්‍යස්ථාන කීපයකට ගොවීන් මේ භාණ්ඩ ගෙනිහිල්ලා තමන්ගේ නිෂ්පාදන විකුණා ගන්න බැරුව විශාල චෝදනා එල්ල කළා. ඒ නිසා රජය එළඹෙන සිකුරාදා සිට දින හතක් එක දිනයක් හැර අනිකුත් දින තුළ සම්පූර්ණයෙන් covid වසංගතය හේතුවෙන් නීති රීති කීපයක් දාලා තියනවා. පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමාවන් පනවලා දැඩි නීති රීති පනවලා තියෙනවා. ඒ නිසා මේ කාලය තූළ ගොවීන්ට තමන්ගේ නිෂ්පාදන ගේන්න බැරි වෙනවා. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යංශය හැටියට අපි කලින් ගොවීන්ට දැනුවත් කිරීමක් කළොත් ගොවීන්ට පුළුවන් තමන්ගෙ අස්වනු ටික ඒ කාලය තුළ නෙළන්නේ නැතුව ඉන්න. ඒ නිසා ඒ නියමිත කාල වකවානු ආර්ථික මධ්‍යස්ථාන භාරව කටයුතු කරන අපගේ රාජ්‍ය අමාත්‍යතුමා ඒ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල සම්බන්ධීකරණය කරමින් ඒවගේම මැනිං මාකට් එකත් සම්බන්ධීකරණය කරමින් වැඩසටහනක් හදලා තියෙනවා, ඒ නිසා ගොවියට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. ඒ නිසා අපි සමස්ත ගොවි ජනතාව ගෙන් ඉල්ලීමක් කරනවා, අපි පුරා දින කිහිපයක් අපගේ ආර්ථික මධ්‍යස්ථාන වහනවා. ඒ නිසා ඒ වහන දවස් වලට තමන්ගේ එළවළු නිෂ්පාදන ගේන්න එපා. මොකද ඔබ ඒ නිෂ්පාදන ගෙනාවත් ඒවා මිලදී ගන්න කෙනෙක් නෑ. ඒ නිසා ගොවියට පුළුවන් ඒ දිනයන් තුළ තමන්ගේ නිෂ්පාදන නෙළන්නේ නැතුව ඉන්න. එහෙම නෙළුවේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අපගේ ආර්ථික මධ්‍යස්ථාන මේ සංචරණ සීමා පනවල, දැඩි නීති රීති පනවලා තිබෙන කාලය තුළ අපගේ ආර්ථික මධ්‍යස්ථාන අපි වහනවා. ඒ වගේම අපි අරින අවස්ථාවන් තියෙනවා. ගොවියට මේකෙන් කිසිම අඩු පාඩුවක් වෙන්නෙ නෑ. වැඩිම අපි වහන්නෙ එක දිගට දවස් දෙකයි හෝ තුනයි. ඒ නිසා කිසිම ගැටලුවක් ගොවියට සිද්ධ වෙන්නෙ නෑ. ඒ නිසා සමස්ත ගොවි ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා. අපි මේ ලබාදෙන මාර්ගඋපදේශක අනුව තමන්ගෙ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා.”

ඒ අනුව මාධ්‍යවේදීන් මතු කරපු ප්‍රශ්න වලට ද මහින්දානන්ද ඇමතිතුමා මෙහිදී අදහස් පළ කළා.

  • වරාය පනත ගැන මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයකට අමාත්‍යතුමා මෙසේ පිළිතුරු ලබා දුන්නා.

වරාය පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු සියලුම උපදෙස් වලට රජය එකඟ වුණා. ඒ අනුව කැබිනට් මණ්ඩලය ඊයේ අනුමත කළා. ඒ අනුව කිසිදු ගැටළුවක් නැතුව ඒ සංශෝධන සියල්ලටම රජය එකඟ වෙලා තියෙනවා. ඒ අනූව අපි අද ඉදිරිපත් කරනවා පනත. ඔබතුමාට බලාගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයකින් ඒ පනත සම්මත වෙයිද කියලා අද. අනුර කුමාර දිසානායක අද මතුකරපු ප්‍රශ්නෙට අගමැති තුමා උත්තර දුන්නට පස්සේ ඔහු ඉඳ ගත්තා.

  • එහිදී මාධ්‍යවේදියෙකු පොහොර ගැන මතුකරපු ප්‍රශ්නයකට ද අමාත්‍යතුමා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.

මේ කන්නෙට අවශ්‍ය සියලුම පොහොර අපි සතුව තියෙනවා. ඒ අනුව වී ගොවියන්ට කිසිම ගැටලුවක් නෑ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සියලුම පොහොර අපි යවලා තියෙනවා. හැබැයි අනිත් බෝග සඳහා අපි පොහොර යැවූවත් ඒ පොහොර බෙදාහරින  පුද්ගලයින් මේවා ගබඩා කරලා වැඩි මිලට විකුණනව කියල දැනුම් දුන්නා. ඊයෙ වෙනකොට අපි නියෝජිතයෙක් 38ක් අත්අඩංගුවට අරගෙන නඩු දාලා තියෙනවා. ඒ සියල්ල ගොවීන් අතර බෙදලා තියෙනවා. ඒ අනූව පාරිභෝගික සේවා අධිකාරිය විසින් දිගටම වැටලීම් කරනවා. අපි ගොවීන් ගෙන් ඉල්ලීමක් කරනවා, යම් පුද්ගලයෙක් වැඩි මිලට පොහොර විකුණනවා නම් වහාම පොලීසියට පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන්න. ඒ දැනුම් දීමෙන් පසු අපි ඔවුන්ව අත්අඩංගුවට අරගෙන නඩු දැමීමට කටයුතු කරනවා. ඒ අනූව මුල් දවස් ටිකේ මේක තිබුනත් අපි මේ අත්අඩංගුවට ගැනීමත් එක්ක දැන් යථා තත්ත්වයට පත්වෙලා තියෙනවා.

අපි කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ ඊළඟ මහකන්නයටයි. ඒ නිසා අපි පැහැදිලිව රජයක් හැටියට කියන්නේ අනියත බියක් ඇතිකර ගත යුතු නෑ. මේ කන්නයේ පොහොර ලබා දුන්නා වගේම, ගොවීන්ගේ නිෂ්පාදන සඳහා අදාල පොහොර ටික ලබාදීමේ වගකීම රජය භාර ගන්නවා. ඒ නිසා ඒ පිළිබදව ගැටලුවක් ඇති කර ගන්න අවශ්‍ය නෑ කිසිම ගොවියෙක්. මොකද මේ සඳහා විශාල වියදමක් දරනවා සමහර සංවිධාන සහ ව්‍යාපාර, මොකද අපි රසායන පොහොර භාවිතය වලක්වපු නිසා. මේකට විරුද්ධව විශාල මුදල් වියදම් කරනවා, කැන්වසින් කරනවා, මාධ්‍ය ව්‍යාපාරයක් කරගෙන යනවා නමුත් රජය ගත්තු තීරණය කිසිදු වෙනසක් නෑ. රසායනික, කෘමිනාශක, පළිබෝධනාශක, ආනයනය අපි නවත්තලා තියෙනවා.

  • එහිදී කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවීමක් සිදු උනොතින් එහි පාඩුව රජය විසින් ගෙවනවා යන රජය පසුගිය දිනක කල ප්‍රකාශය පිළිබඳව මහින්දානන්ද ඇමතිතුමාගෙන් කළ ප්‍රශ්නයකට ද ඔහු පිළිතුරු ලබා දුන්නා.

අපි අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරනවා වගේම අපිට මදි පාඩු කාබනික පොහොර අපි පිටරටින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ලෝකෙ තියෙන හොඳම ප්‍රමිති පොහොර තමයි අපි ගේන්නේ. එනිසා ඒ හොඳම ප්‍රමිති පොහොර ගෙනාවොත් නිෂ්පාදනයේ කිසිම අඩු පාඩුවක් වෙන්නෙ නෑ. ජනාධිපතිතුමා කිව්වා යම්කිසි විදියකින් ගොවියට නිෂ්පාදනයේ අඩුවක් වුනොත් ඒක පිරිමහන්න අපි කටයුතු කරනවායි කියලා. ගොවියා අනියත බියක් ඇති කරගත යුතු නැහැ ඒ නිසා නිෂ්පාදනයේ අඩුවක් වුනොත් ගොවියාව බලා ගන්න වැඩපිළිවෙළක් අපි හදලා තියෙනවා.

  • එහිදී රසායනික පොහොර භාවිතයේ දී පසේ සංයුතිය වෙනස් වීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නගපු ප්‍රශ්නයකට ද ඇමතිතුමා ප්‍රතිචාර දැක්වූවා.

අපි මොනා උනත් අපි ලබාදෙන්න ඕනේ ශාකයට අවශ්‍ය දේ නේ. ඒ සංඝටක ටික නේ ලබා දෙන්න ඕනේ. ගොයම් පැලේකට මොනවද ඕනේ, ඉතින් ඒ අවශ්‍ය ටික ලබා දෙනවා නම් එච්චරයි. අපි කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට අපි ඊළග මහ කන්නෙට පොහොර ලබා දීමට පෙර කොහොමත් අපි සැලසුම් කරලා තිබුණේ පස පරික්ෂා කිරීමේ කට්ටල ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ලබා දීලා, සෑම ගොවියෙකුට ම තමන්ගේ පස පරික්ෂා කරලා soil health කාඩ් එකක් දෙන්න. ඒ අනුව ගොවියා දන්නවා තමන්ගේ පසට මොකද්ද අවශ්‍ය කියලා. ඉතින් ඒ නිසා ඒ ගැටලුව පැනනගින්නේ නෑ පස පරික්ෂා කරලා පොහොර ලබා දීමේදී ඒ ගැටලුව පැන නගින්නේ නෑ. ඒ නිර්දේශ අනුව තමයි අපි පොර ටික දෙන්නේ. ඒ නිසා ගොවියට අනියත බියක් ඇතිකර ගත යුතු නෑ.

  • කාබනික පොහොර මෙරටට පිටරටින් ගෙන්වීම පිළිබඳව ද මාධ්‍යවේදියකු ඇමතිතුමාගේ ප්‍රශ්නයක් විමසුවා.එයටද ඔහු පිළිතුරු ලබාදුන්නා.

අගෝස්තු මාසේට තමයි අපිට පොහොර අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි මේ පිළිබඳව විශේෂඥ කමිටුවක් විසින් අධ්‍යයනය කරගෙන යනවා, මොකද මේක අපිට අලුත් දෙයක්. අපි මේකට අවශ්‍ය specifications හදන්ඩ ඕනේ. ඒ වගේම මේවා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලවල් හදන්න ඕනේ. ඒ නිසා ඊයෙත් ඒ සඳහා දීර්ඝ සාකච්ඡවක් පැවැත්වුණා.  ඒ නිසා අපි ආනයනය කරනවා නම් ඉතාම හොඳම පොහොර තමයි අපි ආනයනය කරන්නේ. ඒ වගේම ඒ සඳහා පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. ඒ නිසා ඒ සියල්ල පිළිබඳව කටයුතු කරගෙන යනවා. ලබන සතිය වෙනකොට මේ සම්පූර්ණ වැඩසටහන පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට අපි දැනුවත් කරනවා.

 421 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply