වරාය නගරයට බිය වන්නේ ඇයි?

‘වෙනස් වීමට ඇති බිය අවිද්‍යාව’ යැයි කීවේ නිදහස් ඉන්දීය රාජ්‍යයේ ප්‍රථම අගමැතිවරයා වූ ජවහර්ලාල් නේරු තුමාය. අමෙරිකානු සුපිරි ව්‍යාපාරික බිල් ගේට්ස් ද ඊට සමාන මතයක් දරමින් පවසන්නේ මිනිසුන් හැමවිටම පාහේ වෙනස් වීමට අකැමැත්ත දක්වන බවය. විදුලි බලය සොයාගත් අවස්ථාවේදී ද ඔවුහු ඊට බිය වූහ. ගල් අඟුරුවලට සහ වායු බල එන්ජිමට ද ඔවුන් දැක්වූයේ බිය මුසු අකැමැත්තකි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මිනිස්සු ඊට හුරු වූවා පමණක් නොව සිය ජීවිත සුවපහසු කර ගැනීම සඳහා ඒවාට ඇති හැකියාව ද වටහා ගත්හ.

කොළඹ වරාය ආශ්‍රිතව ඉදි වන වරාය නගරය පිළිබඳව ද අප රටේ ජනතාව තුළ බියක් ඇති වී තිබෙන බව විවිධ මාධ්‍යයන් ඔස්සේ ඇසෙන කතාබහෙන් පැහැදිලි වේ. එය ඇති වූ බියකට වඩා ඇති කළ බියක් ලෙස සැලකිය හැක්කේ ආණ්ඩුවට එරෙහි සහ ආණ්ඩුව තුළම සිටින ව්‍යාජ දේශප්‍රේමයේ සළුපිළි දවටා ගත් දේශපාලන චරිත විසින් මෙම වරාය නගරය බිල්ලකු ලෙස හුවා දක්වා ඇති නිසාය. ඒ නිසා මෙම ව්‍යාපෘතිය තුළින් රටට සහ ජනතාවට හිමි වන පහසුකම් සහ ආර්ථික ප්‍රතිලාභ අවබෝධ කර දීම රටට හිතෛෂීවන්ත කාගේත් යුතුකමකි.

වරාය නගර යනු ලෝකයට අලුත් දෙයක් නොවන අතර තායිලන්තයේ කෝපන් යැන්ග් නගරය, මෙක්සිකෝවේ වැනිසිය, සිංගප්පුරුවේ වරාය නගරය සහ ජපාන වරාය නගරය මෙයට නිදසුන් වශයෙන් දැක්වීමට පුළුවන. ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ මූලෝපායික වශයෙන් ඉතා වටිනා ස්ථානයක පිහිටා ඇති බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කාරණයක් වන අතර මෙම පිහිටීමේ වාසිය ලබා ගනිමින් ආර්ථිකයේ නව පිම්මක් පැනීම තවත් ප්‍රමාද නොකළ යුතු අවශ්‍යතාවකි.

රැකියා උත්පාදනය

ශ්‍රී ලාංකික ජනතාව රට හැර යන්නේ රට තුළ ආර්ථික අවස්ථා නොමැති බව ප්‍රකාශ කරමිනි. සිය ජිවිත අවදානම පවා දරා ගෙන බෝට්ටු මඟින් ඔස්ට්‍රේලියාවට නැතහොත් ඉතාලියට පැන ගැනීමට වෙර දරන්නෝ ද ඒ අතර වෙති. මේ මිනිසුන්ට වරාය නගරය හරහා සුදුසු රැකියා අවස්ථා හිමි වන්නේ නම් ඔවුන් අවදානම් දරා ගනිමින් සහ පවුල් ජිවිත අභියෝගයන්ට ලක් කර ගනිමින් දුරු රටවලට පියාසර කිරීමට නොසිතනු ඇත. වරාය නගර වාර්තාවේ දැක්වෙන ආකාරයට ඉදිකිරීම් අවස්ථාවේදී 160,000ක පමණ පිරිසකට ද, එහි ක්‍රියාකාරිත්වය ඇරඹීමෙන් පසු 210,000ක් පමණ පිරිසකට ද රැකියා ලැබීමට නියමිත අතර එයින් ඉතා වැඩි රැකියා ප්‍රමාණයක් හිමි වනු ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ටය.

වරාය නගරය මඟින් අපේ රටට ලැබෙන ධනාත්මක බලපෑම ඍජු බලපෑම් (direct impacts), ද්විතීයික බලපෑම් (Secondary impacts) සහ ප්‍රේරිත බලපෑම් (induced impacts) වශයෙන් කොටස් තුනකට බෙදා දැක්වීමට පුළුවන. නිදසුනක් ලෙස වරාය නගරය තුළ ඉදිවන සුපිරි හෝටලයකින් ආර්ථිකයට වටිනාකමක් එකතු වීම, රැකියා උත්පාදනය වීම ආර්ථිකයට සිදු වන ඍජු බලපෑමක් ලෙස දැක්වීමට පුළුවන. එසේම මෙම ශ්‍රී ලාංකික ගොවීන්ගෙන් එළවළු මිල දී ගන්නේ නම් එම ගොවීන්ගේ සැපයුම ඉහළ යෑමෙන් ඔවුන්ගේ ආදායමේ වර්ධනයක් සිදු වන අතර එය රටේ ආර්ථිකයට සිදු වන වක්‍ර බලපෑමක් වේ. මෙම ගොවීන් සිය වැඩි වන සැපයුමට එළවළු නිෂ්පාදනය කිරීම සඳහා අතිරේක ශ්‍රමිකයන් යොදා ගැනීමට ඉඩ ඇති අතර ඔවුන් තමන්ට ලැබෙන වැටුපෙන් භාණ්ඩ සහ සේවා මිල දී ගනු ඇත. මෙය සැලකිය හැක්කේ අපේ ආර්ථිකයට සිදු වන ප්‍රේරිත බලපෑමක් හැටියටය.

ගෝලීය පරිසරයක්

මෙවන් ධනාත්මක ප්‍රතිලාභ නොසලකා හරින ජාතිකවාදී සහ සමාජවාදී ලේබල් අලවා ගත් පසුගාමී දේශපාලන බලවේග ජන මනසට කාවද්දා ඇත්තේ විදේශීය ජාතින් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම රටට අහිතකර කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් ලෙසටය. එහෙත් අධ්‍යතන ලෝකය ‘සංවෘත ආර්ථිකය’ බඳු පසුගාමී අවධි පසු කරමින් ගෝලීය මාවතේ බොහෝ දුර ගමන් කොට ඇත. ශ්‍රී ලංකාවට ද සංවර්ධනයක් ළඟා කර ගත හැක්කේ ශ්‍රමය, දැනුම, ප්‍රාග්ධනය සහ තාක්ෂණය එකිනෙකා සමඟ බෙදා හදා ගත හැකි ගෝලීය පරිසරයක් තුළ පමණකි.

චීන රජය මෙම වරාය නගර ව්‍යාපෘතියට හවුල් වී සිටින්නේ ඔවුන්ට ආර්ථික ප්‍රතිලාභ අත් කර ගැනීමට මිස ශ්‍රී ලංකාවට වාසි සැලසීමේ ත්‍යාගශීලි චේතනාවෙන් නොවන බව පැහැදිලිය. එහෙත් මෙය ඔවුන්ට ලාභ ලබා ගැනීමට අවකාශ ලැබෙන අතරේ අපට ද ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක් වේ. සැබවින්ම දැවැන්ත ව්‍යාපෘතියකට තනිව අත ගැසීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති අපේ කුඩා දිවයිනට ආර්ථික සහ සමාජීය වර්ධනයක් ළඟා කර ගත හැක්කේ මෙවන් හවුල් ව්‍යාපෘති මඟිනි.

හුඹස් බිය

සාම්ප්‍රදායික අච්චුවෙන් මිදුණු අලුත් වැඩපිළිවෙළක්, නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී ඒ හා සම්බන්ධ මිථ්‍යා මත ප්‍රචලිත වීම ද අප කාලයක් තිස්සේ අත්දැක ඇති දෙයකි. මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත කර ගන්නා ලද අවස්ථාවේත්, පසුව එහි වර්ධනීය තත්ත්වයක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආරම්භ කරන ලද අවස්ථාවේත් ඒ තුළින් රටේ ස්වාධීනතත්වය අහෝසි වන බවටත්, ලාංකිකයන්ගේ රැකී රක්ෂාවලට ප්‍රශ්නයක් විය හැකි බවටත් මත පළ විය. එහෙත් කල් යෑමේදී එකී විවේචකයන් නිරුත්තර වූයේ ඒ ඔස්සේ රට තුළට ගලා ආ විදේශ ආයෝජන හරහා රැකි රක්ෂා වැඩි වී ජාතික ආදායම ද වර්ධනය වූ බැවිනි.

යථාර්ථය

වරාය නගරය අරභයා ද මෙවන් මිථ්‍යා මත රැසක් ප්‍රචාරය වෙමින් පවතින බව පෙනේ. ඉන් එක් මිථ්‍යා මතයකට අනුව වරාය නගරය භූමිය මේ වන විටත් චීනයට විකුණා ඇති අතර දැනට එහි අයිතිය දරන්නේ චයිනා හාබර් සමාගමයි. මෙම භූමිය ශ්‍රී ලංකා ජනරජය සතු දේපළක් බවට පාර්ලිමේන්තු පනතකින් සම්මත වී ඇති පසුබිමක මෙවන් ප්‍රචාර සිදු කරන්නේ රටේ දියුණුවක් දකින්නට අකැමැති කඩාකප්පල්කාරීන්ය.

වරාය නගරය ශ්‍රී ලංකා උසාවි සහ පොලිසිවල බලපෑමෙන් මුක්ත කර ඇති බවට වන ප්‍රචාරය ද සම්පුර්ණ අසත්‍යක් වන අතර ශ්‍රී ලංකා පොලිසියට මෙම භූමි භාගයේ නීතිය සහ සාමය රැකීමේ නිසි බලතල හිමි වේ. ඒ අනුව මෙම කලාපයේදි හඳුනාගන්නා සැකකරුවකු ඉදිරිපත් කළ යුතු වන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණයක් වෙතය.

වරාය නගරය ශ්‍රී ලංකාවේ කිසිදු පළාත් පාලන කොටිඨාසයකට අයත් නොවීම ඇතැමුන්ට ගැටලුවක් වී තිබුණ ද , මෙහි ඉහළ කාර්යක්ෂමතාවක් අපේක්ෂා කරන්නකුට එය සුබවාදි දෙයක් ලෙස දැකිය හැකිය. පළාත් පාලන ආයතනවල අඩුපාඩු පිළිබඳවත්, ඒවායේ සිදු විය යුතු ව්‍යූහාත්මක වෙනස්කම් පිළිබඳවත් සමාජයේ කතාබහක් ඇතිවී ඇති මෙවන් කාලයක වරාය නගරය එවන් පාලනයකින් මුක්ත කොට කොමිෂන් සභාවේ පාලනයට යටත් කිරීමේ වරදක් නැත.

ඇතැමුන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව සදාචාරවාදී විවේචන එල්ල කිරීමක් ද දැකිය හැකිය. එහෙත් අප වටහා ගත යුතු කාරණය නම් මෙහි ප්‍රාග්ධනය යොදවන දෙස් විදෙස් ආයෝජකයන්ට සිය ආර්ථික ඉලක්ක සපුරා ගත හැක්කේ මෙම සාගර නගරය සංචාරකයන්ගේ ලෞකික අපේක්ෂා තෘප්තිමත් කරන සිහින පාරාදීසයක් බවට පත් වුව හොත් පමණක්ය යන්නය. තායිලන්තය ද ථෙරවාදී බුදුදහම පවතින රටක් බව අප අමතක කළ යුතු නැත.  

මේ වන විට වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පැමිණිලි ගණනාවක් ගොනු වී ඇති අතර ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට පෙර ඒ හා බැඳුණු නීතිමය කාරණා තේරුම් බේරුම් කරගැනීම වැදගත් දෙයකි. එහෙත් මෙහිදී වටහා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ මෙය විශේෂ ආර්ථික කලාපයක් මිස ඉඩම් කැබැලි කර විකිණීමේ ව්‍යාපෘතියක් නොවන බවය. විශේෂ ආර්ථික කලාපයක් දෙස් විදෙස් ආයෝජකයන් අතර ජනප්‍රිය කරවීමට නම් ඔවුන්ට සරලව සහ ඉක්මණින් ව්‍යාපාර ආරම්භ කළ හැකි මිත්‍රශීලි පරිසරයක් ඇති කිරීම අනිවාර්ය වේ. රට තුළ ව්‍යාපාර ඇරඹීමේදී සැපිරිය යුතු පීඩාකාරී සහ කල් ගත වන කොන්දේසි මෙම වරාය නගරයට ආදේශ කළ හොත් ඔවුන් අපේ වරාය නගරය අතහැර වෙනත් පහසු ආර්ථික කලාපයකට යනවාට සැක නැත. (රට තුළ ව්‍යාපාර ඇරඹීමේදී සැපිරිය යුතු පීඩාකාරී සහ කල් ගත වන කොන්දේසි ද වෙනස් විය යුතු යැයි මම විශ්වාස කරමි) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ ද දෙස් විදෙස් ආයෝජකයන් අරභයා මෙවන් ලිහිල් කොන්දේසි මාලාවක් හඳුන්වා දී ඇති බව අප කවුරුත් දන්නා කාරණයකි.

මේ සියලු කරුණු අනුව පෙනෙන්නේ කොළඹ වරාය නගරය යනු භීතියෙන් පිටුදැකිය යුත්තක් නොව සාදරයෙන් වැලඳ ගත යුත්තක් බවය. එහි ඉදිකිරීම් නිම වූ දිනයක ඒ තුළ පිහිටි උද්‍යාන තුළ ඇවිද යන්නටත්, සුපිරි සාප්පු සංකීර්ණවලින් භාණ්ඩ මිලදී ගැනීමටත්, සිනමා ශාලා සහ සමාජ ශාලා තුළ විනෝද වීමටත් ශ්‍රී ලාංකික අපට ඉඩ ප්‍රස්තා සැලසෙනු ඇත.

 479 total views,  10 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply