මත්තලට නව ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා – සංචාරක ඇමැති

මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළට නව ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව මෙරටට පැමිණෙන සියලුම ගුවන් සේවා සමඟ මත්තල ගුවන් තොටුපොළට ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් වත්මන් කොවිඩ් තත්ත්වය පාලනය වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් යානා සහ ගුවන් මගීන් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස සැලසුම් කළ ගුවන් සමාගම් (Scheduled Air lines) සඳහා වසරක ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු නිදහස් කර ඇති හෙයින් ගොඩබැස්සවීමේ බදු( Embarkation Tax) වසර දෙකක් සඳහා නිදහස් කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපොළට නව ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලොට් පොලිෂ්, ලයන් එයාර්, එයාර් අස්ථානා, යුක්රේන් එයාර් ලයින්, ඉන්ඩිගෝ, එලායින්ස් එයාර්, එයාර් ඉන්ඩියා, එමිරේට්ස්, එයාර් විස්තාරා, මෝල්ඩිවියන් එයාර්, සලාම් එයාර් වැනි ගුවන් සමාගම් සමඟ මූලික සාකච්ඡා අවසන් කර ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් සමාගම් 08ක් වරින් වර නව ගුවන් ගමන් මත්තල ගුවන් තොටුපොළ හරහා සිදු කර ඇති බව පැවැසූ රණතුංග මහතා ස්කැට්, එයාර් අස්තානා, මෝල්ඩිවියන් එයාර්, යුක්රේන් එයාර්, ඉන්ඩිගෝ එයාර්, සලාම් එයාර්, එමිරේට්ස් එම ගුවන් සමාගම් බව පැවසීය.

පසුගිය මාර්තු 31 වන විට මත්තල ගුවන් තොටුපොළින් ගුවන් ගමන් වාර 687 ක් ක්‍රියාත්මක වු අතර 33,450 කට අධික ගුවන් මගීන් සංඛ්‍යාවක් ඉන් ගුවන් ගමන් පහසුව ලබාගෙන ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. විදේශයන්හි පැවැත්වෙන ගුවන් සමාගම් සමුළු සඳහා සහභාගී වී මත්තල ගුවන් තොටුපොළ ප්‍රවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබූ බව හෙතෙම කීය.

මත්තල ගුවන් තොටුපොළ සංවර්ධනයට පස් අවුරුදු සංවර්ධන සැලැස්මක් ද සකස් කර තිබේ. ගුවන් ගමන් වාර වැඩි කිරීම, මගී භාණ්ඩ පර්යන්ත හා ගුදම්වල පහසුකම් වැඩි දියුණු කිරීම, ගුවන් යානා නඩත්තුව සහ අලුත්වැඩියා කිරීමේ පහසුකම් ඇති කිරීම, තීරු බදු සහිත සාප්පු සංකීර්ණයක් ද මේ වන විට මගී පර්යන්තයේ ස්ථාපිත කර තිබෙන අතර එහි පහසුකම් වැඩි දියුණු කිරීමට තවදුරටත් කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

 486 total views,  5 views today

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply