විදෙස් ගමන් බලපත්, ජාතික හැඳුනුම්පත්, රියැදුරු බලපත් ඇතුළු රජයේ ප්‍රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල ඉදිරියේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකසන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට අද(25) උපදෙස් දුන්නේය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද පැවැති රැස්වීමකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.

එම වැඩපිළිවෙළෙහි මූලික පියවර ලෙස, විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේවනවිට, මුද්දර, ඡන්ද පත්‍රිකා, වීසා ස්ටිකර් ආදිය රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කෙරෙන බව පැවසූ අමාත්‍යවරයා අමාත්‍යංශ, රජයේ ආයතන, දෙපාර්තමේන්තු ආදියෙහි මුද්‍රණ කටයුතුවලින් 50%ක ප්‍රමාණයක් හෝ සියලු ආරක්ෂිත මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුවිය යුතු බව කියාසිටියේය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සොයාබලන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර, රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මුද්‍රණලයාධිපති ලලිත් ද සිල්වා යන මහත්ම මහත්මීහුද මෙම රැස්වීමට සහභාගී ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here